Monday, December 26, 2016

ඩෙලිකා වෑන් එකේ තේ කඩේ, බේක් හවුස්, ස්වීට් හවුස් සහ නෝනාගේ කොන්දේ අමාරුව

දැන් මාසයක පටන් කොච්චියාගේ නෝනා කොන්දේ ආබාධයක් නිසා පීඩා විඳින්නේය. ගේ ඇතුලේ ලිස්සා වැටුණු ඈ කොන්දේ ඇතිවූ බරපතල නොවු වේදනාව නොසලකා සිටියාය. ඒත් එන්න එන්නම වේදනාව වැඩිවූ අතර වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවීමෙන් පසු දැන ගන්නට ලැබුණේ කශේරුවේ අස්ථි දෙකක් අතර පරතරය අඩුවී ඇති බවක් ය. බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් ගුණයක් නැති කල්හි යොමු වුණේ ආයුර්වේද ප්‍රතිකාර වෙතය. දැන් සති දෙකක් තිස්සේ දිනපතා ඇය ව ප්‍රතිකාර සඳහා ගෙන යන අතර දිනෙන් දින ප්‍රගතියක් දක්නට ඇත්තේය.


මුල් දින කීපයේ හැන්දෑවේ වෙලාවක් වෙන් කර ගත්තද එය අපේ දෛනික රාජකාරි වලට  බාධාවක් හෙයින් කීප දිනෙක සිට උදේ 8.30 ට ඇයව අදාල ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා ඇරලවිය යුත්තේය. ඇතැම් දින වල ජහුටාද අප සමග යන්නේය. එසේ යන යම් දිනවල ඈ එහි ඇරලවා අප පාතරාසය සඳහා රුවී ප්‍රදේශයේ අවන් හලක් වෙත යන්නේ බඩ කට පුරා වඩේ සහ තෝසේ කන්නටය.


පසු ගිය සතියේ එසේ එක් අවන්හලකින් තේ ඉල්ලූ විට පීරිසි කුට්ටමක තේ ලැබුණේය.ඒ දුටු ජහුටා කීවේ පීරිසියේ දමා තේ බොන්නට හිතෙන බවය. ඕමානයේ පීරිසි කුට්ටමක තේ එකක් ලැබෙන්නේ එහෙමත් කලාතුරකින් ය.කෙසේ නමුත් ඒ ප්‍රකාශය කොච්චියාව දශක තුනක් පමණ ආපස්සට ගෙනාවේය. එක්දාස් නවසිය අසූ ගණන් වල
… එනම් කොච්චියා පොඩි එකා සන්ධියේ සිදුවීම් සමුදායක් සිත්තම් පෙළක් සේ මතකයට ආවේය.


ඔය කාලයේ කොච්චියාට තදින් හතිය තිබුණේය. දෙවරක්ම නියුමෝනියාව සෑදී ලේඩි රිජ්වේ එකේ හිටියේය. ලේඩි රිජ්වේ එකට එකල කිව්වේ නෝනා වාට්ටුව කියාය.පැය හයෙන් හයට ඉන්ජෙක්ෂන් ගැසුවා මතකය. ඉන්ජෙක්ෂන් ගහන්නට නර්ස් ලා එන විට සියලු පොඩි උන් හඬා වැටෙද්දී මා නොහඬා සිටියා මතකය. නර්ස් ලා අනෙක් පොඩි උන්ට මාව වීරයෙක් කර පෙන්නුවෝය.


ඔය කී රෝගී තත්වයන් හට කොච්චියාට බෙහෙත් කළේ ප්‍රියානි සොයිසා ය. අදටත් මට ඇගේ මුහුණ මතකේ ඇත්තේය.. එකල මිලිටරි පිස්සුවක් තිබූ කොච්චියා ඈ දුටු කල සැලියුට් ගැසුවේය. ඇගේ ප්‍රියතම රෝගියා වූයේද කොච්චියාය. නිතර ඈ චැනල් කිරීම සිදුවූ ඒ කාලයේ මගේ දෙමාපියෝ මහත් කට්ටක් කෑවෝය.


මුලදී ප්‍රියානි සොයිසා ආවේ සෙන්ට්‍රල් එකට විතරය. එකල සෙන්ට්‍රල් එක තිබ්බේ හෝටන් ප්ලේස් එකේය. දැන් එතන එවැන්නක් නැත්තේය. හෝටන් පෙදෙසේ වූ ඒ සෙන්ට්‍රල් එක කොච්චියාට අදටත් හොඳින් මතකය. එහි වූ චැනල් කාමර මෙන්ම වැසිකිළි පවා තාමත් හිතේ ඇත්තේය.


අද මෙන් එක ක්ලික් එකකින් හෝ ඇමතුමකින් හෝ දොස්තරලා චැනල් කිරීමේ ක්‍රමයක් එදා තිබ්බේ නැතිය. ඒ සඳහා එතනටම යා යුතුය. එකල චැනලින් සෙන්ටර්ස් තිබ්බේ දෙක තුනක් ය. සෙන්ට්‍රල් ඉන් මූලික වූ අතර පසුව ආවේ ග්ලාස් හවුස් ය.. එය තිබ්බේ කටුගේ ඉස්සරහට වන්නය. කොච්චියාට ඒ කාලේ කටුගේ කටපාඩම් ය. ඕනෑම කෞතුක වස්තුවක් ඇති තැන මතකයෙන් කියන්නට තරම් මා එහි ගොස් ඇත්තේය. ඒ චැනලින් නිසා මය.


වහන්නට ඔන්න මෙන්න කාලයේ සෙන්ට්‍රල් එකේ ඉදිරිපස
දවාලේ සෙන්ට්‍රල් එන සොයිසා නෝනා චැනල් කරන්නට උදෙන් ආ යුතුය.ඒ ඇවිත් ඈ එනතුරු එහි ඉන්නට ඕනෑය. එකල අද මෙන් පොෂ් කැෆටේරියා ඕවායේ තිබ්බේ නැතිය. ඒ වෙනුවට ගේට්ටුව ආසන්නයේ නැවැත්වූ කබල් ඩෙලිකා වෑන් කට්ටක් තිබ්බේය. එහි රෝල්ස් කට්ලට් සැන්ඩ්විච් මෙන්ම වඩේ ද තිබ්බේය. අම්මා ත් තාත්තාත් මාද රැගෙන උදේ දහය හමාර පමණ වෙද්දී ඔතනට යන්නෝය. ඒ රෝල්ස් මෙන්ම එකල තිබූ තක්කාලි සෝස් ද පට්ට රසය. අද ඇති සෝස් මොනවා දැයි හිතෙන්නේය. රෝල් එකක් හා සැන්ඩ්විච් එකක් කන පොඩි කොච්චියා ඔය වෑන් එකෙන් තේ බොන්නට මහත් ආසාවකින් හිටියේය. ඒවා කෝප්පයෙන් පීරිසියට දමා නිවා දෙන්නේ තාත්තාය. පීරිසියෙන් බිවූ ඒ තේ රස මගේ දිවේ අදටත් ඇත්තේය. මට එසේ තේ නිවා දුන් තාත්‍තා මෙන්ම රෝල්ස් කඩා කැවූ අම්මා ගැනද ඇත්තේ මහත් ආදරයක් ය. ඔවුන් මා වෙනුවෙන් එදා මෙන්ම අදටත් මහත් වූ කැපකිරීම් කර ඇතිවා මෙන්ම ඉදිරියටත් කරන්නෝය. ඒත් ඒ වෙනුවෙන් මා කර ඇති ලබ්බක් නැත්තේය … ඒත් හිත පුරා ආදරය නම් ඇති බව ඔවුන් දන්නා බවත් දන්නේය. අර කිවූ පීරිසි කුට්ටම මට මතක් කර දුන්නේ ඒ ආදරයය.


දොස්තර බැහැ දැකීමෙන් අනතුරුව අප යන්නේ දවල් කෑම ගන්නටය. ඒ කාලේ බේක් හවුස් එක කියන්නේ සැලකිය යුතු හෝටලයක් ය. බත් කන්නට නම් එහි උඩ තට්ටුවට යා යුතුය. යට තට්ටුවේ ඇත්තේ ෂෝට් ඊට්ස් හා ස්වීට්ස් ය. උඩට ගොස් රයිස් ඇන්ඩ් කරි හෝ බිරියානි ඉල්ලන්නට පුලුවන් ය. අරාබියේ ඉන්නා නිසා අද බිරියානි කීවාට ලංකාවේ අප කිව්වේත් කියන්නේත් බුරියානි කියාය.දීසි වලට දමා ගෙනෙන ඒ කෑම වේලද තාම මතකය. කෑමෙන් පසු වටලප්පන් හෝ කැරමල් පුඩින් ය. කොච්චියා බේත් ගන්නට එන ඔය ගමනේ ආසම කරන කොටස ඕකය. ඇතැම් දාට කොච්චියා වටලප්පන් දෙකක් ම කන්නේය.. එකක් කෑවත් එදාට අම්මාගෙන් කොටසක් කන්නේය. ඔය බේක් හවුස් එක තිබ්බේ පරණ ගෙදරක් වගේ එකකය. ඒ වේටර් ලාද රහීමාවේ වේටර් ලා මෙන්ම කොච්චියාට ආදරේ කළෝය. කෑමෙන් පසු එහි ඉහළ මාලයේ වූ කොරිඩෝරයක් දිගේ ගියවිට හමුවන ඉතා විශාල වැසිකිළියකට ගොස් මුත්‍රා කිරීමද මා පුරුද්දක් සේ කළේය. මේ සියල්ල ඊයේ පෙරේදා මතක් වුණේ තේ පීරිසියක් නිසාය.
අත හැර දමා මළ කෑමට ලක්වූ කෝච්චියේ එන්ජිම


ඇතැම් දාට ප්‍රියානි සොයිසා දවල් එන්නේ නැති බව හදිසියේ දැනුම් දෙන්නේය. එදාට හවස් වනතුරු කාලය ගත කළ යුතුය. එවිට අම්මාත් තාත්තාත් මා රැගෙන විහාර මහා දේවී උද්‍යනයට යන්නෝය. එකල කාලය කෑමට MC හෝ Crescat වගේ පොෂ් තැන් නොතිබ්බේය. පාක් එකට යන කොච්චියා එහි වූ කෝච්චියට මහත් සේ ආසා කළේය. එහි රවුමක් යන්නට අමතක නොකළ මා.ඇතැම් දින වල බත් කෑවේ ඒ තුල ඉඳ ගෙනය. එවැන් දිනවල බත් පාර්සල් ගෙනැවිත් අපි පාක් එකේ ඉඳන් කෑ බවද මතකය.


ඔය කාලයේ අප හා ඔය ගමන් වලට සහභාගි වූ රියදුරා ඇඩ්ඩිං මාමා ය. උන්දෑ අද ජීවතුන් අතර ඉන්නවාද නැද්ද කියා දන්නේ නැතිය. හෙට ඒ ගැන ගෙදරට කතා කර අසා ගත යුත්තේය . ඇඩ්ඩිං මාමා නැති දාට ඔය ගමන ගියේ විල්බට් මාමා එක්කය. හවස් ජාමේ ආපසු එන විට තේ බොන්නට තාත්තා යන්නේ වත්තල ස්වීට් හවුස් එකටය. අඩියෙන් අඩියට පේස්ට්‍රි ෂොප් නොතිබූ එදා ස්වීට් හවුස් කියන්නේ සුපිරි ස්පොට් එකක් ය. නුගේගොඩ මෙන්ම කිරිබත්ගොඩ හෝ කඩවත ද ස්වීට් හවුස් තිබ්බේය. ඒ තේ එක මෙන්ම එහි තිබු ෂෝට් ඊට්ස් ද බේක් හවුසියේ ඒවා වගේම තාම මතකේ ඇත්තේය.


කොච්චියා කාලෙකට පසු අච්චාරුවක් නොවන කතාවක් ලියා අවසන් කළේය. හැබැයි කියවා අවසානයේ ඔහේලාට මාව මළ පෙරේතයෙක් සේ හිතෙන්නටද පුලුවන්‍ ය. කොච්චියා කවදත් කෑමට බීමට ටිකක් පෙරේතය. ඒ නිසා එසේ හිතුවාට අමනාප වෙන්නේද නැත්තේය. කොච්චියා අතීතකාමියෙක් ය. ඒ අතීතයන්‍ට ඈත ඉඳන් පෙම් කරන්නෙක් ය. ලං වී පෙම් කර රහසේ කඳුලක් හලන්නෙක් ද නොවේය.

කොච්චියා මේ කතාවේ ලින්ක් එක නංගීට යවන්නේය. ඈ එය අම්මා හා තාත්තාටද කියවනවා ඇත්තේය. මා එසේ දෙමාපියන්ට කියවිය හැකි මට්ටමේ ඒවා ලියන්නේ ඉඳ හිටය. නංගී මෙන්ම මල්ලී ද මගේ කුණුහබ්බ ලෝකය දන්නා නිසා උන් මා ලියන ඒවා සාමාන්‍යයෙන් දෙමාපියන්ට කියවන්නේ ෆිල්ටර් කරලාය.

