Tuesday, January 24, 2017

ඩේව් වට්මෝර් , පොලීසියෙන් කෙළවර වූ බිග්මැච් ආතල් සහ ටෙස්ට් ටියුබ් නැති විසාකාවේ විද්‍යාගාරය


අනූවේ දශකයේ පාසල් ජීවිතය ගත කළ අපේ පරම්පරාව තරම් පිස්සන් සේ ක්‍රිකට් බැලූ තවත් පරම්පරාවක් ඉන් පෙර හෝ පසු නොසිටි බව කොච්චියා අදහන යථාර්ථයක් ය. ඉතා සාමාන්‍ය කණ්ඩායමක් වූ ද වෘත්තීය ක්‍රීඩකයන් අවම වූ ද ඒ කණ්ඩායම අනූ පහේ මැද භාගයේ සිට ලෝක කුසලානයක් දිනා ඉන් පසු අවුරුදු දෙකක් යන තුරුත් හිණි පෙත්තේ රඳවන්නට මහත් වූ සේවයක් කළ සැඟවුණු චරිත දෙකක් වූයේ නම් ඒ ඩේව් වට්මෝර් හා ඇලෙක්ස් කුන්ටූරි ය. මේ කතාව ලියන්නට හිතුණේ මේ දවස් වල නොසෑහෙන්න චාටර් වී ඇති අපේ වෘත්තීය යැයි කියාගන්නා ලොන්තපෝල් ටීම් එක දකුණු අප්‍රිකාවේදී බඩ කට පුරා කන එක දැකලා එහෙම නෙවේය. පහුගිය සතියේ දුටු එක් ප්‍රවෘත්තියක් නිසාය.

සති දෙකකට විතර ඉහතදී දෙස් විදෙස් ක්‍රීඩා මාධ්‍ය රැසකම මාතෘකාවක් වී තිබුණේ ලංකාවේ පාසල් ක්‍රිකට් කණ්ඩායමක් මුල්ම වතාවට අන්තර්ජාතික ක්‍රිකට් පුහුණුකරුවෙක් ගේ සේවය ලබා ගන්නා බවට පැතිරී ගිය රාවයය. එනම් මෙවර RoyTho , එනම් රාජකීය සාන්ත තෝමස් මහ තරගය වෙනුවෙන් වට්මෝර් ගේ සේවය ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය තීරණය කිරීමය. ඊට මේ වන විටත් වට්මෝර් සිය එකඟතාවය පළ කර ඇතිවා මෙන්ම මේ සිදුවීම ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය තැබූ එක් ඓතිහාසික පියවරක්ද වනවා ඇත්තේය … මේ පුවත බීබීසී ය පවා වාර්තා කර තිබුණේය.

රජ්ජුරුවන්ගේ ඉස්කෝලයට ගිය දා පටන් කොච්චියා වඩාත්ම ප්‍රිය කළ කාල සීමාව නම් බිග් මැච් සීසන් එකය. ඔය කාලයේ අප ස්කූල් වෑන් වල ජනේලයෙන් එලියට ඉස්කෝලේ කොඩිය දමාගෙන යන්නේ මහත් කික් එකකින් ය. සහෝදරත්වයෙන් යුතුව ඔය වෑන් වල රාජකීය සාන්ත තෝමස් සාන්ත පීතර සාන්ත ජෝසප් හා ආනන්ද නාලන්ද කොඩි ද එක් එක් ජනේලයෙන් එලියට එන්නේය.

සති අන්තය පුරාවටම අක්මාවට වද දෙන කොච්චියා සතියේ දවස් වල අනුගමනය කරන්නේ ඊට වෙනස් පිළිවෙතක් ය. ඒ නිසාම විස්කි වඩියක් සමග ලිවිය යුතුම වූ මේ පොස්ස්ටුව කොච්චියා අද ලියන්නේ Japanese Sencha එකක් බොන ගමන් ය. කවදත් ජපන් තේ සංස්කෘතිය ප්‍රිය කළ කොච්චියා sencha tea මෙන්ම matcha tea බීමටද එකසේ ප්‍රියය. මේ සියල්ලම ග්‍රීන් ටී ප්‍රභේදයන් ය. සුව නින්දකට මෙන්ම උදෑසන ජවයෙන් යුක්තව නැගිට ගැනීමටද ජපන් තේ මහඟු උත්තේජකයක් ය. වෙහෙසකර සති අන්ත කීපයක්ම පසු කළ නිසාම මේ පෝස්ටුව සතියේ දිනෙක ලියන්නට හිතුවේ එළඹෙන සති අන්තය ගැන ද මහත් විශ්වාසයක් තියා ගන්නට බැරි නිසාය.

