Friday, June 26, 2020

රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර

මේ පෝස්ටුව ලියා දැන් වසර දෙකකටත් වඩා වැඩිය. නොදා උන්නේ මන්දැයි මතකයක්ද නැත්තේය. අහම්බෙන් ඊයේ රාත්‍රියේ නෙත ගැටුණු නිසා උදෙන්ම බ්ලොගේ මෙය එල්ලන්නට හිතුණේය.

ලංකාවේ බහුතරයක් උපදින්නේම ආගමක් එක්කය.ඒ ඇත්තෝ තමන් උපතින්ම බෞද්ධ හෝ ක්‍රිස්තියානි කියන්නේ පට්ට මොරාල් එකකින් ය. හරියට ඉපදෙද්දීම රහත් වෙලා වගේය. රහත් බව ගැන කියද්දී දැන් ඔලු ගෙඩියට එන්නේ පිටිදූවේ උන්නාන්සේ ය. සමන්තබද්‍ර නොකියා පිටිදූවේ කිව්වේ කෝචොක් එකට හෙම නෙවේය..කොච්චියා උන්නාන්සේ අඳුනන්නේ බෝසතා කාලේ ඉඳලාය..බෝසත් කාලේ නම සමන් ය. ඒ සමන් ව අඳුනන්නේ නොයෙල් නොයෙල් නොහොත් නොයෙල් අංකල් නිසාය. නොයෙල් නොයෙල් ඉන්නේ කොච්චියාගේ සීදුවේ ගෙදර ඉස්සරහය. පිටිදූවේ උන්නාන්සේ සිය බෝසත් අවධියේ එනම් උසස් පෙළ කරනා කාලයේ හා කැම්පස් යන කාලයේ, සිය මාමා වන නොයෙල් නොයෙල් ගේ ගෙදර එන දිනක කොච්චියා සහ සෙට් එක සමග පාරේ වන්බම්ප් ක්‍රිකට් ද ගසා ඇත්තේය.නොයෙල් අංකල්ට නොයෙල් නොයෙල් කියන්නේ හේතුවකටය. දිග කතාවක් නිසා මෙතන කියන්නට බැරි නමුත් ඉදිරි පෝස්ටුවකදී ඒ ගැන කියන්නේය. මේ පෝස්ටුවේ අරමුණ පිටිදූවේ  උන්නාන්සේ ගැන කතා කිරීම නොවුනාට සමහර විට ඇතමෙක්ට එසේම යැයි හිතෙන්නටද හැකිය.

වාසනාවකට වාගේ කොච්චියා උපන්නේ ආගමක් නැතිවය.. කොච්චියා ගේ තාත්තා උපතින් බෞද්ධ වූ අතර අම්මා උපතින් ක්‍රිස්තියානිය. උපතින් යැයි කීවේ උපතින් පමණක් නිසාය. කොච්චියා දන්නා කියනා කාලේ පටන් තාත්තා පන්සලකට ගොඩවී ඇත්තේ දෙපාරක් හෝ තුන් පාරකි.. ඒත් ඔය ගමේ ගිය විටෙක සීයාගේ දානයකට හාමුදුරුවෝ වඩම්මනවා වගේ සිල්ලර වැඩකට ය. සිය දරුවන් බෞද්ධයන් කිරීමේ තුන් හිතක වත් පෙරේතකමක් තාත්තාට නොතිබූ නමුත් ඔවුන් දෙන්නාගේම එකඟතාවය මත කොච්චියා මෙන්ම මල්ලී සඳුවා ද ඉස්කෝලේ දී උගත්තේ බුදු දහමය. 