Friday, December 23, 2016

හොරට බොන කතන්දරකාරයා, සඳවතියගේ දැවෙන ඇස් සමග මීගමුවේ සිරි සුබ නත්තල්

අද ලියන්නට උන්නේ එකක් ය..ඒත් ලියවෙන්නේ අනෙකක් ය. කලින් පෝස්ටුවේ මහ වැස්සේ සිදුවූ ඒ සිදු නොවීම ගැන එකිනෙකා අනේකවූ කතා කිව්වෝය. හැලපයා නම් දුරකථනයෙන් පවා මා අමතා ඒ මග හැරුණු අවස්ථාව සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළේය. කොච්චියාගේ අතීතය දන්නා ඇතමුන් එය එසේ සිදු නොවීම කොහෙත්ම පිළිගත නොහැකි බවත් ඩොමෙස්ටික් සෙන්සර් වලට හසු නොවනු පිණිස සැබෑ සිද්ධිය විකෘති කර ඇති බවටත් සැක පළ කළෝය.


මේ සියල්ල අතරේ එක් බ්ලොග් කාරියක් මගේ කතාව තුල ගැඹුරටම කිමිදී මගේ හැඟීම් ඇගේ වචනයෙන් ලිව්වාය. මහනුවර ට සිහිනමය ප්‍රේමයක වෙලී ඉන්නා ඇය මගේ රළු පරලු වූ ප්‍රකාශනය මට සිළුටු කර ඇගේ බ්ලොගයේ ලියා දැම්මාය.  මේ කිව්වේ කවි සඳැල්ල ලියනා සොඳුරු සඳවතිය ගැනය.


සඳවතියගේ සොඳුරු වූත් ආත්මීය වූත් සරාගී වූත් කවි වලට කොච්චියා හැමදාමත් ප්‍රිය කළේය. ඒ ගැන ඈට දමනා කමෙන්ටු වලද සඳහන් කර ඇත්තේය. ශෘංගාරය මිශ්‍ර වූ හැඟීම් වල අන්තිම තුඩ සියුම්ව අකුරු වලින් චිත්‍රණය කිරීම ඈ දන්නීය.


මේ නත්තල් සමයේ ඕමානයේම ඉන්නට වීම නම් සතුටට කාරණයක් නොවන්නේය … මීගමුව ආශ්‍රිතව නත්තල් සැමරූ කොච්චියාට ලංකාවේ උනත් වෙනත් ප්‍රදේශයක ඇති නත්තල නත්තලක් නෙවේ වගේ දැනෙන්නේය.  තරු හෝටල් මෙන්ම පල්ලි වලද නත්තල් කැරොල් හා වෙනත් ඉවෙන්ට්ස් ද ඇති මුත් ඕනෑම උත්සවයක සිරිය දැනෙන්නට නම් එය සමාජගත වී තිබිය යුතු බව කොච්චියා අදහන්නේය. අළුත් අවුරුදු සමරන්නට එකල මා ගාල්ලට හා නුවරට ගියේද ඒ නිසාය..මීගමුවේ ඇති අළුත් අවුරුද්දක් නැත්තේය..ඕමානයේ ඇති නත්තලක්ද නැත්තේය ...





දෙසැම්බර් 24 හවස කියන්නේ මීගමුවට සුවිශේෂී වරුවක් ය. කලබලයෙන් ෂොපින් කරන්නෝ මෙන්ම අවට සිරිය මෙන්ම නත්තල් ෆීලින්ග් එක වෙනුවෙන් නගරයේ සැරිසරන්නෝද එදාට බහුලය. රටබීම අලෙවි සැල් වල පෝලිම් ය. ආපිකෝ සහ කාගිල්ස් මෙන්ම කීල්ස් සුපර් ද ලං වන්නට බැරි තරම් පාරිභෝගිකයන් ගෙන් පිරිලාය..කුඩා කාලයේ පටන් 24 වෙනිදා හවස කොච්චියා අම්මා එක්ක මීගමුවේ කැරකෙන්නේය. නත්තල් සැරසිලි වගේ පොඩි දෙයක් පමණක් මිලට ගන්නා එදාට කුඩා මගේ හිත පිරෙන්නේ නත්තල් අසිරිය දැකලාය.


නත්තලේ පණිවිඩය මෙය නොවේ කියා කොච්චියා දන්නේය. ඒත් පණිවිඩය මොකක්දැයි දන්නා උන් පූජකයන් අතර පවා නැති ලොවක අසිරිය කියන එක හඳුනනා මිනිසුන් සිටීම මට නම් වටින්නේය. බුදුන් දෙසූ දේ නොදන්නා සංඝයා මෙන්ම යේසුස් ඉගැන්නූ දේ නොදන්නා පාදිලියෝ ද සිටි නිසා ලොවට මේ කියනා ආගම් පහළ වී ඇත්තේය. ශාස්තෲ ඉගැන්නූ දේ ඉන් පසුවටත් දෙසුවා නම් ආගම් ඇති නොවන්නේය..ආගම් ඇති කිරීමේ අදහසක් උන්නාන්සේ ලාගේ තුන් හිතකවත් තියෙන්නට නැත්තේය.


යේසුස් අද සිටියා නම් ඒත් කියන්නේ ආදරය ගැන විතරමය. කිසිවක් බලාපොරොත්තු නොවී ආදරය කරන්නට කියන එකම විතරය. දුක නැතිව ජීවත් වෙන එක පමණමය.. ඒ කියන්නේත් නිර්වාණය ගැන මය..දැන් මහා පඬිවරු අභිධර්මය ගැන මෙන්ම පටිච්ච සමුප්පාදය ගැනද මහා විස්තර කියා ගෙන ඔය දෙක වෙනස් කියා ගෙන එන්නට එපාය..මේ ලෝකයට ඕනා කොයි මාර්ගයෙන් හෝ දුක නසනා ක්‍රමයක් ය. හැමදේම ග්ලෝබලයිස් වන අද කොච්චියා නම් හිතන්නේ සියලු ඉගැන්වීම් ද ග්ලෝබලයිස් විය යුතු බවය..


කාදිනල් ට නත්තල් ගහ ප්‍රශ්නයක් උනාට යේසුස්ට එසේ නොවන බව කොච්චියාට ෂුවර් ය.. මොකෝ උන්නාන්සේ ආවේ ඔය වගේ සිල්ලර කතිකාවකට නොවන නිසාය. දුප්පත් මිනිසුන්ට ගෙවල් හදා දෙන්නට ඕනා කම කාදිනල් ට තිබ්බාට යේසුස්ට ඒකත් ඕනෑ නැතිය..උන්නාන්සේට ඕනා දුගියාට නැති කම ගැන මෙන්ම පෝසතාට ඇති කම ගැන ඇති හැඟීම යන දෙකම ශුන්‍යය කරන්නටය... හදන්නේ ගෙවල්ද නත්තල් ගස්ද යන්න මත එය තීරණය වන්නේ නැතිය.


ඕවා කෙසේ වෙතත් අර කලින් පෝස්ටුවේ කියූ මූසල දෙසැම්බරයේ උදාවූ නත්තල කොච්චියාට ගෙනාවේ සතුටක් නොවේය. තනිකම කියන්නේ මොකක්ද යන්න මෙන්ම ලෞකික සතුට කියන්නේ මොකක්ද කියාත් ඒ 24 වෙනිදා මා තේරුම් ගත්තේය. දුකසේ සිය බිරිඳ හා දරුවන් සමග…. දරු දෙදෙනා ලගේජයේ දමා ගෙන යන්තම් එලවලු මාලු ටිකක් සහ ගල් කාලක් මෙන්ම ලාබ නත්තල් සැරසිලි කීපයක්ද මල්ලක දාගෙන බයිසිකලයක් පැද ගිය මිනිසෙක් දැක මට මා ගැන මහත් දුකක් මෙන්ම ඒ මිනිසා ගැන තදබල ඊර්ෂ්‍යාවක්ද හට ගත්තේය...ඉන් නොනැවතුණු මගේ ඊර්ෂ්‍යාව රාත්‍රියේ පල්ලියේ මිදුලේ සිට සිය ගැහැණිය සමග පූජාවට සහභාගි වූ යාචකයෙක් කෙරේද එල්ල වුණේය.


සරල ගණිතය ඇතුලේ එක බින්දුවෙන් බෙදූ කල පිළිතුර අනන්තය යැයි කීවාට අනන්තය තනිව ඩිෆයින් කළ නොහැකි කල්හි බින්දුව සහ එක පවා සැබවින් පවතින්නේ නැතිය. ඕවා අවකලනය ඇසුරින් පහදන්නට වෙලාව මෙය නොවේය..ශුන්‍යත්වය මෙන්ම පරිපූර්ණත්වය ද සැබවින් පවතින්නේ නැතිය..එකල ඔහේලාට හා මට අත්කර ගන්නට හෝ නැති කරගන්නට දෙයක් නැත්තේය..යේසුස් මෙන්ම බුදුන්ද පුන පුනා කීවේ මෙය ය.එදා කොච්චියා මේවා තේරුම් ගෙන තිබ්බේ නැතිය..කලකිරීම,දුක හා ඊරිසියාව හට ගන්නේ එවිටය.


දැන් ටිකකට කලින් හැලපයා මා ඇමතුවේය. නත්තල් පාටියේ තත්වය ගැන විමසුවේය. නෝනා හදන්නට ඉන්නේ මොනවාදැයි ඇසූ අතර දෙකක් දමා තනියෙන් අනුමත වී ඇති බවද කීවේය. මාද ඒ වන විට අනුමත වීම අරඹා තිබූ අතර මතක් වූයේ කලක් කතන්දර කිවූ රසිකවය. රසික අන්තිමට ලියූවේ හොරට බොන හැටි ගැනය.. ජීවිතයේ අද වෙන තෙක් හොරට නොබිවූ කොච්චියා හෙටද එසේ බීමට බලාපොරොත්තුවක් නැත්තේය.බොතොත් බොන්නේ බොක්කෙන් ය.. මා බොන්නේ වෙරි වෙන්නටය. වෙරි නොවී ඉන්නට නම් කොච්චියා නොබී ඉන්නේය. එසේ නොබී හිටියත් මගේ වටේ ඉන්නා කිසිවෙක් අහිතක් නොසිතන්නේය.. එහෙම හිතෙනා උන එක්ක සෝෂල් ඩ්‍රින්ක් නොගන්නා කොච්චියා ඒ වෙනුවට ගෙදර ඉඳන් තනියම බොන්නේය..හරියට නිකන් අද හැලපයා බිව්වා වගේය. රසික ගේ පෝස්ට් මා කියවන්නේ මහත් ආසාවකින් ය.. ඒත් හොරට බොන්නට ඉගැන්වූ ඒ පෝස්ට් එක මට අල්ලන්නේ නැතිය.. ඒත් ඒ මිනිහාගේ හැටිය. සමහර විට අපට ඔවදන් දුන්නාට රසික ඊට වඩා බොක්කේ පොරක් වෙන්නටද පුලුවන් ය. පේරාදෙණියේ උගත් රසික..මරදානේ ඉස්කෝලේ ගිය රසික අපට එසේ කිව්වාට ඌ එසේ නොවේ යැයි හිතන්නට කොච්චියා ආසාය. රසිකගේ පොරත්වයේ පැවැත්ම කොච්චියාගේ පැතුමය…


නත්තලට තව ඇත්තේ පැය ගණනක් ය. ඔහේලා බහුතරයක් ආගම් බේදයෙන් තොරව ඒ ආතල් එක ගන්නා බව මා දන්නේය. සාමය හා සතුට ඕනෑ නත්තලේ පමණක් නෙවේය. සදහටමය. ඒ සඳහා පල්ලියෙන් හෝ පන්සලෙන් ලැබෙනා ඉට්ටක් නොමැති බව කොච්චියා සහසුද්දෙන්ම දන්නේය. එහෙත් අපට ඕනෑවූ ඒ සාමය හා සතුට ගැන දෙසූ යේසුස් ගේ උපත සමරන මේ නත්තල ඔබ සැමට සතුට පිරි එකක් වේවා යැයි කොච්චියා පතන්නේ බොක්කෙන්මය… පල්ලියේ පිල්ලියෙන් ඉවත්වී ශුද්ධ ලෙස යේසුස් දෙසූ ආදරය වැළඳගන්නට අපට හැකිවූ දිනෙක සතුට අප සතු වනු ඇත්තේය...දුක පහව යනු ඇත්තේය..එදාට අළුත් අහසක් හා අළුත් පොළවක් දැකිය හැකි වනු ඇත්තේය.


ඔබ සැමට සුබ නත්තලක් වේවා!

Monday, December 19, 2016

අස්ගිරියේ වැස්සට නොතෙමුණු කොච්චියාගේ මූසල දෙසැම්බරය

දෙසැම්බරය කියන්නේ කොච්චියා හිච්චියා කාලයේ සිට වඩාත්ම ප්‍රිය කළ මාසයය. මීගමුවට නුදුරේ ජීවත් වූ අපට දෙසැම්බර් ලැබුවේම නත්තල් අසිරිය දනවමින් ය. ඉස්කෝලේ යන කාලයේ දෙසැම්බරය අප කාටත් නිවාඩු කාලයක් මෙන්ම අලුත් ශ්‍රේණියකට සමත් වුණාවූ බලාපොරොත්තුවේ මාසයක්ද විය.