බිග්මැච් එකේ දවස් තුනම අත නෑර ගිය කොච්චියා අන්තිමට බිග්මැච් එකට ගියේ දෙදහස් දහයේය. අවුරුදු හයක් එක දිගට බිග්මැච් යන්න බැරිවීම ගැන ඇත්තේ මහත් දුකක් ය. මේ.අවුරුද්දේ ද නොයනා බව ටක්කෙටම කියත හැකිය. ලෝකයේ කොහේ හිටියත් අලුත් අවුරුද්දට හෝ නත්තලටවත් ලංකාවට නොයනා බහුතරයක් අපේ එවුන් බිග්මැච් එකට ලංකාවට එන්නේ ඒ ෆීලින්ග් එක ලෝකේ වෙන කොහේවත් නැති නිසාය. ඒක දැනගන්නට නම් ඒ සිස්ටම් එක ඇතුළේ හිඳ එය විඳ ගත යුත්තේය .. ලෝකයේ සියලු වර්ග වල අරක්කු මෙන්ම සියලු ආකාරයේ ධූමයෙන්ද අඩුවක් නොහෙන ඔය දවස් තුනේ SSC එකේ ටෙන්ට් වල සියළු ආකාරයේ  සුරූපිනියන් ද අඩුවක් නැත්තේය. ඉස්කෝලේ යන කාලයේ බෝයිස් ටෙන්ට් එකේ ඉන්නා අප කෙසේ හෝ දත කන්නේ ලන්ච් එකෙන් පසු වෙනත් ටෙන්ට් එකකට පැන ගන්නටය.. ඒ ඒවායෙ ඇති ආතල් බෝයිස් ටෙන්ට් එකේ නැති නිසාය.

කවුරුන් උනත් පාසල් ජීවිතයේ උපරිම බිග්මැච් ආතල් එක ගන්නේ ඒලෙවල් යුගයේය. ඒ කිව්වේ අනූව දශකයේ අග භාගයේය. ඒ කාලයේ අපි වටේ පිටේ කාන්තා පාසල් වලට ඇතුළු වීම මෙන්ම හැට් කලෙක්ෂන් දැමීමටද අමතක නොකළෝය. ඕවා කරන්නේ සයිකල් පැරේඩ් එක දවසේය. එනම් මැච් එකට කලින් දා ය. අපි කාට කාටත් එකල ලේඩීස් බිශොප්ස් විසාකා සෙන්ට් බ්‍රිජට් මියුසියස් හෝලි ෆැමිලි මෙන්ම මෙතඩිස්ට් එකේද කෙල්ලෙක් හෝ කෙල්ලන් සිටියෝය. තමන්ගේ ඉස්කෝලයට පනින්නට ඕනා තැන මෙන්ම වෙලාව ගැනද ඔත්තුව දුන්නේ ඔය කිවූ කෙල්ලන් ය. වැඩි ඈතක නොවුණාට අපේ සෙට් එක නම් සිරිමාවෝ එක පැත්තේ නොගියේ ඒක අධි ආරක්ෂිත කලාපයක තිබූ නිසාය.  කොච්චියාට එකල ලේඩීස් කොලේජ් එකේ නිත්‍ය පෙම්වතියක් මෙන්ම මියුසියස් එකේ තවත් ක්‍රෂ් එකක්ද තිබ්බේය. ඒ නිත්‍ය පෙම්වතිය පසුව මගේ නෝනා වී මේ වන විට පරණ නෝනා වී ඇත්තේය .