අම්මා පල්ලි ගියේද නත්තලට හා පාස්කුවට හා මහ සිකුරාදාට විතරය. ආච්චී නම් හැම ඉරිදාම පල්ලි ගියාය..සියලු සමිති සමාගම් වලත් උන්නාය. අම්මා ට පල්ලිය එපා වී තිබුණේ අභ්‍යන්තර පොලිටික්ස් නිසාය. සිය භද්‍ර යෞවනයේදී පල්ලියේ ඕගනය වාදනය කළ ඇය, දෙවියන් වහන්සේ නැත්තේ පල්ලියේ පමණක් බව කොච්චියා උපදින කාලය වෙද්දී අවබෝධ කර ගෙන සිටියාය. ඒ නිසාම ඈටද අපව නාමික ක්‍රිස්තියානිකාරයෝ කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැතිය.  නිදහසේ විවිධ දර්ශනයන් උගැන්මටත් ඒවා ප්‍රශ්න කරන්නටත් ඉඩ දුන් අම්මාත් තාත්තාත් කිසිදා අපව රාමු නොකළෝය.

ඔය කෙසේ වෙතත් කොච්චියා එදා සිට අද වන තුරුම ඒක දේවවාදීය. ඒ හැඟීම ආවේ කෙසේදැයි කියන්නට නම් නොදන්නේය.හැබැයි ඒ යුදෙව් හෝ ක්‍රිස්තියානියේ හෝ ඉස්ලාමයේ ඇති සංස්කෘතියේ මිශ්‍රණයක් වූ බංකොළොත් ඇදහිලි ක්‍රමවේද වලට හිරවූ විශ්වාසයක් නෙවේය. දුක නැති කල හැක්කේ කොන්දේසි විරහිත ආදරය තුල පමණක්ම බව කොච්චියා සරලව අවබෝධ කරගෙන ඇත්තේය. මගේ විශ්වාසයන් ගැන මෙතන ලොකුවට කියන්නට නොයන්නේ එය මේ කියනා කිසි කතාවකට අදාල නොවන නිසාත් එය මට පමණක් පුද්ගලික වූ, කිසිවෙකුත් විසින් දේශනා කළ දහමක ගෙඩි පිටින් කොපියක් නොවන නිසාත් ය. 

එසේ ඒකදේවවාදී වූ කොච්චියා ඒ කාලයේ ඉතා සීමිත ඉල්ලීම් කීපයක් වෙනුවෙන් දෙවියන්ට යාඤා කර ඇත්තේය. ඉන් එකකට හේතු බීජය වූයේ රොශාන් මහානාමය. එකල කොච්චියාගේ ප්‍රියතම ක්‍රීඩකයා ඔහුය. රොශාන් පන්දුවට පහර දෙන්නට එන විට ඔහුට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලා යාඤා කලේ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබේවා කියාය.කොච්චියා රොශාන් ට පිස්සු වැටුනේ 1987 රිලයන්ස් ලෝක කුසලානය බලනා කාලයේය. පොඩි කොල්ලෙක් වූ කොච්චියා ඒ තරඟ බැලුවේ සීයා එක්ක ය. කළු සුදු රූපවාහිනියෙන් ය. ඒ සුදු ඇඳුමින් ක්‍රීඩා කල අන්තිම ලෝක කුසලානයය. රොශාන් මහානාම පකිස්තානය ට එරෙහිව සුපිරි ඉනිමක් ක්‍රීඩා කලේය. ලකුණු 89 කි. එය අදටත් ලෝක කුසලාන තරඟාවලියක ලාංකික පිතිකරුවෙක් ක්‍රීඩා කල හොඳම ඉනිමක් ය.අබ්දුල් ඛදීර් ඉතා දක්ෂ ලෙස පන්දු යැවූ ඒ තරඟය ලකුණු 15 කින් පකිස්තානය ජය ගත් නමුත් එවකට විසි එක් වියැති රොශාන් මහානාම විදෙස් විචාරකයන්ගේ නොමද ප්‍රසාදයට ලක් වුණේය.