කොච්චියාගේ ජීවිතයේ එකම එක කාලකණ්ණි දෙසැම්බරයක්ද තිබුණේය. ඒ කාලකණ්ණි මූසල බව හිතින් මකා දමන්නට මා ලංකාව පුරා සැරි සැරුවා මතකය...මුහුදු වෙරළවල් හා කඳු මුදුන් මත මෙන්ම ගං ඉවුරු වලද කොච්චියා තමා සමගම කතා කරමින් උන්නේය. ජීවිතය  කාලය සමග කෙතරම් පරිණත වෙන්නේ දැයි මට තේරෙන්නේ දැන් ය…. එවන් කම්පාවන් දහසක් මැද වුවත් මට නෙවේ වගේ ඉන්නට අද මේ ඉන්නා කොච්චියාට පුලුවන් ය.


ජීවිතයේ හැමදාමත් කොච්චියා මහනුවර ට ප්‍රිය කළේය. දුක මෙන්ම සතුට සමරන්නටද නුවර තරම් නගරයක් මට එදා මෙන්ම අදටත් නැතිය. අද කොච්චියා දුක සමරන්නේ නැතිවා මෙන්ම දුකට හිතේ ඉඩක් ඇත්තේද නැති ගානය. කොච්චියා අද උත්සහ කරන්නේ කොන්දේසි විරහිතව ආදරය කරන්නටය. කොන්දේසි විරහිත ආදරය තුල දුක සහ එයට හේතුව යන දෙකම ශුන්‍ය වන්නේය.ඒ කෙසේ උනත් සමීපතමයන් හා දිවි ගෙවනා විටදී ඔවුන් කම්පා වන දේවල් හිදී ඊට බණ නොදෙසා ප්‍රායෝගිකව හැසිරීමද අවශ්‍ය බව කොච්චියා උගෙන ඇත්තේය. මුල් වාක්‍යය හා ගැලපූ කල අද කොච්චියා නුවර යන්නේ සැප ගන්නටය..නුවර දී විවිධ සැපයන් ලෝකයේ අන් හැමතැනකටම වඩා වෙනස් ලෙස ගත හැකි බව මා කියන්නේ අත්දැකීමෙන් ය. විස්කි,සුරුට්ටු සහ කෝපි පමණක් නොව සෙක්ස් පවා එසේ ය.


මහත් වූ දුකින් සිටි ඔය කිවූ දෙසැම්බරයේ  කොච්චියා නුවර ගොස් නැවතී සිටියේ ළඟම මිතුරියකගේ ගෙදරය. මගේ ආත්මයේ ගැඹුරුතම වේදනාව එදා ඈ තරම් තේරුම් ගත් කිසිවෙකු නොවූවේය.මගේ දුකට හේතුවූ ඒ කාරණය පසු පස ඇයගේ සැමියා ද සිටි නිසා ඈත්, සිය වරද තේරුම් ගත් ඔහුත් මා අස්වැසීම ඔවුන්ගේ වගකීමක් හා යුතුකමක් සේ සැලකුවෝය.


අස්ගිරි මහා විහාරය පසු කරගෙන ඉහළට යද්දී රත්නායක බේකරිය අසල වූ තරමක විශාල නිවසක් වූ එහි මගේ කාමරය තිබුණේ උඩු මහලේ වූ අතර එය ඔවුන්ගේ කාමරයට යාබද එක විය.. ඇඳුමක් සෝදා ගැනීමට වත් සිත නොදුන් ඒ කාලයේ ඇය මගේ ඇඳුම් සෝදා වේලා මැද දුන්නා මෙන්ම තුන්වේලටම ආහාරද මා ආසා ලෙස සාදා දුන්නාය. ඒ අතරේ ඔහු මට බොන්නට ඇති පමණ බියර් කේස් පිටින් ගෙනත් දුන්නේය. සිය ක්ෂේත්‍රයන්ගේ අතිශය ප්‍රසිද්ධ වෘත්තිකයන් දෙදෙනෙක් වූ එම දෙපළගේ නම් සඳහන් නොකරන්නේ එය ඉදිරියේදී ලියන්නට ඉන්නා පෝස්ට් වලදී ඔවුන්ගේ චරිතයන්ට හානිකර විය හැකි නිසාය.


වැඩි මිතුරු ආශ්‍රයක් නොවූ ඔවුන්ගේ ගෙදර නිතර ආගිය එක් තරුණියක් වූවාය. තරුණියක් කිව්වාට එකල ඈ එක්දරු මවක් වූ අතර සැමියා හමුදා නිලධාරියෙක් බවට මතකයක් ඇත්තේය. ඇය එවකට මහනුවර නගරයේ රූපලාවණ්‍යගාරයක් පවත්වා ගෙන ගියාය. වැස්ස වගේ නමක් තිබූ ඇගේ රූපශ්‍රීය කොච්චියා ව සෑහෙන්න අවුල් කළේය. ඇගේ දෑස් තුල වූ ගින්න එවකට ඉබාගාතේ යමින් සිටි කොච්චියාව දෙදරවා පුපුරවා හරිමින් තිබ්බේය.කොටින්ම ඈ දෙස හෙලූ නෙත් ඉන් ඉවතට ගැනීම ඉතා දුෂ්කර වූ අතර ඉන් ඇය ද රහස් සතුටක් ලැබුවාය. ඉතා පැහැදිලි ලෙස ඇය මට ආරාධනා කරමින් සිටියාය.


මා වඩාත්ම අපහසුතාවයට පත්වූ ඒ රාත්‍රියේ ඇය අධික වැස්සේ රිය පැදවිය නොහැකි බව පවසමින් එහි නැවතීමට තීරණය කළාය. සිකුරාදාවක් වූ එදා මැදියම තෙක් ඕමි ගසමින් අපි කෝපි බිව්වෝය. ඒ අතරේ වල්පල් ද කියෙව්වෝය. වැස්ස වගේ නමක් තිබූ ඇයට ඒ මහ වැසි වැස්සාවූ රාත්‍රියේ වෙන් කර තිබ්බේ පහත මාලයේ වූ කාමරයක් වූ අතර ඈට සුබ රාත්‍රියක් පතා කාමරයට ගිය මගේ දුරකථනයට ඒ වන විටත් එස් එම් එස් ගලමින් තිබුණේය.


“I’m scared...I can’t sleep”
“shall I make another coffee for we both?”


ඔහේලා කෙසේ සිතුවත් කොච්චියා වැස්සට නොතෙමී සිටියේය. හෙණ ගසමින් වැසි වැස්සාවූ ඒ රාත්‍රියේ කොච්චියා ඇගෙන් කෝපි වත් නොබිව්වේය. ඒත් අද මෙන්ම එදත් කලකට පසු වැටෙනා වැස්සේ සුවඳ විඳින්නට කොච්චියා ආසාය… ඒ වැස්ස වියළි පොළවේ වැදී නහයට දැනෙන්නාවූ ඒ සුවඳට ද ආසා ය.


………………………………………………


කොච්චියා ඔය කාලයේ කිසිදා නොලැබූ අත්දැකීම් හිතා මතාම වින්දේය. අලිමුඩුක්කුව ගැන නොදන්නා නුවර වැසියෙක් නැත්තේය …. ඔය අලිමුඩුක්කුව ඇතුලේ කම්කරු පන්තියේ තැබෑරුමක් තිබ්බේය..තාම තියෙනවා දැයි නොදන්නේය. වරක් කොච්චියා එහි ගියේ බියර් බොන්නට සිතා ගෙනය. නුවර ප්‍රසිද්ධ pub වල එකල නිතර ගැවසුණු  කොච්චියාට ඒවායේ රහක් නැති බව වැටහෙමින් තිබුණේය. තමා තුලම රහ සෙවූ කොච්චියා නැවතුණේ අලි මුඩුක්කුවේය.. බියර් බොන්නට සිතා ගෙන ගියාට අවසානයේ අසෝක වීදුරු කීපයක් පිරෙන්නට ගල් අරක්කු බිවූ කොච්චියා මිතුරන් කීප දෙනෙක් දිනා ගත්තේය. ඉස්කෝලේ ලොකුව මෙන්ම අධ්‍යාපනය ද පඩ්ඩෙක් සේ කඩ්ඩ වැනීම ද ලොකු කර සැලකූ කොච්චියා පොළවේ පය තැබුවේ ඔය කාලයේය.


ඔය කාල පරිච්ඡේදය කොච්චියාව ඉස්කෝලය සහ දේශපාලනය මෙන්ම සිහින වලින්ද ඈත් කළේය. සිහින වලින් මුදනු ලැබූ මා නිකමෙක් ය යන්න මගේ මනුෂ්‍ය ස්වභාවය ඇතුළේ අදටත් මා පෙළන්නක්‍ ය...ඒත් දුකින් තොර ජීවිතය මට දැන් දැන් සිහින එපා කරවන්නේය. මේ කියන්නේ කොච්චියාගේ ආත්ම කථනයක් වෙන්නටද පුලුවන් ය...ඒත් එය විග්‍රහ කිරීමට කාලය වැය කිරීම මේ පෝස්ටුව පස්සට ඇදීමක් හෙයින් ඒ ගැන සිතීමද ඔහේලාටම පවරන්නේය. මට සාර්ථක මිනිසෙක් වීමේ ආසාවක් දැන් ඇත්තේම නැතිය...ඒ ආසාව මුලාවක් බව මා පසක් කර ඇත්තේය. දුක නොදැනෙනා ජීවියෙකු වීම ම ප්‍රමාණවත් බව මා අවබෝධ කර ඇත්තේය.


එදා අලි මුඩුක්කුවේ අමුතු සතෙක් සේ සැරි සැරූ කොච්චියා අද එහි ගියොත් උන්ගෙන් එකෙක් සේ හැසිරීම ප්‍රගුණ කර ඇත්තේය. ඊට වඩා අතිශය පහළට මෙන්ම ඉතාම ඉහළටත් එක සේ හැසිරීම අද මා දන්නේය. අධ්‍යාපනය කියන්නේ ඕකම බව තාත්තා වරක් කිව්වා මතකේ ඇත්තේය. තැනේ හැටියට ඇණේ ගැසීමද මගේම හැටියට කර ගත හැකි බව අද මා දන්නේය.. සංවේදී කොච්චියා නරුමයෙක් වී ඇත්තේ අවබෝධය මත පමණක් ය. ඔය අවබෝධය අන්තිම කොනටම ලැබූ සිද්ධාර්ථ හා යේසුස් වැන්නෝ මොන තරම් දුරට නරුමයන් වූවාද කියා හිතෙන්නේ අපි වැනි ගොබ්බයන් අවබෝධය තුල කෙතරම් හැඟීම් විරහිත නරුමයන් වී ඇතැයි සිතෙන කලටය.


අර වැස්ස වගේ නම තිබූ ඇත්තිය කාලෙකට පසු මතක් වුනේ අහම්බයෙන් ය.අද ඈ මූණුපොතේ වත් සොයා ගන්නට නැතිය..ඒත් ඈ කැන්ගරු දේශයේ සිට ආපසු සිරි ලංකාවට සැපත් වූ බවට කොච්චියාට ඉව වැටී ඇත්තේය.ඔය සිද්ධිය අද වෙනකන් නෝනාට පවා කියන්නට අමතකව තිබූ මාතෘකාවක් ය. අද බොන අතරේ කියන්නට හිටියාට ඈ කලින් නින්දට ගිය නිසා ඒ ද හබක් ය..හෙට උදේ ඇගේ මූඩ් එක මත කියන ආකාරය තීරණය කරන්නේය.


මේ මොහොතේ කොච්චියා ඉන්නේ සින්ගල් මෝල්ට් ග්ලෙන්ෆෙඩික් බෝතලයක් එක්කය.ඒ මා වඩාත්ම ආසා කරනා බෝතලය ය. කොච්චියා ග්ලෙන්ෆෙඩික් බොන්නේ අමුවෙන් මය. රස මැරීම පාපයක් ය. ඇරෝමාව මෙන්ම රසයද මාව ගෙනියන්නේ අනන්තයටය. වැස්ස වගේ වූ ඒ ගැහැනිය මගේ ජීවිතයේ එක රැයකටවත් මගේ නොවුනාට මගේ යෙහෙළියගේ සැමියා ඒ වැස්සේ තෙමුණේය.


මේ දැන් ජහුටා උගේ ශීෂාව මට දී මගේ එක ඌ ගත්තේය. ඌට ඒක සැර වැඩිය… කොච්චියා සැර නොතකන්නේය..රස පමණක් තකන්නේය. රසේ ස්වරුපය කොච්චියාට වැඩක් නැතිය. කැමැත්තෙන්ම උගේ ශීෂාව මගේ කර ගත්තේය. මූඩ් එකේ ඉන්නා විට මා හට ඕවා nothing ය.