ආර්….ඕ...වයි..ඒ...එල්..
වට්ස් ද ස්කෝර්
රෝයල්…
වන්ස් මෝර්
රෝයල්..
වන්ස් අගේන්,
රෝයල්


අපේ සෙට් එක නම් ඔය කිවූ කාන්තා පාසලකට වැදී උන්ගේ පන්ති කාමර තුලට ගොස් අපටම චියර් කර ගෙන සාමකාමී ලෙස නැවත ආවෝය. අපේ පැමිණීම එදිනට කෙල්ලන් පමණක් නොව ඒවායේ ඉන්නා තරුණ ගුරුවරියන්ද ආසාවෙන් අපේක්ෂා කළෝය. ඇතැම් අවස්ථාවල සෙන්ට් තෝමස් එකේ සෙට් ද ඕවා ඇතුලේ මුහුණට හමු උනත් දෙපාර්ශවයෙන්ම හූවකට එහා දෙයක් නම් හුවමාරු නොවුණේය. .. ඒ ඔවුන් හා අප අතරේ වූ සහෝදරත්වයය.  කෙල්ලන් එසේ බලා උන්නේ අද ඊයේ නොවන බවත් හැටේ දශකයේද එසේ වූ බවත් කීවේ ඒ කාලයේ මෙතඩිස්ට් එකේ උගත් කෙල්ලක් වූ මගේ අම්මා ය.



ඒලෙවල් අන්තිම අවුරුද්දේ මගේ මියුසියස් කෙල්ලගේ ඔත්තුවකට අපේ සෙට් එකක් රොස්මිඩ් පෙදෙසේ තාප්පයට කිට්ටු කළේ එකල ප්‍රබල ඇමැත්තෙකුගේ මිට්සුබිෂි  පැජරෝ රථයකිනි.. ඒ ඇමති පුත්‍රයා සහ අපේ කීප දෙනෙක් රථයේ බොනට් එකටත් ඉන් වහලයටත් නැග තාප්පයෙන් පැන්නේ කෙල්ලන් රැසකගේ සොඳුරු රූප සිතේ මවා ගෙනමය. අහෝ ඛෙදයක් ය...ඉරක් ය තිතක් ය දුකක් ය.. පාසල් ගොඩනැගිල්ලක පැත්තෙන් ආවේ පොලිස් තොප්පි කීපයක් ය. ඒ වන විටත් අපේ එවුන් බහුතරයක් තාප්පයෙන් ඇතුලේ ය. උස් තැන් වලට බියක් ඇති කොච්චියාගේ එක කකුලක් තාප්පය මත වූ අතර අනෙක තාමත් ජීප් එකේ වහලය මතය. අසුරු සැණින් වහලයෙන් බොනට් එකට පිනූ කොච්චියා රොස්මිඩ් පෙදෙස හරහා හුස්මක් කටක් නැතිව දිව ගොස් ආපසු හැරුණේ ටවුන් හෝල් එක හරියටම ආවාටත් පසුවය. පිටුපස හැරී බැලූ කල්හි අර ඇමති පුත්‍රයා සහ තවත් එකෙක් පමණක් දුව ගෙන එනවා පෙනුණේය. අර අසරණ ඩ්‍රයිවර් සහ වාහනය තාමත් තාප්පය අයිනේය. කෝල් එකක් දෙන්නට ජංගම දුරකථන නොවූ එදවස අපි පාරේ කඩල විකුණමින් සිටි වයසක පොරක් යවා ඩ්‍රයිවර් ට පණිවිඩය යැව්වේ ඒ පැත්තට යාම ටැප් තියෙද්දී ඇදගෙන නෑමක් බව සහ සුද්දෙන් දන්නා නිසාය. අනෙක් එවුන් මේ වන විටත් පොලිස් අත් අඩංගුවේය..

යාන්තම් ඉස්කෝලේ පැත්තට ගිය විට ප්‍රයිමරි එකේ ගේට්ටුව හරියේ හිටියේ කොච්චියාගේ පන්තියේ සෙට් එකය.. මතකේ තියෙන්නේ බොගා ආප්පයා සහ බබා එතන හිටි බවය. මෙත්සි මෙන්ම ඩීඒ ද හිටියා වගේ ලාවට මතකය. බොගා අද ඉන්නේ කැන්ගරු දේසේය..ආප්පයා කැනඩාවේත් මෙත්සි ඇමරිකාවේ කාලයක් ඉඳ දැන් කැන්ගරු දේසේ ඉන්නේය. බබා ලංකාවේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක ඉහළ නිලයක් හොබවන අතර ඩීඒ අද ප්‍රසිද්ධ වෘත්තීය සමිති නායකයෙක් වන අතරම බැංකු කරුවෙක් ය. බබෙක් මෙන් වූ බෙබෙක් වූ බබා ඇඳ හිටියේ මෙතඩිස්ට් එකේ නිල ඇඳුමක් වූ අතර ආප්පයා ද කෙල්ලෙක් මෙන් සැරසී උන් අතර හැට් කලෙක්ෂන් යාමට තීරණය කළේ බම්බලපිටිය පැත්තටය.