ආයෙත් කොච්චියා ක්‍රිකට් බලන්නට ගත්තේ 1992 දීය.. ලෝක කුසලානයෙන් පටන් ගෙන රොශාන් ක්‍රිකට් වලින් සමු ගත් 1999 ලෝක කුසලානය වන තුරු තරඟ කොච්චියාගේ මනසේ දැනටත් ටයිම්ලයින් එකක් සේ පවතින්නේය. කොච්චියා එකල ක්‍රිකට්ලොව සහ සුපිරික්‍රිකට් සඟරා කට පාඩම් කරන්නේය. ඊටම හරි යන ගජයෙක්ද ඉස්කෝලේ හිටියේය. ගුණපාල මලලසේකරයන්ගේ මුණුබුරෙක් වූ චරිත් ය. මිනිහා ලඟ මා ලඟ නොමැති ක්‍රිකට් ලොව සඟරා මෙන්ම මා සතුව මිනිහා ලඟ නොමැති සුපිරි ක්‍රිකට් සඟරා තිබුණේ ප්‍රාදේශීය වශයෙන් ඔය සඟරාවල බෙදා හැරීම් හරි හැටි වී නොතිබූ නිසාය. ඒ අඩු වැඩිය අපි කියෙව්වේ හුවමාරු කර ගෙනය.

රොශාන් මහානාම ට මා කෙතරම් ප්‍රිය කලාද යත් ඔය සඟරාවක තිබී සොයා ගත් ඔහුගේ හිල් ස්ට්‍රීට් හි ගෙදර දුරකථන අංකයට කොච්චියා කෝල් කළේය. එකල ඔහු පදිංචිව සිටියේ රොස්මිඩ් පෙදෙසේ වූ අතර ඔහුගේ මව හා පියා පමණක් හිල් ස්ට්‍රීට් හි විසුවෝය. ඒ මුල්ම ඇමතුම ගත්තේ ඉස්කෝලේ ඇතුලේ තිබූ කාසි දමා වැඩ කරන පොදු දුරකථනයෙන් ය. එය තිබ්බේ නව රඟහල අයිනට වෙන්නය. කිහිල්ලේ මයිලානන්ද උන්නාන්සේ ගේ කුටියට යාබදවය. ගෙදර ගිහින් ඇමතුම ගන්නට තරම් වත් ඉවසීමක් තිබ්බේ නැතිය.



එදා ගත් ඇමතුම මෙන්ම ඉන් පසු වාර ගණනාවකදීම ගත් ඇමතුම් වලදීත් කොච්චියාට කතා කරන්නට ලැබුනේ රොශාන් ගේ මව්පියන් වන ස්වර්ණා ආන්ටීත් උපාලි අංකලුත් සමග විතරමය. රොශාන් ඉතා කාර්‍යබහුල බවත් රොස්මිඩ් පෙදෙසේ ගෙදර නොම්මරය කිසිවෙකුට දෙනවාට ඔහු අකමැති බවත් කොච්චියාට කිව්වේ ස්වර්ණා ආන්ටිය. මගේ දුරකථන අංකය ඈ ඉල්ලාගත්තේ රොශාන් අයියා ආ විටක කෝල් එකක් දෙන්න කියන්නම් කියාය.ඒ කෙසේ වුවත් සිය පුත්‍රයා ගේ උමතු ක්‍රීඩා ලෝලියෙකු වූ කොච්චියා සමග ඈ බොහෝ වේලා කතා කළාය. 

කොච්චියාට අමතක නොවන ඒ දුරකථන ඇමතුම ආවේ සතියේ දවසක රෑය. පවුලේ හිතවතෙකුගේ ගෙදර රෑ කෑමට ගොස් ආ විගසම ගෙදර දුරකථනය නාද වූ අතර ආන්සර් කළේ කොච්චියා මය. 

“hello, could I speak to (kochchiya) malli please..”
“yes, speaking..may I know who is speaking there please..”
“ආ...මල්ලි මම මේ රොශාන් මහානාම, අම්මා කිව්වා මට ඔයා නිතරම කතා කළා කියලා.. සොරි, මෙච්චර දවස් ගන්න බැරි උනාට..”