මේ පෝස්ටුව අච්චාරුවක් සේ ඔහෙලාට පෙනෙන්නට පුලුවන් ය. කොච්චියා අච්චාරු වලට මහත් ආසාවක් ඇත්තෙක්ය. මගේ පෝස්ට් වැඩි හරියක් ලියවෙන්නේ වෙරි පිටය. ඒවා පහුවදාට එඩිට් කරන්නේද නැත්තේය. මේ ලියන බයිලා ඔහෙලාට කියවන්නට අමාරු නම් හෝ රහ නැති නම් මට සමා වෙනවා හොඳේය. එහෙමය කියා මගේ බයිලා මා නවතන්නේද නැතිය. ඒ කොච්චියාගේ හැටිය.


බහිරව කන්ද මෙන්ම හන්තාන මුදුනේද දුක දිය කළ ඒ කාලය මතකයට ගෙනා මේ පෝස්ටුවද මෙසේ නිම වෙන්නේය. ඇත්තක් මෙන්ම නැත්තක්ද නැති මෙහි මගේ ජීවිතයේ එක් රාමුවක පැතිකඩක් ලාවට වාගේ කියලා ඇත්තේය. කොච්චියාගේ ජීවිතයේ ඇතැම් පරිච්ඡේදයන් ගැඹුරින් කිව්වොත් අද සමාජයේ බැබළෙන සමහරුන්ගේ රෙදි ගැලවී උන් හෙලු වෙන්නෝය.. ඒ නිසා සීමා මායිම් එක්කම කතා කීමට කොච්චියා පුරුදු වී ඇත්තේය.

Monday, November 28, 2016

සත්‍යාගාරයේ පච වූ සුමනදාස, හොර කේන්දරකාරයෝ, නොස්ට්‍රදාමුස් සහ ආසිරිගේ පාන්

සිකුරාදා උදේ ටීවී එක දා ගත්තේ යූ ටියුබ් එකේ මොකක් හෝ සිංදුවක් දමා ගෙන බලමින් අසන්නටය. එහෙම කිව්වේ දැන් සිංදුවක් සම්පූර්ණ වෙන්නේ ඒකට වීඩියෝවක්ද තිබ්බොත් නිසාය. එහෙම තෝරන අතරේ උපුල් ශාන්ත සන්නස්ගල ගේ මූණත්තහඩුවද කොහෙන්දෝ පෙනුණු නිසා කොච්චියා ඒ මත ක්ලික් කළේය. ඒ පාර ආවේ සත්‍යාගාරය ප්‍රෝග්‍රෑම් එකේ රනිල් වික්‍රමසිංහ හිටපු එපිසෝඩ් එකය..එය මීට පෙර බලා ඇති බැවින් පොඩ්ඩක් එහෙට මෙහෙට කළ විට හිටපු රාජකීය දෛවඥයා වූ සුමනදාස අබේගුණවර්ධන සිටි එපිසෝඩ් එක ආවේය. මිනිහා ආතල් දෙන්නට දෙයියා බව දන්නා කොච්චියා උදේ පාන්දර ලේ පිරිසිදු කර ගන්නටත් හිතා ගෙන ඕක බලන්නට ගත්තේ දෙකකුල් ද ටීපෝව උඩින් දමා ගෙනය. නෝනා නැගිටලා නැති නිසා ඒ වාගේ විනය විරෝධී වැඩ කරන්නට ඒ වේලාව ආරක්ෂිතය.


හිනාවෙන්නට කියා හිතුවාට ටික වෙලාවක් බලද්දී කොච්චියාට දුක හිතුණේය. ඒ තරමටම සුමනදාස ලොක්කා අසරණ වුණේය. මහා දෛවඥයා අට වසරේ කොල්ලෙක් ටත් වඩා පහළට වැටුණේය. කොච්චියාට ඔය සුමනදාසයා පෙන්නන්නට බැරි නමුත් මෙතනදී නම් මිනිහා කෙරේ පැහැදිලි අනුකම්පාවක් ඇති වුණේය. සන්නා කොහොමත් ප්‍රශ්න අසා මිනිස්සු අමාරුවේ දාන්නට රුසියා බැව් කොච්චියා දන්නේය. ඒත් ගොඩක් උන් අමාරුවේ වටෙන්නේ උන්ගේ ජිල් මාට් නිසාය...එහෙමත් නැත්නම් එක් එක් තැන්හි කියා ඇති විවිධ බොරු පටලවා සන්නා ප්‍රශ්න අහන නිසාය..ඒත් මිනිහෙක් තමාගේම විෂය ඇතුලේ අසරණ උනා මේ දැක්කාමය. ඒකත් මේ වගේ එක එක පැත්තට කරකවා බයිලා ගැසිය හැකි සබ්ජෙක්ට් එකක් වූ ජ්‍යෝතිශය ගැනය. ජ්‍යෝතිශය ගැන අබමල් රේණුවක දැනුමක් නැති පාසල් යන පොඩි කොල්ලෙක් ට කිසි ගේමක් නැතිව ගොඩ දා ගත හැකි මට්ටමේ ප්‍රශ්න වලට සුමනදාසයා වටේ ගියේය. මෙහෙව් ගොනෙක් රාජකීය දෛවඥයා කර ගත් ඒ මහරජ තෙමේ කවර බුද්ධිමතෙක් දැයි කියාද හිතුණේය. ඒ ගැන කතා කළොත් වැඩේ දිග්ගැස්සෙන අතර හැම දාමත් වාගේ “ රජතුමා ගාව ගන්නෙ නැතුව උඹට ලියන්නම බැරිද” කියා අටමා අසනවා ඇත්තේය. මොනවා උනත් අටමා හොඳ එකා නිසා කොච්චියා ඌ එක්ක රජතුමා ට විරුද්ධව හා වදන්තදයට පක්ෂව කතා නොකිරීමට සිතා ගෙන ඉන්නේය..මොකෝ ඒවායින් අටමා ගේ ලාමක සිත රිදුනොත් ඒ පව කොච්චියාටය.


කාලයක් කොච්චියා සහ නෝනා නුවර පලාතේ පදිංචි වී සිටියෝය. වටපුලුවේ ය. පොල්ගොල්ල ඩෑම් එක අසබඩ පට්ට ලස්සන තැනකය. අසාර්ථක වූ ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් මාස කීපයක් නුවරට වී නාස්ති කළ ඒ කාලය අපේ ජීවිතවල සුන්දරම කාලය කිව්වත් නිවැරදිය … කරන්නට විශේෂ වැඩක් නොතිබූ ඒ දිනවල  අප දෙදෙනා කේන්දර කාරයන් පසු පස ගියේ උන් කියනා බොරු අහන්නය. ඒ අතර ප්‍රසිද්ධ හාමුදුරුවරු මෙන්ම බොහෝ මැති ඇමතිවරුන්ගේ විශ්වාසවන්ත දෛවඥයෝද උන්නෝය. කොච්චියා ගේ නෝනා ජ්‍යෝතිශය සම්බන්ධයෙන් යම් අධ්‍යයනයක් කළ ඇත්තියක් ය. ඒ ගැන ඇති විශ්වාසයක් නිසා නොවන මුත් විෂයයක් ලෙස එය දැන ගනු පිණිසමය. ඈ ඒ සඳහා ඉන්දියාවට පවා ගොස් ඇත්තේ නිවැරදි ලෙස ඒ දැනුම ග්‍රහණය කර ගන්නටය.වෙළඳපොළේ අලෙවි වන ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ගේ  ගේ දැනුම ගැන මෙන්ම ඔවුන් සිය දැනුම ප්‍රායෝගිකව පරිශීලනය කරන ආකාරය පර්යේෂණයට භාජනය කිරීම අපේ අරමුණ වූයේය.

අප මුලින්ම ගියේ ඩී එස් සේනානායක වීදියේ, ට්‍රිනිටි කොලීජිය ඉස්සරහට වෙන්නට තිබූ තැනකටය..මැදි වියේ වැදගත් පහේ මහත්තයෙක් කොම්පියුටරයක් භාවිතයෙන් සිය ජ්‍යෝතිශ කටයුතු කරගෙන යන්නේය. එතන වැඩ හරි වේගවත්‍ ය. කොම්පියුටරය නිසා වෙලාව හරියට දුන්නොත්  කේන්දරය නම් තිතට හරි ය. වැඩි විස්තර කථනයකට වෙලාව ගන්නේත් නැත්තේය..පොඩි ඩිස්පැන්සරියක් වගේය...කට්ටිය පෝලිමේ ඉන්නා නිසා සියලු විස්තර සහිත ප්‍රින්‍ටවුට් එක පාරිභෝගික අවශ්‍යතාව ඉටු කරන්නේය. මිනිහා ළඟට වැඩියෙන් එන්නේ පොරොන්දම් බලන්න ටය. කොම්පියුටරය විසින් දෙන්නාගේ ගැලපීම ප්‍රතිශත වශයෙන් දක්වන්නේය. එක් එක් පොරොන්දම සියයට කීයක් ගැලපේද යන්න බලා ගන්නට පුළුවන් ය. කොච්චියා හා නෝනා ද අතින් කයිට් වී එය බලවා ගත්තා මතකය. හොඳකට තිබ්බේ ඒ අංකල් බොරු නොකීමය..හැබැයි කේන්දරයක් ගැඹුරින් විග්‍රහ කිරීමට තරම් දැනුමක් නම් උන්දෑට තිබුණේ නැතිය.

ඔය කාලයේ බොහෝ දින වල හැන්දෑවට අපි ලොකු අප්පච්චිලාගේ දිහෑ යන්නේ ෆ්ලෝටර් ගසන්නටය.. ෆ්ලෝටර් කියන්නේ කාඩ් කුට්ටමෙන් කරනා රමී පන්නයේ සෙල්ලමක් බව කොච්චියා මීට පෙරද කියා ඇත්තේය. ඔය යන අතරේ ලේවැල්ල යක්ගහපිටිය පාරේ වෙල් යායක් අයිනේ පොඩි කඩමණ්ඩියක අටවා ගෙන ඇති ජ්‍යෝතිශ සේවා බෝඩ් ලෑල්ලක් දුටු අපි වහාම තීරණය කළේ ගිහින් බලමු කියාය. ඇතුලේ උන්නේ බුලත් විටක් හපමින් හිටි උඩු රැවුලක් සහිත කාලවර්ණ පිරිමියෙකුත් පැහැපත් සරාගී පෙනුමැති ගැහැනියකුත් ය. මිනිහා ජ්‍යෝතිශවේදියා වූ අතර ඒ ගැහැණිය සහායිකාවය. උපන් වේලාව අසා ගෙන මිනිහා එවේලේම ගණන් සාදා මගේ කේන්දරය හදා ගත්තේ ගෙඩි පිටින්ම වැරදියටය. ඉන් නොනැවතී මා ඉපදී ඇත්තේ වටිනා යෝග රැසක් සමග බවත් පැවසුවේය..ඇත්ත නම් කොච්චියාට ඇත්තේ කුජචන්ද්‍ර යෝගයක් හා ශනිචන්ද්‍ර යෝගයක් ය...මේ දෙකම නොම්මර එකේ මංගල දෝෂ ය.

තැන්නෙකුඹුරේ ප්‍රසිද්ධ පන්සලක ස්වාමීන්වහන්සේ නමක් ද ඉතා දක්ෂ ලෙස වෙලාව බලන බවත් ප්‍රසිද්ධ දේශපාලකයන් රැසක් එහි යනෙන බවත් ආරංචි වී වරක් අප ගියේ එහිමියන් බැහැ දැකුමටය. අපට කේන්දර නොමැති බවත් අලුතෙන් සාදා ගතයුතු බවත් පැවසූ කල උන්නාන්සේ කීවේ උපන් වෙලාව ලියා මුදල් දී යන ලෙසත් පසු දින පැමිණෙන ලෙසත් ය. නියමිත ලෙස දෙවෙනි දින උන්නාන්සේ හමු වූ අතර බොහෝ බැරෑරුම් ලෙස කේන්දරය විග්‍රහ කර දුන් නමුත් නවාංශකයේ ගණනය කිරීම් තදබල ලෙස වරද්දා තිබුණේය. ග්‍රහයෝ හිටියේ කොටු පැනලාය. එනම් අනුන්ගේ කොටු වලය.