විසාකාව පැත්තේ කරක් ගැසූ අප මුලින්ම කලෙක්ෂන් දැම්මේ එකල වජිර පාරට යාබදව තිබූ IDM එකේ හිටි අක්කලා ගෙන් ය.  ඔය විසාකාව පැත්තේ කිව්වාම සිහියට එන්නේම වෙනකක් ය. විසාකාව පැත්තේ විද්‍යාගාර ඇති බවත් ඒවා ඇතුලේ පරීක්ෂණ නල නැති බවත් ඒවා ඇත්තේ වෙනතක බවත් හැඟවෙන්නාවූ ඒ පද්‍යමය පබැඳුම නොදන්නා අයෙක් නැති තරම් ය. ඒ පබැඳුමේ නිධාන කතාව නම් අති ශෝචනීය එකක් ‍ය. ඒවා ගැන අපේ පරම්පරාවේ කොළඹ ඉස්කෝලේ ගිය ඕනෑම එකෙක් එකියක් නොදන්නවා වෙන්නට බැරිය.දැන් මේක කියවන්නාවූ විසාකාවේ අක්කලා නංගිලා හෝ ඇන්ටිලා අමනාප වෙන්නටද පුලුවන් ය. ඒත් ඒ ගැන නොකීවොත් ද අඩුවක් වගේ හිතට දැනෙන්නේය.

IDM එකෙන් පස්සේ හෝලි ෆැමිලි එකේත් ඉන් පසු බිශොප්ස් එකේ ගේට්ටුව අයිනේත් සිද්ධ වූ කාරණා එමටය.එදා හෝලි ෆැමිලි එකේ වීදුරු කටු ගසා තිබූ පිටුපස තාප්පයෙන් පැනීමට ගොස් සිදුවූ තුවාල කැළලක් අදටත් කොච්චියාගේ අත්ලේ ඇත්තේය.මේ සියල්ලම දීර්ඝ ලෙස කියන්නට සිදුවෙන නිසාම එය ඊළඟ කොටසට ගෙන යන්නේය. බිග්මැච් එක ලං වන විට ඒ විස්තර රැගත් පෝස්ටුව ලියන්නට ඉන්නේය. ඒ වෙද්දී කොල්ලුපිටිය පොලීසියේ කූඩුවේ සිටි උන් මුදා ගැනීමට කළ මෙහෙයුමත් උන් සමහරක් ඒ වෙද්දීත් ඕඅයිසී ගෙන් කන්න බොන්න මෙන්ම ටැක්සි වලටත් සල්ලි ඉල්ලා ගෙන නික්ම ගොස් තිබූ ආකාරයත් ඒ පෝස්ටුවේ ලියවෙනවා ඇත්තේය.

Wednesday, January 4, 2017

අයින්ස්ටයින්, නොස්ට්‍රදාමුස් ගේ ප්‍රංශය, දොන් ජුවන් ගේ ලංකාව සහ කොච්චියාගේ උපන් දිනය

දන්නේම නැතුව අවුරුද්දක් ඉවර උණේය. හිතන්නවත් වෙලාවක් තිබ්බේ නැතිය. ගිය අවුරුද්දේ මේ දවස් වල ලංකාවේ හිටිය හැටි අද ඊයේ වාගේ මතකය. අවුරුද්දක් කියන්නේ මෙච්චර ඉක්මනින් යන එකක් නම් වියපත් වී මා මිය යන දවසද වැඩි ඈතක නෙවේ යැයි හිතෙන්නේය. ඒ වයසට ගිහින් මළොත් ය… if else මෙන්ම else if condition ගැනද දන්නා මට ඔය කෝකත් එකය.. මෙතන ඔය විදියට කිව්වේ කාලය යන වේගය ගැන කියන්නය.. බලාගෙන ගියාම සමහර විට කාලය යන්නේ කාලයටත් වඩා වේගයෙන් ය. කාලයේ වේගය ගැන කියද්දී කොච්චියාට අයින්ස්ටයින්ගේ සමීකරණ හතම මතක් වෙන්නේය.