මේ කතාව පැය බාගයක් පමණ වූ අතර ඔහු මගේ අධ්‍යාපන කටයුතු ගැන පවා විමසීමට කාරුණික වුණේය. වරින් වර රොශාන්ගේ වැඩිමල් දියනිය වූ රශ්මිකා අපේ කතාවට බාධා කලේ ඔහුගෙන් රිසීවරය උදුරා ගනිමින්‍ ය. මේ වන විට විවාහ වී දරුවෙක් ද ඉන්නා ඈ එවකට කුඩා දැරියක්ය. ක්‍රිකට් ගැන වූ විවිධ ඕපාදූප මෙන්ම රසවත් කතාත් සහිත වූ ඒ පැය බාගය කොච්චියාට අතිශය සතුටුදායක වූයේය. දුරකථන ගාස්තු අධික එදා මා වැනි නාඳුනන පාසල් සිසුවෙක් වෙනුවෙන් එතරම් කාලයක් දුරකථනයෙන් ගත කිරීමම මට දැනුනේ ඉමහත් භාග්‍යයක් ලෙසය.

වසර කීපයක් එසේ ඔවුන් හා දුරකථනයෙන් පැවති සම්බන්ධය කෙසේ ද යත් කොච්චියාගේ සාමාන්‍ය පෙල විභාගයට පෙර දින රොශාන්ගේ මව හා පියා පමණක් නොව ඔහුගේ බිරිඳ ජීවා ද මට අමතා සුබ පැතීමට තරම් සුන්දර මිනිස්සු වූවෝය. තරඟ සංචාරයක් නිසා රොශාන් අයියා සිටියේ රටෙන් පිටය.

ජොන්ටි රෝඩ්ස් සමග සමකාලීනව ක්‍රිකට් ගැසූ රොශාන්, පන්දු රකින්නෙක් ලෙසින් ජොන්ටිට වඩා ඉදිරියෙන් සිටි බව කොච්චියා සිතන්නේය. බැක්වර්ඩ් පොයින්ට් හි පමණක් පන්දු රැකි ජොන්ටි අති විශිෂ්ටයෙක් වූ නමුත් එක්ස්ට්‍රා කවර් මෙන්ම ස්ලිප් හි සහ යාර තිහෙන් පිටද ඇදහිය නොහැකි උඩ පන්දු රැසක් රැක ගෙන ඇති රොශාන් මහානාම ගේ ළඟින් තැබිය හැකිවූ එකම පන්දු රකින්නා ලෙස මා සිතන්නේ රොජර් හාපර් ය.සුදු හමට පමණක් කඩේ ගිය විචාරකයන් උන් ඒ කාලයේ සුපිරි පන්දු රකින්නන් වූ මහානාම මෙන්ම හාපර් සහ හූපර් ද අසාරුඩීන් හා ජඩේජා ද ඇගයීමට ලක් වූයේ අසාධාරණවය.

පෝස්ටුව ලියන්නට හිතුවේ  රොශාන් මහානාම ගැන  උනාට හිතෙන්නේ සහ ලියවෙන්නේම සමන්තබද්‍ර උන්නාන්සේ ගැනමය.කොච්චියා අසා ඇති බණ සහ බුදුන් ගේ ඉගැන්වීම් අරගෙන බලනා විට චතුරාර්ය සත්‍යය ගැන සමන්තබද්‍රයන්ගේ එකදු දෙසුමක් වත් ප්‍රතික්ෂේප කල නොහැක්කේය.  උන්නාන්සේ ගේ රහත් කම හෝ බුද්ධත්වය ගැන කොච්චියා ඉන්නේ මැදහත්වය. සිද්ධාර්ථ ගේ බුද්ධත්වය උනත් ඒ කාලේ ප්‍රශ්නයට ලක් නොවුනේ ඒ සමාජය කලින් බුදු බණ කියා වෙන වෙන බයිලා අසා නොතිබූ නිසාය. මනුස්සයා කියනා එකා කැමති ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ හිර වෙන්නටය… අච්චර මිනිස්සු ගොනාට අන්දන කිරිබත්ගොඩ උන්නාන්සේට වඩා පිටිදූවේ කුණු බැනුම් අසන්නේ ඒ නිසාය.