එක් අසල්වැසි කාන්තාවක් අපේ නෝනාට තවත් ඔත්තුවක් දී තිබුණේය. ඒ හල්ලොලුව පැත්තේ ගෑනු කෙනෙක් ගැනය. උන්දෑ කිව්වොත් කිරිගහට ඇන්නා වගේ ය. නොම්මර අරගෙන පෝලිමේ ඉන්න ඕනෑය...කියාද ඒ පණිවිඩය දුන් තැනැත්තිය පවසා තිබ්බාය. කොච්චියා හා නෝනා දිනක් උදෙන්ම අවදිවී අදාල ස්ථානය වෙත ගියේ පෝලිම් අරහං නිසාය..භක්තියෙන් යන එකාට පෝලිම පවා සැප වුනාට අපි යන්නේ ආතල් ගන්න නිසාම ඒ ආතල් පෝලිම් වල ලැගලා කඩා ගන්නට අපට උවමනා වූයේ නැතිය. ඒ යද්දීත් කීප දෙනෙක් එහි පැමිණ සිටි අතර අදාල උත්තමාවිය පැමිණියේ ප්‍රමාද වීය. කුසගින්නේ හිටි අප දෙදෙනා ළඟ කඩේකින් ක්‍රීම් බනිස් කෑවා මතකය. අපේ වාරය ආ අතර හුඹහක් වැනි කාමරයක සිටි ඈ සිටියේ ඔසරියකින් සැරසිලාය. ඈත ගමක කුඩා පාසලක විදුහල්පතිනියක සිහි ගැන්වූ පෙනුමක් තිබුණද ඇගේ මුහුණේ සිනා පොදක් වත් මා නම් දැක්කේ නැතිය. උපන් වෙලාව දුන් පසු පහුවදා එන ලෙස දැන්වූ ඇය ඊලඟ දවසේ පැවසුවේ තදබල අපල ඇති නිසා අප දෙදෙනාම යන්තර පැළඳ ගත යුතු බවය. ඒ සඳහා ඇඩ්වාන්ස් එකක් ද එතුමිය ඉල්ලුවේ අපේ ඒ ගැන අදහස විමසන්නටත් කලින් ය. කොච්චියාට පෙර කට ඉස්සර කළ නෝනා කීවේ සල්ලි ගෙනාවේ නැති බවත් හෙට එන්නම් කියාත්‍ ය. අපේ දුරකථන අංකය ඉල්ලාගත් ඇගේ සහායකයෙක් දින කීපයක්ම අප අමතා මතක් කළේ මුදල් සමග පැමිණෙන ලෙසය.

අවංක සහ දක්ෂ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ද හමු නොවුනා නොවේය. එසේ හමු වූවෝ සැඟවුනු චරිතය. ජ්‍යෝතිශයෙන් හම්බ කර ගැනීම අරමුණ නොවූ වෙනත් රැකියා හා කර්මාන්ත වල නියැලෙන්නෝය. අහම්බයෙන් මෙන් හමුවූ එක් අයෙක් සිටියේ ලොකු අප්පච්චිගේ ගෙදරට හූවක දුරින් ය. කුඩා කන්දක් පහල වූ ඔහු තුල සුපැහැදිලි දැනුමක් වීය. හෙතෙමේ නමින් හුලංගමුවය..දෙගල්දොරුව පන්සලට කිට්ටුවෙන් ය. කොච්චියාගේ කේන්දරය බැලූ බහුතරයක් දක්ෂයන් මෙන්ම හුලංගමුව මහතා ද අපහසුතාවට පත් වුණේය.. කොච්චියාගේ උප්පත්ති කේන්දරයේ ඇති මංගල දෝෂ සලකා බලන කල විවාහය කඩාකප්පල් වන බව නොකියාම බැරිය. සතුටින් තමා වෙත ආ ජෝඩුවකට කටක් ඇර මේ බව කියන්නේ කෙසේදැයි ජ්‍යෝතිශවේදියා ඇඹරෙන්නේය. හුලංගමුව ගේ දක්ෂතා ගැන අසා එකල ඔහුගේ සේවය ලබා ගත් අය අතර එවකට නවක නිළියක්ව සිටි නදීශා හේමමාලි ද සිටියාය. ඈ ගැන කවර මතයක් මා දැරුවත් මහා බලගතු පිරිමින් සුමනදාසලා පස්සේ යද්දී සිය දෛවඥයා ලෙස සැබෑ දැනුමකින් යුත්තෙක් තෝරා ගැනීමට තරම් ඈ දක්ෂ වූවාය.

අනාවැකි කියනවා නම් කියන්නට ඕනෑ නොස්ට්‍රඩාමුස් වගේය...අවුරුදු ගානක් ගිහිල්ලාත් එකින් එක සැබෑ වෙන විදියටය. නොස්ට්‍රඩාමුස් කියලා කිව්වාට මිනිහාගේ නම “Michel de Notre Dame” ය. ප්‍රංශ ජාතික නොස්ට්‍රඩාමුස් ගේ මුල්ම ලොව කැළඹූ අනාවැකිය වූයේ ප්‍රංශ රජු වූ දෙවෙනි හෙන්රිගේ කෲර මරණයයි. නැපෝලියන් මෙන්ම හිට්ලර් ගැනත් චාර්ල්ස් ඩ් ගෝල් මෙන්ම ඩයනා සහ කෙනඩි ගැනත් පමණක් නොව 9/11 ප්‍රහාරය සහ හිරෝෂිමා නාගසාකි බෝම්බ ගැනත් නොස්ට්‍රදාමුස් දිවැස් වැකි කියා ඇත්තේය. හැබැයි ඒ ද කිසිම දැනුමක් හෝ ශාස්ත්‍රයක් මත පදනම් ව නොවේය. ඒ නිසා මිනිහා ගෙඩි පිටින්ම අනාගත වක්තෘ කෙනෙක් ය.

නොස්ට්‍රදාමුස් හා ඔහුගේ ලෝ පතල "Prophecies"












ලංකාවේත් ඔය වගේ අනාවැකියක් කීවේ කොත්මලේ ගණිතයා ය. කොත්මලේ ගණිතයා සහ දොඩම්පේ ගණිතයා ගැනත් අප්‍රමාණ කතා සිංහල ජනප්‍රවාද වල ඇත්තේය.විවිධ බ්ලොග් කාරයෝ ඔය කතන්දර පට්ට ගසා ඇති නිසා කොච්චියා ඒවා කියන්නට යන්නේ නැතිය. නැකැත් තරුවක් දැකීමෙන් පසු වරෙක පොන්නා නැකැත්තා අපූරු ප‍්‍රකාශයක් කළේය. අනාගතයේ කොත්මලේ ඔයේ දෙපස පිහිටි තිස්පනේ කන්දත් කඹදොර කන්දත් එකක්ව රටට ගඟ උතුරු දෙසට ගලන්නට පටන්ගන්නා බවත් ඉන් රටේ අභිවෘද්ධියක් ඇති වන බවත් නැකැත්තා පවසා ඇති බව ජනප්‍රවාදයේ එන්නේය.ඉන් වසර ගණනාවකට පසුව ගඟ හරහා වේල්ලක් බැඳ කඳු දෙක යා කොට ගඟෙහි ජලය  අධිපීඩන උමඟකින් උතුරු දෙසින් පිහිටි බලාගාරය තෙක් ගෙන යන ලෙසින් කොත්මලේ ජලාශය ඉදි වූ අතර ජලාශය ඉදිකිරීම නිසා නිසැකවම රටේ අභිවෘද්ධියක් ඇති විය. අනාවැකියෙන් අවුරුදු ගණනාවකට පසු එය සත්‍යයක් වී ඇත්තේය.

කොච්චියා ජීවිතයේ කිසිම කලෙක ජ්‍යෝතිශය සිය ජීවිතයට අදාල කර ගත්තේ නැතිය. එය හැදෑරීමක් වනුයේ එතුල ඇති දැනුම් සම්භාරය නිසාවෙන් මිස අනාවැකි කීමේ හැකියාවක් නිසා නොවේය. ග්‍රහ පිහිටීම් ඉතා සංකීර්ණ වන අතරම ඒවා යේ පිහිටීම් වල සිදුවන වෙනස් වීම් සෑම තත්පරයක් පාසා සිදු වෙන්නේය. සෑම ග්‍රහ වස්තුවක්ම චලනය වනුයේ එකිනෙකට සාපේක්ෂවය. එසේ චලනය වන ග්‍රහ වස්තූන් පාදක කර ගෙන අනාගත වාක්‍ය කීම විහිළුවක් මය. උප්පත්ති කේන්දරය මත පුද්ගලයෙක් ගේ චරිතය හා සම්බන්ධයෙන් විග්‍රහ කිරීම කොච්චියා පිළිකෙව් කරන්නේ නැතිය. මන්ද ඒ මොහොත define කල හැකි නිසාය...අදාල මොහොතේ සියලු ග්‍රහයන්ගේ පිහිටීම ද  ජ්‍යෝතිශය ට අනුකූලව ඒවායේ බලපෑම් ද පැහැදිලි  කළ හැකි හෙයින් ය. නමුත් ජ්‍යෝතිශය තුල සාමාන්‍ය මනුස්සයා බලාපොරොත්තු වෙන්නේ අනාගතය ගැන අනාවැකි මිස අනෙකක් නොවේය. ඉතින් වෙළෙඳපොළ ඇත්තේ එතනය..අපේ දෛවඥයෝ cater කරන්නේ එතනටය.

සුමනදාස පමණක් නොව මෑත කාලයේ චාටර් වූ දෛවඥයන් අතර මංජුල පීරිස් සහ ඉන්දික තොටවත්ත වැන්නෝද තවත් කවුදෝ ඍෂිවරයක්ද සිටියෝය. මොනතරම් පීචං වූවත් මේ කිසිවෙකුගේ වෙළඳපොළ වටිනාකම අබමල් රේණුවකින් වත් පහත නොවැටී තබා ගැනීමට අපේ රටේ ජහමනයා මනා සේවයක් කරන්නෝය.ඉන්දික තොටවත්ත වරක් රූපවාහිනියෙන් කීවේ මිනිහාට ලැබුණු දිව්‍ය වරමක පිහිටෙන් ඕනෑම වසරක ඕනෑම දවසක් ඉරිදා ද සඳුදා ද ……. ලෙස කිව හැකිය. ඒ සඳහා ඇත්තේ සරල mathematical formula එකක් මිස අනෙකක් නොවේය. මනෝමයෙන් ගණන් සෑදිය හැකි ඕනෑම කෙනෙකුට ෆෝමියුලා එක තිබේ නම් තත්පර දහයක් ඇතුලත ඔය මැජික් එක පෙන්නන්නට හැකිය. කොච්චියාට නම් ඕක ඇත්තෙන්ම ටොයිස් ය. භයානක ඇත්ත නම් ඉන්දිකයා ඔය මැජික් එක පෙන්නා සිය මාකට් එක සෑහෙන්න expand කර ගත්තේය. වරද උගේ නෙවේය….ජහමනයා ගේ මය.

පාන් ගෙඩියක් හාරා කෝටිපතියන් බිහි කරනා ආසිරි වනිගරත්නයෝද මිනිසුන් අතර දෙවියෙක් ය. පාන් හෑරූ අනුගාමිකයෝ කෙසේ වුවත් ආසිරි නම් අද වන විට අග්‍රගන්‍ය කෝටිපතියෙක් බවට පත්වී අවසන් ය..මිනිහා හෑරූ එක පාන් ගෙඩියක් වත් නැතිය..පොර හෑරුවේ ලංකාවේ බුද්ධිමත් යැයි කියා ගන්නා ශ්‍රේෂ්ඨ සිංහල ජාතියේ මොළ පමණක්ය. සිංහල මොළ යැයි කීවේ ෆෙන් ශුයි ආතල් ගන්නට මුසල්මානුවෝ නොයනා බව කොච්චියා හොඳින්ම දන්නා නිසාය. අති මහත් බහුතරය සිංහල බෞද්ධයෝමය.

ප්‍රශ්න සහ කඳුළ විකිණීම තරම් හම්බ කර ගැනීමට වෙනත් මගක් නැත්තේය. මිනිසුන් තුල ඇති බය සමග සෙල්ලම් කිරීම කියන්නේ සල්ලි උල්පතක් ය.බයේ ඉන්නා එකා හදන්නේ බය නැති කර ගන්නට නෙවේය...තව බය වෙන්න ක්‍රම පාදා ගන්නා එකය. ආගම් වල දර්ශනය ජහමනයාට වැඩක් නැතිය...ඒවා උගන්වන්නේ තමාව ශුන්‍ය කර ගන්නටය...මිනිස් සන්තානය එසේ නොවේය...හදන්නේ සිය වටිනාකම වැඩි කර ගන්නටමය...ඒ තෘෂ්ණාවමය...බිය උපදින්නේ එයින් ය. ඒ බිය වැඩි කර පෙන්වා ඉන් ගොඩ යන්නට බලන් ඉන්නා ඉහත කී ආකාරවල චරිතයන් සීරුවෙන් ඉන්නේ ඔහේලා අපි වගේ මැට්ටෝ උන් වෙතට එන කල්ය.




Monday, November 21, 2016

රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර

ලංකාවේ බහුතරයක් උපදින්නේම ආගමක් එක්කය.ඒ ඇත්තෝ තමන් උපතින්ම බෞද්ධ හෝ ක්‍රිස්තියානි කියන්නේ පට්ට මොරාල් එකකින් ය. හරියට ඉපදෙද්දීම රහත් වෙලා වගේය. රහත් බව ගැන කියද්දී දැන් ඔලු ගෙඩියට එන්නේ පිටිදූවේ උන්නාන්සේ ය. සමන්තබද්‍ර නොකියා පිටිදූවේ කිව්වේ කෝචොක් එකට හෙම නෙවේය..කොච්චියා උන්නාන්සේ අඳුනන්නේ බෝසතා කාලේ ඉඳලාය..බෝසත් කාලේ නම සමන් ය. ඒ සමන් ව අඳුනන්නේ නොයෙල් නොයෙල් නොහොත් නොයෙල් අංකල් නිසාය. නොයෙල් නොයෙල් ඉන්නේ කොච්චියාගේ සීදුවේ ගෙදර ඉස්සරහය. පිටිදූවේ උන්නාන්සේ සිය බෝසත් අවධියේ එනම් උසස් පෙළ කරනා කාලයේ හා කැම්පස් යන කාලයේ, සිය මාමා වන නොයෙල් නොයෙල් ගේ ගෙදර එන දිනක කොච්චියා සහ සෙට් එක සමග පාරේ වන්බම්ප් ක්‍රිකට් ද ගසා ඇත්තේය.නොයෙල් අංකල්ට නොයෙල් නොයෙල් කියන්නේ හේතුවකටය. දිග කතාවක් නිසා මෙතන කියන්නට බැරි නමුත් ඉදිරි පෝස්ටුවකදී ඒ ගැන කියන්නේය. මේ පෝස්ටුවේ අරමුණ පිටිදූවේ  උන්නාන්සේ ගැන කතා කිරීම නොවුනාට සමහර විට ඇතමෙක්ට එසේම යැයි හිතෙන්නටද හැකිය.