සාපේක්ෂතාවාදය ගැන පිස්සුවක් කොච්චියාට හැදුණේ ඕලෙවල් කරද්දීය. බහුතරයක් දෙනා අමාරුවෙන් නිව්ටන් ගේ නියම කට පාඩම් කරනා ඒ කාලයේ මට හිතුණේ නිව්ටන් ට අතපසු වූ යමක් තිබිය යුතු බවය. ඒ හොයද්දී හම්බ උනේ අයින්ස්ටයින් වය… මිනිහා එක තැනක හිරවූ බව දැනුනු විට කොච්චියා පැන්නේ නීල්ස් බෝර්ගේ ක්වොන්ටම්වාදය වෙතටය...ඉනුත් නොසැණසුනු මා හෝකින්ස් ගැන බලාපොරොත්තු තැබුවද ආපහු යන්නට වූයේ අයින්ස්ටයින් හිරවූ තැනටය. එනම් ඩිෆයින් කළ නොහැකි වූ ඊතරය දෙසටය… ඔය ඊතරයට ඉදිරියේද අර්ථකථන මහ ගොඩක් එක් වනු ඇත්තේය...ඒත් ඒ නිරඒක්ෂ වූ හොල්මන ගණිතයෙන් හෝ භෞතික විද්‍යාවෙන් ඉවත් කළ නොහෙනු ඇත්තේය.

වැඩේ කියන්නේ මට මේ හැම රෙද්දක්ම මතක් වෙන්නේ දෙකක් දා ගන්නා විටය. අවුරුද්දේ මුල්ම දවසේ බොන එකා කාලකණ්ණියා යැයි කවුදෝ කිව්වේය… කාලය යන ඉක්මන ගැන සිතනා කල්හි ඕක කෑවා හෝ නොකෑවා කියා අමුතු වෙනසක් ඇති වෙනවා යැයි මා හිතන්නේ නැතිය. තිස් එක හෝ එක කියා නැත්තේය...බොන්නට හිතුනාම බොන්නම ඕනාය. ඒ අවු අස්සේ අටමා චැට් කළේ මගේ මෙන්ම උගේත් පාලු කපන්නය. හැමදාමත් බොන්නට ඕනා කියා ඇරියස් තියන් ඉන්නා සෙට් එකේ අටමා ඉහළින් ඇත්තේය… ඌ හිත හොඳ කොල්ලෙක්‍ ය. බොන්නට හිතන් ඉන්නා අනෙකා ප්‍රදීප් ය. යුරෝපා ඉතිහාසයේ ස්වර්ණමය යුගය ගැන කතා කරන්නට මට අද වෙන තුරු හමු වූ සුදුසුම සිංහල කතා කරන්නා ඔහුය…. ප්‍රදීප් මේ පෝස්ට් එක කියවනු ඇතැයි සිතන්නේය…

මධ්‍යතන යුගයේ යුරෝපය හා පුනරුද සමයේ යුරෝපය කියන්නේ පට්ට ආතල් මාතෘකා ය. එංගලන්තයේ අට වෙනි හෙන්රි මෙන්ම ඔහුගේ දියණියන් වන මේරි මෙන්ම  එලිසබෙත් ද කතා කළ යුතු චරිතය. ටියුඩර් රජ පරම්පරාවට සමකාලීන ප්‍රංශය ද අමතක කළ නොහැක්කේය.. නොස්ට්‍රදාමුස් හිටි එකල ප්‍රංශයද ජඩයෙක් වූ ප්‍රංශයේ දෙවෙනි හෙන්රි ද… ඔහුගේ පුත් දෙවෙනි ෆ්‍රැන්සිස් මෙන්ම ෆ්‍රැන්සිස් ගේ ඇඹේණිය වූ ස්කොට්ලන්තයේ රැජිණ වූ මේරි ගැනද කිව යුතු මෙන්ම අසා උගත යුතු දෑ අප්‍රමාණය.. ඒ සඳහා ඒ උණ ඇත්තන් කලක පටන් හෙවූ මුත් ප්‍රදීප් කියන්නේ ඒ යුගය අතැඹුලක් සේ කියවූවෙක් බව අද මා දන්නේය… මේ කිව්වේ ඔහේලා හඳුනන prajay නොහොත් ඒ මගේ උගත් මිත්‍රයා නොහොත් learned friend ගැනය.