කෙසේ නමුත් තමාගේම පිලිමයක් නෙලාගෙන ආතල් ගැනීම නම් කොච්චියාට පේන්නේ විගඩමක් ලෙසටය. මේ ගැන උන්නාන්සේට දහසක් පැහැදිලි කිරීම් තියෙන්නටද හැකිය..ඒවා නුදුරේදීම ජනමාධ්‍ය හරහා එලියටද දෙනවා ඇත්තේය..මොකද බිඳහෙලිය නොහෙන explanation එකක් නැතිව පිටිදූවේ උන්නාන්සේ වාතයක් වත් පිට නොකරන බව කොච්චියා දන්නා නිසාය. මා මෙහෙම කිව්වා කියා උන්නාන්සේගේ අනුගාමිකයෝ කිපෙන්නට නම් එපාය..මා කියන්නේ මට හිතෙනා දේ මිස එසේ මට හිතෙනා දේ තිතට හරි කියා නෙවේය.



පිළිමය නෙලා ගැනීමෙන් සමන්තබද්‍රයෝ ඇද වැටුනේ අප මහා මහින්ද රාජෝත්තමයාණන්ගේ මට්ටමටය. එතුමාණෝ එකල ලයිට් කණුවක් ගානේ පනාව දමා ගෙන එල්ලිලා උන්නා වගේ ය.මීට කලකට පෙර ධාතු වන්දනාව කියන්නාවූ වෙළඳාමට තදින් පහර දුන් උන්නාන්සේ පිලිමයක් නෙලාගෙන එතනිනුත් අඩියක් බිමට වැටුණු බව කොච්චියාට හැඟෙන්නේය..  බෞද්ධ කියන ගෝත්‍රයට අයිති නොවන මට මේ ගැන කියන්නට ඇති අයිතිය ගැන ඇතමුන්ට ප්‍රශ්නයක් වෙන්නටත් පුලුවන් ය. ආයෙත් කියන්නේ එහෙම හිතන්නට එපාය..මේ කොච්චියාට දැනෙන දේය...එය වැරදි වෙන්නට පුලුවන්‍ ය.

කොච්චියාට නම් සමන්තබද්‍ර කියන්නේත් තවත් ගුරුවරයෙක් ය. සිද්ධාර්ථ ගෞතම, යේසුස් හා මුහම්මද් කියන්නේත් ගුරුවරුමය. ඔය ඇත්තන් ඉගැන්වූ දෙයින් මගේ හිතට දුක ඇතිවන ක්‍රමය අවබෝධ වනවා මෙන්ම ඒ දුක නැති කරන ක්‍රමයක්ද ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එච්චරය. සිද්ධාර්ථ බුදු වුනාද යන්න හෝ යේසුස් කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ද යන්න වත් කොච්චියාට අදාල නොවන්නේය .. එහෙව් එකේ සමන්තබද්‍ර රහත් ද බුදු ද යන්න කොහෙත්ම අදාල නැත්තේය…. උන්නාන්සේ තමා දෙසන මග තුල ඉන්නවාද නැද්ද යන්න අපට වැඩක් නැතිය… ඒක හරියට ගණිත ගුරුවරයා ප්‍රමේයයක් ඉගැන්වූවා වගේය. ප්‍රමේයය ඉගැන්වූවාට ඒ ගුරුවරයා ට ඊට අදාල ගැටලුවක් විසඳා ගත නොහැකි වන්නට පුලුවන් ය...එහෙත් ඒ ගැටලුව ඔහේ හෝ මා පහසුවෙන් විසඳන්නටද ඉඩ ඇත්තේය … දැන් මෙය මෙසේ වූවා කියා ගුරුවරයා ගේ ගුරු භාවය නැති වන්නේ නැතිය...එමෙන්ම ඔහේට හා මටත් බුදු වෙන්නට පුලුවන් කියා ද හිතන්නට පුලුවන් ය.

අද ලියන්නට උන්නේ සමන්තබද්‍රයෝ පසුබිමේ තබාගෙන රොශාන් මහානාම ගැනය...සිද්ද උනේ එහි අනෙක් පැත්තය....කෑවේ බතුයි පරිප්පුයි ද පරිප්පුයි බතුයි ද කියා තීරණය කළ යුත්තේ ඔහේලාය.