වාසනාවකට වාගේ කොච්චියා උපන්නේ ආගමක් නැතිවය.. කොච්චියා ගේ තාත්තා උපතින් බෞද්ධ වූ අතර අම්මා උපතින් ක්‍රිස්තියානිය. උපතින් යැයි කීවේ උපතින් පමණක් නිසාය. කොච්චියා දන්නා කියනා කාලේ පටන් තාත්තා පන්සලකට ගොඩවී ඇත්තේ දෙපාරක් හෝ තුන් පාරකි.. ඒත් ඔය ගමේ ගිය විටෙක සීයාගේ දානයකට හාමුදුරුවෝ වඩම්මනවා වගේ සිල්ලර වැඩකට ය. සිය දරුවන් බෞද්ධයන් කිරීමේ තුන් හිතක වත් පෙරේතකමක් තාත්තාට නොතිබූ නමුත් ඔවුන් දෙන්නාගේම එකඟතාවය මත කොච්චියා මෙන්ම මල්ලී සඳුවා ද ඉස්කෝලේ දී උගත්තේ බුදු දහමය.

අම්මා පල්ලි ගියේද නත්තලට හා පාස්කුවට හා මහ සිකුරාදාට විතරය. ආච්චී නම් හැම ඉරිදාම පල්ලි ගියාය..සියලු සමිති සමාගම් වලත් උන්නාය. අම්මා ට පල්ලිය එපා වී තිබුණේ අභ්‍යන්තර පොලිටික්ස් නිසාය. සිය භද්‍ර යෞවනයේදී පල්ලියේ ඕගනය වාදනය කළ ඇය, දෙවියන් වහන්සේ නැත්තේ පල්ලියේ පමණක් බව කොච්චියා උපදින කාලය වෙද්දී අවබෝධ කර ගෙන සිටියාය. ඒ නිසාම ඈටද අපව නාමික ක්‍රිස්තියානිකාරයෝ කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැතිය.  නිදහසේ විවිධ දර්ශනයන් උගැන්මටත් ඒවා ප්‍රශ්න කරන්නටත් ඉඩ දුන් අම්මාත් තාත්තාත් කිසිදා අපව රාමු නොකළෝය.

ඔය කෙසේ වෙතත් කොච්චියා එදා සිට අද වන තුරුම ඒක දේවවාදීය. ඒ හැඟීම ආවේ කෙසේදැයි කියන්නට නම් නොදන්නේය.හැබැයි ඒ යුදෙව් හෝ ක්‍රිස්තියානියේ හෝ ඉස්ලාමයේ ඇති සංස්කෘතියේ මිශ්‍රණයක් වූ බංකොළොත් ඇදහිලි ක්‍රමවේද වලට හිරවූ විශ්වාසයක් නෙවේය. දුක නැති කල හැක්කේ කොන්දේසි විරහිත ආදරය තුල පමණක්ම බව කොච්චියා සරලව අවබෝධ කරගෙන ඇත්තේය. මගේ විශ්වාසයන් ගැන මෙතන ලොකුවට කියන්නට නොයන්නේ එය මේ කියනා කිසි කතාවකට අදාල නොවන නිසාත් එය මට පමණක් පුද්ගලික වූ, කිසිවෙකුත් විසින් දේශනා කළ දහමක ගෙඩි පිටින් කොපියක් නොවන නිසාත් ය.

එසේ ඒකදේවවාදී වූ කොච්චියා ඒ කාලයේ ඉතා සීමිත ඉල්ලීම් කීපයක් වෙනුවෙන් දෙවියන්ට යාඤා කර ඇත්තේය. ඉන් එකකට හේතු බීජය වූයේ රොශාන් මහානාමය. එකල කොච්චියාගේ ප්‍රියතම ක්‍රීඩකයා ඔහුය. රොශාන් පන්දුවට පහර දෙන්නට එන විට ඔහුට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලා යාඤා කලේ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබේවා කියාය.කොච්චියා රොශාන් ට පිස්සු වැටුනේ 1987 රිලයන්ස් ලෝක කුසලානය බලනා කාලයේය. පොඩි කොල්ලෙක් වූ කොච්චියා ඒ තරඟ බැලුවේ සීයා එක්ක ය. කළු සුදු රූපවාහිනියෙන් ය. ඒ සුදු ඇඳුමින් ක්‍රීඩා කල අන්තිම ලෝක කුසලානයය. රොශාන් මහානාම පකිස්තානය ට එරෙහිව සුපිරි ඉනිමක් ක්‍රීඩා කලේය. ලකුණු 89 කි. එය අදටත් ලෝක කුසලාන තරඟාවලියක ලාංකික පිතිකරුවෙක් ක්‍රීඩා කල හොඳම ඉනිමක් ය.අබ්දුල් ඛදීර් ඉතා දක්ෂ ලෙස පන්දු යැවූ ඒ තරඟය ලකුණු 15 කින් පකිස්තානය ජය ගත් නමුත් එවකට විසි එක් වියැති රොශාන් මහානාම විදෙස් විචාරකයන්ගේ නොමද ප්‍රසාදයට ලක් වුණේය.

ආයෙත් කොච්චියා ක්‍රිකට් බලන්නට ගත්තේ 1992 දීය.. ලෝක කුසලානයෙන් පටන් ගෙන රොශාන් ක්‍රිකට් වලින් සමු ගත් 1999 ලෝක කුසලානය වන තුරු තරඟ කොච්චියාගේ මනසේ දැනටත් ටයිම්ලයින් එකක් සේ පවතින්නේය. කොච්චියා එකල ක්‍රිකට්ලොව සහ සුපිරික්‍රිකට් සඟරා කට පාඩම් කරන්නේය. ඊටම හරි යන ගජයෙක්ද ඉස්කෝලේ හිටියේය. ගුණපාල මලලසේකරයන්ගේ මුණුබුරෙක් වූ චරිත් ය. මිනිහා ලඟ මා ලඟ නොමැති ක්‍රිකට් ලොව සඟරා මෙන්ම මා සතුව මිනිහා ලඟ නොමැති සුපිරි ක්‍රිකට් සඟරා තිබුණේ ප්‍රාදේශීය වශයෙන් ඔය සඟරාවල බෙදා හැරීම් හරි හැටි වී නොතිබූ නිසාය. ඒ අඩු වැඩිය අපි කියෙව්වේ හුවමාරු කර ගෙනය.

රොශාන් මහානාම


රොශාන් මහානාම ට මා කෙතරම් ප්‍රිය කලාද යත් ඔය සඟරාවක තිබී සොයා ගත් ඔහුගේ හිල් ස්ට්‍රීට් හි ගෙදර දුරකථන අංකයට කොච්චියා කෝල් කළේය. එකල ඔහු පදිංචිව සිටියේ රොස්මිඩ් පෙදෙසේ වූ අතර ඔහුගේ මව හා පියා පමණක් හිල් ස්ට්‍රීට් හි විසුවෝය. ඒ මුල්ම ඇමතුම ගත්තේ ඉස්කෝලේ ඇතුලේ තිබූ කාසි දමා වැඩ කරන පොදු දුරකථනයෙන් ය. එය තිබ්බේ නව රඟහල අයිනට වෙන්නය. කිහිල්ලේ මයිලානන්ද උන්නාන්සේ ගේ කුටියට යාබදවය. ගෙදර ගිහින් ඇමතුම ගන්නට තරම් වත් ඉවසීමක් තිබ්බේ නැතිය.

එදා ගත් ඇමතුම මෙන්ම ඉන් පසු වාර ගණනාවකදීම ගත් ඇමතුම් වලදීත් කොච්චියාට කතා කරන්නට ලැබුනේ රොශාන් ගේ මව්පියන් වන ස්වර්ණා ආන්ටීත් උපාලි අංකලුත් සමග විතරමය. රොශාන් ඉතා කාර්‍යබහුල බවත් රොස්මිඩ් පෙදෙසේ ගෙදර නොම්මරය කිසිවෙකුට දෙනවාට ඔහු අකමැති බවත් කොච්චියාට කිව්වේ ස්වර්ණා ආන්ටිය. මගේ දුරකථන අංකය ඈ ඉල්ලාගත්තේ රොශාන් අයියා ආ විටක කෝල් එකක් දෙන්න කියන්නම් කියාය.ඒ කෙසේ වුවත් සිය පුත්‍රයා ගේ උමතු ක්‍රීඩා ලෝලියෙකු වූ කොච්චියා සමග ඈ බොහෝ වේලා කතා කළාය.

කොච්චියාට අමතක නොවන ඒ දුරකථන ඇමතුම ආවේ සතියේ දවසක රෑය. පවුලේ හිතවතෙකුගේ ගෙදර රෑ කෑමට ගොස් ආ විගසම ගෙදර දුරකථනය නාද වූ අතර ආන්සර් කළේ කොච්චියා මය.

“hello, could I speak to (kochchiya) malli please..”
“yes, speaking..may I know who is speaking there please..”
“ආ...මල්ලි මම මේ රොශාන් මහානාම, අම්මා කිව්වා මට ඔයා නිතරම කතා කළා කියලා.. සොරි, මෙච්චර දවස් ගන්න බැරි උනාට..”

මේ කතාව පැය බාගයක් පමණ වූ අතර ඔහු මගේ අධ්‍යාපන කටයුතු ගැන පවා විමසීමට කාරුණික වුණේය. වරින් වර රොශාන්ගේ වැඩිමල් දියනිය වූ රශ්මිකා අපේ කතාවට බාධා කලේ ඔහුගෙන් රිසීවරය උදුරා ගනිමින්‍ ය. මේ වන විට විවාහ වී දරුවෙක් ද ඉන්නා ඈ එවකට කුඩා දැරියක්ය. ක්‍රිකට් ගැන වූ විවිධ ඕපාදූප මෙන්ම රසවත් කතාත් සහිත වූ ඒ පැය බාගය කොච්චියාට අතිශය සතුටුදායක වූයේය. දුරකථන ගාස්තු අධික එදා මා වැනි නාඳුනන පාසල් සිසුවෙක් වෙනුවෙන් එතරම් කාලයක් දුරකථනයෙන් ගත කිරීමම මට දැනුනේ ඉමහත් භාග්‍යයක් ලෙසය.

වසර කීපයක් එසේ ඔවුන් හා දුරකථනයෙන් පැවති සම්බන්ධය කෙසේ ද යත් කොච්චියාගේ සාමාන්‍ය පෙල විභාගයට පෙර දින රොශාන්ගේ මව හා පියා පමණක් නොව ඔහුගේ බිරිඳ ජීවා ද මට අමතා සුබ පැතීමට තරම් සුන්දර මිනිස්සු වූවෝය. තරඟ සංචාරයක් නිසා රොශාන් අයියා සිටියේ රටෙන් පිටය.

ජොන්ටි රෝඩ්ස් සමග සමකාලීනව ක්‍රිකට් ගැසූ රොශාන්, පන්දු රකින්නෙක් ලෙසින් ජොන්ටිට වඩා ඉදිරියෙන් සිටි බව කොච්චියා සිතන්නේය. බැක්වර්ඩ් පොයින්ට් හි පමණක් පන්දු රැකි ජොන්ටි අති විශිෂ්ටයෙක් වූ නමුත් එක්ස්ට්‍රා කවර් මෙන්ම ස්ලිප් හි සහ යාර තිහෙන් පිටද ඇදහිය නොහැකි උඩ පන්දු රැසක් රැක ගෙන ඇති රොශාන් මහානාම ගේ ළඟින් තැබිය හැකිවූ එකම පන්දු රකින්නා ලෙස මා සිතන්නේ රොජර් හාපර් ය.සුදු හමට පමණක් කඩේ ගිය විචාරකයන් උන් ඒ කාලයේ සුපිරි පන්දු රකින්නන් වූ මහානාම මෙන්ම හාපර් සහ හූපර් ද අසාරුඩීන් හා ජඩේජා ද ඇගයීමට ලක් වූයේ අසාධාරණවය.