කලක් ටියුඩර් වංශය ගැන කියැවූ කොච්චියා මේ දවස් වල කියවන්නේ ප්‍රංශයේ Volais රජ පරම්පරාව ගැනය. ඒ පරම්පරාවේ සැලකිය යුතු මොහොත වෙන්නේ හෙන්රි ව උපක්‍රමිකව මරා ඔහුගේ පුතා වු දහසය වියැති ෆ්‍රැන්සිස් රජ වීමය… එය රෝමය මෙන්ම එංගලන්තය කෙරේද ඇති කළ බලපෑමය…නැගී එන ප්‍රොතෙස්තන්ත රැල්ල හා බැස යන රෝමානු කතෝලික ආධිපත්‍යයය කෙරේ එහි බලපෑමය...කොච්චියාට කවදත් කතෝලික පල්ලිය පෙන්නන්නට බැරිය… වත්මන් අන්තවාදී මුසල්මානුවන් එදා කතෝලිකයාට වඩා තවමත් දස ගුණයක් හොඳය.

නොස්ට්‍රදාමුස් මාර පොරක් වෙන්නේ ඔය මරණයත් එක්කය...මොකෝ හෙන්රි මැරෙන හැටි මිනිහා කලින් කියා තිබ්බේය...ඒ කිව්වා වගේම joust game එකකදී ඇස හරහා හිස් කබල පසාරු වූ ප්‍රහාරයකින් හෙතෙමේ මළේය. නොස්ට්‍රදාමුස් කිව්වා වගේම හිසේ කුහර දෙකක් ඇති වුණේය. ගේම දුන්නේ පුතා කියා කවුරුත් නොදත්තෝය… මූණ වසා ගත් කල මෙන්ම රාජ උෂ්ණය ඇඟට ගැසූ කල පියා පුතා හඳුනන්නේ නැතිය..

ඔය කියනා කාලයේ ලංකාව තිබ්බේ පෘතුගීසි බලපෑමට යටත්වය… ලංකාවේ මුල්ම ක්‍රිස්තියානි රජු හිටියේ ඔය කාලයේය.. ඒ දොන් ජුවන් ධර්මපාල ය.. එංගලන්ත හා ප්‍රංශ සීතල යුද්ධ මෙන්ම පෘතුගාලය ප්‍රමුඛ රෝමානු කතෝලික අධිකාරියට එකල එල්ල වූ තර්ජනයන් සෙරන්ඩිබ් නොහොත් ලංකාවට එදා නොදැනුනේ අප ඔවුන් සතු ඉතා කුඩා කොටසක් වන්නට ඇති නිසාය..අපට අනුව ඒ රෝමානු කතෝලික පල්ලියේ ක්ලයිමැක්ස් එකය..ඇත්තට බැලුවොත් ඒ උන්ගේ මළගමය. මළගම උත්සවශ්‍රීයෙන් සැමරිය හැක්කේ මෝඩයන් හා පමණය. දැන් අපේ උතුම් මුතුන් මිත්තන්ට අගෞරවයක් කළා කියන්නට එපාය. ඒ වෙද්දීත් අපේ එවුන් ඇන්දිය හැකි ආකාරය උන් අවබෝධ කර ගෙන තිබ්බේය. අදටත් යුරෝපය විහිලු සහගත ලෙස බැහැර කරනා කුණු ගොඩවල් අප කරේ තියන් යන්නේ ඒ නිසාය.  ඩා වින්සි කෝඩ් යුරෝපයේ පෙන්නූ නමුත් සොරි ලංකාවේ වාරණය උනේය. සමලිංගිකත්වය යුරෝපය පිළිගනිද්දී අප ඊට වළ කපා ඇත්තේය… ගබ්සාව යුරෝපය පිළිගනිද්දී අප ඊට විරුද්ධව නැගෙන්නේ සංගිස්කුරුතියේ අරුමය රකින්නය.. අපට ඇති ලබ්බේ සංගිස්කුරුතියක් නැතිය...ඒකත් හයිබ්‍රිඩ් ය. මොකෝ ඔය කිවූ ඉලව් තිබ්බේ වික්ටෝරියානු සම්ප්‍රදායේ මිසක සිංහල සම්ප්‍රදායේ නොවෙන නිසාය. ධර්මාශෝක ගේ කපටි බෞද්ධ සංස්කෘතිය මහා විහාර හා අභයගිරි භික්ෂූන් ගේ දේශපාලන උවමනා වලින් දියකර සාදා ගත් මොකක්දෝ එක වික්ටෝරියානු අධිපතිවාදී කිරිස්තියානියෙන් පොලිෂ් කර සාදා ගත් ඒ අටමගලය අපේ උරුමය යැයි කෑ ගසා එය රකින්නට දත කන්නෝ අද පඳුරකට පයින් ගසා සොයා ගත හැක්කේය.
…………………………………………………...
කොච්චියා උපන්නේ ජනවාරි හතර වෙනි දාය. උපත සමරන්නට තව පැය ගණනක් ඇත්තේය. හතර කිව්වාට තුන් වෙනිදා පසුවී විනාඩි පහක් විතරය. උපන් දිනය කියන්නේ තව දුරටත් සතුට ගෙන දෙන්නක් නොවන්නේය… දුක නොදැනෙනා මට එහි ඇති දුකක්ද නැත්තේය… මා ඉන්නේ මේ වෙලාවේ මරණය කියන්නේ සැපක්ද දුකක්ද සිතමින් ය…. එයත් සාපේක්ෂය… ආයෙත් එන්නේ අයින්ස්ටයින් වෙතටම උනාට ඒ වයසක මුත්තා මෙතනට දැන් ගැලපෙන්නේ නැතිය. මට ආතල් වූ හැම අටමගලයම ඔහෙලාට එසේ නොවන්නට පුලුවන්‍ ය. ඒ නිසා ඒ මාතෘකාව පස්සට දමන්නේය.