පෝස්ටුව ලියන්නට හිතුවේ  රොශාන් මහානාම ගැන  උනාට හිතෙන්නේ සහ ලියවෙන්නේම සමන්තබද්‍ර උන්නාන්සේ ගැනමය.කොච්චියා අසා ඇති බණ සහ බුදුන් ගේ ඉගැන්වීම් අරගෙන බලනා විට චතුරාර්ය සත්‍යය ගැන සමන්තබද්‍රයන්ගේ එකදු දෙසුමක් වත් ප්‍රතික්ෂේප කල නොහැක්කේය.  උන්නාන්සේ ගේ රහත් කම හෝ බුද්ධත්වය ගැන කොච්චියා ඉන්නේ මැදහත්වය. සිද්ධාර්ථ ගේ බුද්ධත්වය උනත් ඒ කාලේ ප්‍රශ්නයට ලක් නොවුනේ ඒ සමාජය කලින් බුදු බණ කියා වෙන වෙන බයිලා අසා නොතිබූ නිසාය. මනුස්සයා කියනා එකා කැමති ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ හිර වෙන්නටය… අච්චර මිනිස්සු ගොනාට අන්දන කිරිබත්ගොඩ උන්නාන්සේට වඩා පිටිදූවේ කුණු බැනුම් අසන්නේ ඒ නිසාය.

කෙසේ නමුත් තමාගේම පිලිමයක් නෙලාගෙන ආතල් ගැනීම නම් කොච්චියාට පේන්නේ විගඩමක් ලෙසටය. මේ ගැන උන්නාන්සේට දහසක් පැහැදිලි කිරීම් තියෙන්නටද හැකිය..ඒවා නුදුරේදීම ජනමාධ්‍ය හරහා එලියටද දෙනවා ඇත්තේය..මොකද බිඳහෙලිය නොහෙන explanation එකක් නැතිව පිටිදූවේ උන්නාන්සේ වාතයක් වත් පිට නොකරන බව කොච්චියා දන්නා නිසාය. මා මෙහෙම කිව්වා කියා උන්නාන්සේගේ අනුගාමිකයෝ කිපෙන්නට නම් එපාය..මා කියන්නේ මට හිතෙනා දේ මිස එසේ මට හිතෙනා දේ තිතට හරි කියා නෙවේය.

පිළිමය නෙලා ගැනීමෙන් සමන්තබද්‍රයෝ ඇද වැටුනේ අප මහා මහින්ද රාජෝත්තමයාණන්ගේ මට්ටමටය. එතුමාණෝ එකල ලයිට් කණුවක් ගානේ පනාව දමා ගෙන එල්ලිලා උන්නා වගේ ය.මීට කලකට පෙර ධාතු වන්දනාව කියන්නාවූ වෙළඳාමට තදින් පහර දුන් උන්නාන්සේ පිලිමයක් නෙලාගෙන එතනිනුත් අඩියක් බිමට වැටුණු බව කොච්චියාට හැඟෙන්නේය..  බෞද්ධ කියන ගෝත්‍රයට අයිති නොවන මට මේ ගැන කියන්නට ඇති අයිතිය ගැන ඇතමුන්ට ප්‍රශ්නයක් වෙන්නටත් පුලුවන් ය. ආයෙත් කියන්නේ එහෙම හිතන්නට එපාය..මේ කොච්චියාට දැනෙන දේය...එය වැරදි වෙන්නට පුලුවන්‍ ය.

කොච්චියාට නම් සමන්තබද්‍ර කියන්නේත් තවත් ගුරුවරයෙක් ය. සිද්ධාර්ථ ගෞතම, යේසුස් හා මුහම්මද් කියන්නේත් ගුරුවරුමය. ඔය ඇත්තන් ඉගැන්වූ දෙයින් මගේ හිතට දුක ඇතිවන ක්‍රමය අවබෝධ වනවා මෙන්ම ඒ දුක නැති කරන ක්‍රමයක්ද ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එච්චරය. සිද්ධාර්ථ බුදු වුනාද යන්න හෝ යේසුස් කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ද යන්න වත් කොච්චියාට අදාල නොවන්නේය .. එහෙව් එකේ සමන්තබද්‍ර රහත් ද බුදු ද යන්න කොහෙත්ම අදාල නැත්තේය…. උන්නාන්සේ තමා දෙසන මග තුල ඉන්නවාද නැද්ද යන්න අපට වැඩක් නැතිය… ඒක හරියට ගණිත ගුරුවරයා ප්‍රමේයයක් ඉගැන්වූවා වගේය. ප්‍රමේයය ඉගැන්වූවාට ඒ ගුරුවරයා ට ඊට අදාල ගැටලුවක් විසඳා ගත නොහැකි වන්නට පුලුවන් ය...එහෙත් ඒ ගැටලුව ඔහේ හෝ මා පහසුවෙන් විසඳන්නටද ඉඩ ඇත්තේය … දැන් මෙය මෙසේ වූවා කියා ගුරුවරයා ගේ ගුරු භාවය නැති වන්නේ නැතිය...එමෙන්ම ඔහේට හා මටත් බුදු වෙන්නට පුලුවන් කියා ද හිතන්නට පුලුවන් ය.hA

අද ලියන්නට උන්නේ සමන්තබද්‍රයෝ පසුබිමේ තබාගෙන රොශාන් මහානාම ගැනය...සිද්ද උනේ එහි අනෙක් පැත්තය....කෑවේ බතුයි පරිප්පුයි ද පරිප්පුයි බතුයි ද කියා තීරණය කළ යුත්තේ ඔහේලාය.




Tuesday, November 15, 2016

හැලපයා ගේ සංවත්සර සාදය සහ සැඟවී ගිය අලි ඔලුකාර උඩු රැවුලා

කොච්චියා ඕමානයට ආදා පටන් නිතරම යන එන එක්තරා සුවිශේෂී කාර්යාලයක් ඇත්තේය.එහි සිටින සියළු නිලධාරීහු කොච්චියාව හොඳින් හඳුනන්නෝය. එකට කා බී ඇතිවා මෙන්ම දුටු තැන සිනා සී කතා කරන්නෝය. මේ අතරේ කොච්චියාට දිරෙව්වේම නැති එක් අලි ඔලුකාරයෙක් සිටියේය. මනුස්සකමට මුහුණට මුහුණ හමුවූ විට සිනාසුණත් මුහුණ නොබලන, දැක්කත් අහක බලා ගෙන යන පාංශු දේහධාරී උඩුරැවුල් කාරයෙක්ය. කාටවත් ඕනාවට වඩා දෙන්නට නොයන කොච්චියා වරක් දෙවරක් මේ මිනිහාගේ ආඩම්බර බැලූ නමුත් ඉන් පසු මිනිහා එන විට හිතා මතාම අහක බලා ගන්නට පුරුදු උනේය.

අමිල සහ කලනී කියන්නේ කොච්චියා ලංකාවේ ඉන්නෙද්දී පටන් දන්නා කියන ජෝඩුවක්ය. කලනී වැඩ කරන්නේද උක්ත කන්තෝරුවේය. පහුගිය අවුරුද්දේ  දිනක ඔවුන්ගේ නිවසේ පැවති සාදයකදී අමිල සහ තවත් මිතුරන් කීප දෙනෙක් සමග සුහද සාමිචියේ යෙදී සිටියදී ප්‍රධාන දොරෙන් මතුවූයේ මට දිරවන්නේම නැති අර පාංශු දේහධාරී උඩු රැවුලා ය.ආ වෙලේ පටන් අතේ ගෙනා කුඩා කැමරාවකින් පින්තූර ගත් රැවුලා මා ළඟින්ම ඉඳගෙන සිනහවක් සහිතව මට "හෙලෝ" කීවේය. ඒ කොච්චියා මිනිහා හිනා වෙනවා දැක්කාමය. වටින් ගොඩින් කතා කරමින් යන අතරේ බෝතලයක අඩක් පමණ හිස් වෙද්දී වාගේ  දැනගන්නට ලැබුනේ කොච්චියා දැඩි කැමැත්තෙන් කියවන්නාවූ එක්තරා බ්ලොගයක අයිතිකරුවා මේ රැවුලා බවය. 

එදා හඳුනාගත් රැවුලා ඉන් පසු කීප වතාවක්ම අමිලගේ නිවසේ පැවති සාදයන් හි හමුවූ අතර කොච්චියාට බ්ලොගක් ලියන්න කියා ඒ හැම දිනකම උනන්දු කළේය. අවුරුද්දක් පුරාවටම ලියන්නේ මොනවාද සහ ඒවා කොයි ආරක විය යුතුදැයි සිතමින් සිටි කොච්චියා ලියන්න ගත්තේ 2016 අග බාගයේදීය. මගේ මුල් ලියමනේම මේ රැවුලා ට ප්‍රණාමය පුදන්නේත් ඒ නිසාය. උන්දෑ නොවන්නට කොච්චියා බ්ලොග් ලියනු නැත්තේය. 2009 දී ඉංගිරිසියෙන් වදන්තදයේ බ්ලොග් ලියූ කොච්චියාට යම් පුද්ගලික හේතූන් මට බ්ලොග්කරණය එපා වී හිබුණේය.

මෙසේ උඩු රැවුලා සහ කොච්චියා අතර ක්‍රමයෙන් ඇතිවූ හිතවත් කම අද වෙන විට ඇත්තේ සැලකිය යුතු බෝතල් ගණනක් හිස් කර ඇති මට්ටමකය. එසේම ඒ සෑම හමුවකම අපට පොදුවේ කතා කළ හැකි මාතෘකාද නොඅඩුව තිබුණේය.

මේ උඩු රැවුලා ලියන්නාවූ හැලප කඩේ බ්ලොගයට නොවැම්බර් එකොළොස් වන දාට අවුරුදු හතරක් පිරුණේය... ඔය සංවත්සරය ගැන රැවුලා… එනම් මෙතැන් සිට හැලපයා….මා දැනුවත් කලේ පහුගිය සතියේය. ඩොමෙස්ටික් සෙන්සර්ෂිප් වලට යටත්ව ලියා ගන්නට දෙයක් නැතිව උන් හැලපයා එදා කිව්වේ හතරවෙනි වසර සපිරීම වෙනුවෙන් පෝස්ටුවක් ලියනා බවය. මෙය සැමරිය යුත්තක් නිසාම ඒ වෙනුවෙන් සාදයක් දැමිය යුතු බව කොච්චියාගේ මතය වූයේය. ඊට එකඟ වූ හැලපයා ගේ බ්ලොග් සංවත්සරය ගැන දැන් දිග හැරෙන්නේය.

පාටියට අවශ්‍ය රහමෙර වලින් නම් කිසි අඩුවක් හැලපයාට නැති බව හොඳින් දන්නා කොච්චියා කේක් ගෙඩියක් මෙන්ම කටගැස්ම වෙනුවෙන් කට්ලට් ද හදාගෙන ඒම බාර ගත්තේය. හැලපිට සහනයක් වනු වස් අවශ්‍ය නම් රෑ කෑම සාදා ගෙන ඒම සඳහා ද දායක විය හැකි බව පැවසූ නමුත් ඒ බව කියන්නට ගොස් හැලපයා හොඳ හැටි අසා ගෙන ඇති බව ආරංචි උනේ පසුවටය.

නෝනාට කියා කේක් ගෙඩිය සාදාගන්නට සිතුවාට ඉතා වෙහෙසකර සතියකට පසු ආ සිකුරාදා දවසේත් ඈව වෙහෙසීම නොකළ යුත්තක් බැවින් කඩෙන් කේක් එක මිලට ගැනීමට මා තීරණය කළේය. කේක් සඳහා අපේ පළමු තේරීම වන cake gallery වෙත ගියාට තිබූ ඒවා හිතට ඇල්ලුවේ නැතිය..ඉන් පසු ගියේ Bread Talk එකටය..කේක් එක ගත්තාට වැඩේ ඉවර නැත්තේය...හැලපයා කියා ලියා ගත යුත්තේය..එහි සිටි පිලිපීන කෙල්ල ගත් කටටම කීවේ ලිවිය හැක්කේ ඉංගිරිසියෙන් පමණක් බවය. ඇතුලේ හිටි අනෙක් කෙල්ල එතනට ආවේ කොච්චියාගේ වාසනාවටය..”හැලපයා” යන්න ලිවීම අපහසු නොවන බවත් බලාගෙන නොලියා බලාගෙන අඳින ලෙසත් මා කළ ආයාචනය ඈ කෙසේ හෝ බාර ගත්තාය..වැඩේ ගොඩය.

කිව්වා සේම රෑ අට වෙද්දී කොච්චියා , නෝනා, ඩිස්ති සහ ජහුටා Al Khuwair හි පිහිටි හැලප භවන වෙත සම්ප්‍රාප්ත වූවෝය. අපව ආදරයෙන් පිලිගත් හැලපයා හා හැලපිය ඒ වෙන කොටත් රෑ කෑම සාදා අප බලාපොරොත්තවෙන් සිටියෝය. මේ සාදයට ආරාධනා කරන්නට අප ඕමානයේ ඉන්නා තවත් බ්ලොග් ලියන්නන් සෙව්වත් ඒ උත්සාහය සාර්ථක වූයේ නැතිය.

ගෙට ගොඩ වෙනවාත් එක්කම තමා ම සෑදූ ෆෘට් කොක්ටේලයකින් සංග්‍රහ කළේ හැලපයා ය.. හැලපිය කිව්වේ ආපු මිනිස්සුන්ට පොඩ්ඩක් ඉඳ ගන්න දෙන්න කියාය… හැලපිය නොදන්නවා උනාට අපේ හැලපයාට ඕනෑ වූයේ ඔය පොඩි පොඩි සීන් ඉකමනට ඉවර කර අදාල කාර්‍යයට එන්ටර් වෙන්නට බව කොච්චියා දන්නේය.