කොච්චියාගේ උපන් දිනය හැමදාමත් ලකෙන් අඩුය.. මොකද කිව්වොත් ඒ යෙදෙන්නේ බෝතල් මාසයේ නිසාය.. මීගමුවේ අපට බෝතල් මාසය ගැන අමුතුවෙන් කිව යුතු නැතිය…. ජනවාරිය කියන්නේ මීගමුවේ එවුන් බෝතල් පත්තර කාරයින්ට බෝතල් විකුණා ගතමනාව සොයා ගන්නා කාලයක් ය. ඒ තරමටම හිඳිලාය. පාටියක් දමා එයට ආරාධනා කළත් අතින් පාඩුය… ඒකට එන්නේත් ගෙදර හන්ටර් වී ඇති නිසා පාටියෙන් කන්නට බලන් ඉන්නා ජොකියන් ය.. දැන් ඉන්නේ මෙලෝ රහක් නැති දෙසැම්බරයක් ඇති අරාබිකරයේ නිසා ඒ සම්බන්ධයෙන්  තත්වය ටිකක් වෙනස් ය.

මේ පෝස්ට් එක පටන් ගත්තේ උපන්දිනයට දවස් කීපයක් කලින් උනාට අද උපන්දිනය දවසේ රාත්‍රිය ය . ඊයේ පෝස්ටුව දාන්නට උන්නාට බැරි උනේ වැඩ අධික වූ නිසාමය.  කෝකටත් නැති කොටම කොට පෝස්ටුවක් ලිව්වේ උපන් දිනය දවසේ කරපු ලබ්බක් තියෙන්නට ඕනා නිසාය. අම්බානෙක ඉතිහාස ටෝක් හා භෞතික විද්‍යාව පුරවා ලියන්නට හැදූ පෝස්ට් එකක් මේ විදියට අවසන් කරන්නේ ඒ නිසාය. මේකේ තියෙනා මාතෘකා ටික වෙන් වෙන්ව ලියන්නට කොච්චියා හිතන් ඉන්නේය. හිතාගෙන ඉන්නා ඔක්කොම කළා නම් අද මා පට්ට පොරක් ය.. එසේ පොරක් වී නැති නිසා මා ඕවා ලියාවි කියා හිතන්නටත් එපාය…

වැඩකට ඇති ආතල් එකක් තිබ්බෝතින් හෙටට යෙදෙනා උපන්දින සාදය ගැන ලියනවා ඇත්තේය… ඒ උනත් ඒ හෙටය..ඊට පෙර අද තාමත් අද මය…
ඒ නිසා කොච්චියා වන මම මට සුබ උපන්දිනයක් පතා ගන්නේය...