ඉටිපන්දම් පත්තු කර..හැපි බර්ත් ඩේ කියා කේක් ගෙඩිය කැපූ හැලපයා සිය බිරින්දෑට කේක් කවන්නට යද්දී ඈ කීවේ ඒක කොච්චියාට කවන්න කියාය.. හේතුව ඇසූ කල ඈ කීවේ,

ඕක දැන් බ්ලොග් එකේ දැම්මම හැමෝම අන්න හැලපි අන්න හැලපි කියයි” කියාය.

කෙසේ හෝ ඈට කේක් කැවීමෙන් පසු පින්තූර කීපයක් ගත්තේ ඔහෙලාට පෙන්නන්නය. මොකෝ පස්සෙන් පහු ඕවා ගන්නට කෙනෙක් නැති වෙනවා මෙන්ම ගන්න ඒවායේ කොලිටිය ගැන වග කියන්නට කෙනෙක්ද නැති වන බව අප දන්නා නිසාමය.

හැලපයා ගේ කේක් ගෙඩිය..පිටිපස්සෙන් හිටගෙන ඉන්නේ හැලපයාය

කේක් එක ටීපෝවේ තියෙද්දීම හැලපයා බෝතල් වැඩැම්මෙව්වේය. පින්තූර පහලින් අලවා ඇත්තේය. Lord Scott, Vat 69 හා නැපෝලියන් අධිරාජයාගේ බ්‍රැන්ඩි එකක්ද තිබුණේය.  කොච්චියාගේ නෝනාගේ අභිමතය අනුව Lord Scott එකෙන් ආරම්භ කළ ඒ අනුමත වීම නැවතුනෙ බ්‍රැන්ඩි බෝතලයද ඉවර කරමින් Vat 69 එක ටීපෝව මත තනි කරමින්‍ ය. වාහනය පදවාගෙන ගෙදර යා යුතු බව නෝනා මතක් නොකළා නම් ඒ බෝතලයටද යම් සාධාරණයක් ඉටු වෙනවා මෙන්ම ඒ වෙනුවෙන් කතා කරන්නට ඇති පදම් මාතෘකාද අප සතුව තිබුණේය. ඒ වන විටත් සාහිත්‍යය .. සිනමාව.. ලෝක ආර්ථිකය මෙන්ම බජට් එකද අපට ආතල් ලබා දී තිබුණේය.

වැට් එක හැරෙන්නට අනෙක් දෙකටම සාධාරණය ඉටු වුණේය


කෑම මේසය ඇර ඇති බවත් ගොඩේ කෑම වේලක් හැදූ බවත් හැලපි කිව්වා වාගේ ලාවට මතකය. කොච්චියාට ඒ වන විට බඹර පදම් ය. හැලපයාද කෑම බෙදා ගන්නවා කියා හැන්දක් දික් කරගෙන එහෙට මෙහෙට වෙනවාද දැක්කේය. ඩිස්ති තව පොඩ්ඩෙන් පිඟානටම අයිස්ක්‍රීම් බෙදා ගන්නේය.. ජහුටා පොඩි එකා උනාට දෙකක් දා ගැනීමට අකමැත්තක් නැතිය..ඒත් හැලපයා වැනි වැඩිහිටියෙක් ඉදිරියේ එසේ කිරීම හොඳ මදි යැයි සිතා බයිට් පමණක් ගිල්ලේය.

කෑම ටික පංකාදු පහට තිබූ බව කිව්වේ නෝනා සහ ජහුටා ය. ඉඳි ආප්ප බර ගානකට කොච්චියා වැඩේ දුන් බවත් ඩිස්ති ගේ පිඟානේ බත් තිබූ බවත් හැලපයා ඉඳිආප්ප හා බත් එකට බෙදා ගෙන කෑ වගත් ලාවට මතකය. මා වැරදි නම් නිවැරැදි කරන ලෙස ඉල්ලා සිටින්නේ හැලපයාගෙන් ය. ගෙදර එන්න පිටත් වෙන්න පෙර අපේ ගෘහ සේවිකාව වූ විතාන ටත් කෑම පාර්සලයක් දෙන්නට තරම් හැලපිය කාරුණික වූවාය.

මේ පෝස්ටුව ලියන්නේ මූදු වෙරළේ ශීෂා එකක් අදිමින්‍ ය. පට්ට සීතලේ හඳේ හාවා ලොකු වෙලා ඉන්න හැටි බලන්නට ඇවිල්ලා ය. හාවා කෙසේ උනත් කොච්චියා දැන් ඉන්නේ ශීෂා සැර වැදී හඳේය. ටයිප් කරද්දී සීතලට ඇඟිලි වෙව්ලන්නේය.

හැමදාම බ්ලොග් කීපයක්වත් කියවන මට දැනෙන ආකාරයට හැලප කඩේ කියන්නේ සුවිශේෂී බ්ලොගක්ය. කෙනෙක්ට පල්හෑලි ලෙසින් අර්ථකථනය කළ හැකි වුවද ජීවිතයේ ඔය තරම් සිද්ධි සමුදායක් මේ තරම් විස්තරාත්මකව මෙන්ම විශ්ලේෂණාත්මකවද ලිවීම අති දුෂ්කර කාර්යයකි.වඩාත් වටින්නේ අඛණ්ඩව ලිවීමට තරම් කතන්දර ඔහු සතු වීමය. හැලපයාට වඩා වසර ගණනාවක් වයසින් බාල වූ මා හට මගේ අවුරුදු 15-20 කාලයේ ඇති මතකයන්ට වඩා ඉතා අධික සිද්ධි සහ අවස්ථා ගැන මතකයක් තිබීම ඇතැම් විට පුදුම එලවන සුළුය.තව අවුරුදු ගානක් උනත් මේ රටාවෙන්ම ලිවිය හැකි කතා රැසක් හැලපයා සතුව ඇත්තේය. ඕමාන් ජීවිතය ගැන පමණක් ලිවිය හැකි පෝස්ට් සියයක්වත් ඇති බව මට ඉඳුරා කියත හැක්කේය.

කොච්චියා දන්නා පරිදි විප්‍රවාසය කියනා වචනය සිංහල බ්ලොග් අවකාශයට ගෙනත් අත හැරියේ හැලපයාය. අද වන විට එය සිංහල බ්ලොග් ලෝකයේ පට්ට ගැසෙනා වචනයක් ය. කතන්දර ලියනා බ්ලොග් කාරයෝ බොහෝ ඇත්තෝය..ඒ ගොඩක් ඒවා කොපි කළ ඇත්තෝද නැත්තේ නොවේය. එහෙත් හැලප කඩේ වැන්නක් ලිවීම පමණක් නොව කොපි කිරීමද පහසු නැතිය. හැලප කඩේ තැම්බෙන හැලප ඊටම ආවේණිකය. දශක කීපයක ජීවිත කතා යුගයෙන් යුගයට ගලපා ලිවීම වෙනම අභ්‍යාසයක් ය. උඩු රැවුලා ඒ කලාව මැනවින් ප්‍රගුණ කර ඇත්තේය.

පෝස්ටුව ඉවර කරන්නට මත්තෙන් ආයෙත් හැලපයාට සුබ සංවත්සරයක් පතන්නේය. හැලපිගේ සෙන්සර් වලට හසු නොවී වැඩි වැඩියෙන් පැණි රස දෝරෙ ගලනා පෝස්ට් ලිවීමේ හැකියාව ලැබේවායි පතන්නේ බොක්කෙන්මය…

ප.ලි - ඇතැම් පින්තූර පල නොකරන ලෙස ලැබුණු ඉල්ලීමක් මත ඒවා ඉවත් කර ගෙන ඇත්තේය. හැලපිගේ සෙන්සර් කොච්චියාවද ආක්‍රමණය කර ඇත්තේය. හැලපයාගේ බ්ලොග් අනාගතය වෙනුවෙන් ඒ කැපකිරීම කිරීමට කොච්චියාගේ අමනාපයක් නැත්තේය.

Sunday, November 6, 2016

මීගමුවේ තානායම, අටවෙනි හෙන්රි සහ අඹුවගෙන් බැට කෑ ජොරා

කොච්චියා මුල් වතාවට රහමෙර තොල ගෑවේ වැල්ලවත්තේ මුහුදු තීරයේය. ඉස්කෝලේ මිතුරන් එක්කය. උසස් පෙළ කරන කාලයේ ඉන්ටවල් එකේදී එලියට පැනලාය. එකල අපි ගේට්ටුවෙන් ආවේ උදේටය...එලියට ගියේ තාප්පයෙන් ය. එකල අපට තිබූ පොකට් මනී එකතු කර මිලට ගත හැකි මිලකට තිබුණේ අති විශේෂ නොහොත් ගල් ය. ඒ කාලයේ ප්‍රතිපාදන සීමිත නිසා විස්කි ගහන්නට බැරිය...විස්කි වෙනුවට අපේ අත පොවන මානයේ තිබ්බේ ගල් ය..සෙක්ස් කිව්වත් ඒ කාලේ තිබ්බේ ගල් මය. කුණුහබ්බ වගේ පෙනුනාට පට්ට ඇත්ත ඒකය. මෙය කියෝනා බවලත්තු හැර කොල්ලන් හෝ කොල්ලන්ව සිටි හැමෝටම මේ පොදු ය.

ඉස්කෝලෙන් පසු උසස් අධ්‍යාපනයේ යෙදෙන කාලේ බිව්වේ ඕල්ඩ් රිසර්ව් නොහොත් ඕආර් ය. කුප්පි දැම්මේද කාල් බාග එක්කය. අපේ ගොඩක් එවුන් එකල මෙන්ඩිස් අංකල්ගේ විවිධ රස විඳි අතර කොච්චියා හා මෙන්ඩියා කිසිදා පෑහුණේ නැතිය. මේ ගැන කියා කණ්ඩා ඇතුළු සෙට් එකක් බ්ලොග් අවකාශයේ කොච්චියාට කෝචොක් දැම්මා වගේ මතකය. කෙතරම් ලොකු ජාති බිව්වත් සිරි ලංකාවට ගොඩ බසිනා වාරයක් පාසා ඕල්ඩ්‍ රිසර්ව් බොන්නට කොච්චියා අමතක කරන්නේ නැත්තේය. මුලදී කොකාකෝලා සමග බිවූ ඕආර් පසු කාලීනව බිව්වේ ඇල් වතුර එක්කය.

කාලයක් කොච්චියා ලෙමන් සහ ඩ්‍රයි ජින් ආසාවෙන් බිව්වේය. ජින් බොනවා නම් බයිට් එක සී ෆුඩ් ය. කොච්චියා ඇස්කොට් ලෙමන් ජින් මුලින්ම බිව්වේ මීගමුවේ ලැගූන් වීව් නොහොත් කලපුදිසි තානායමේය. මීගමු කළපුව අසබඩ පිහිටි තානායම අදටත් මීගමුවේ නීතීඥයන් රැසකගේ තිප්පොළය. කොච්චියාට ඔතන පුරුදු කළේ සරත් ය. මීගමුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූ සරත්ගේ වෙබ් අඩවි හතරක් හොස්ට් කර තිබුණේ කොච්චියාගේ සර්වර් වලය. සරා ලිනක්ස් විරෝධියෙක් වූ නිසා වැඩි මිල ගෙවා වින්ඩෝස් සර්වර් එකක සිය වෙබ් අඩවි හොස්ට් කර ගත්තේය. කැරකෙන උඩු රැවුලක් තිබූ සරා සමග කොච්චියා මුල් වරට කලපුදිසි තානායමට ගියේ සරාගේ නීති ප්‍රශ්නයකට විසඳුම් සොයනු පිණිසය. අදාල නීතිවේදීන්ගේ නම් නොකියන්නේ මතු ආරක්ෂාව වෙනුවෙන්මය. උදේ දහයට පමණ පටන් ගත් බීම නැවතුනේ රෑ අටට පමණය. අප ලෙමන් ජින් බීවේ ලෙමන් යුෂ සහ හෝම් මේඩ් ලෙමනේඩ් එක්කය. බයිට් එක බැදපු තෝර පෙති..අළුත් ඉස්සන් හා දැල්ලන්‍ ය. බැටර් ෆ්‍රයි කළ දැල්ලන් සහ මයොනීස් සමග කළපු සුවඳ හමන සුළං රැල්ල ගෙනෙන්නේ  අමුතුම රහක් ය. ඉස්සරහින් පේන්නේ මාලු බෝට්ටුය. හමන සුළග පවා ගෙනෙන්නේ වෙරි ගතියමය. මීගමුව කියන්නේ ලංකාවේ බොන්නට යා යුතු හොඳම නගරයය. සී ෆුඩ් කන්නට යා යුතු එකම තැනත් මීගමුවය.

මීගමුවේ ලපුදිසි තානායම

එදා තානායමේ කොච්චියා සමග එකට බිවූ ඇතමුන් ඉතා වයසය. අද වෙද්දී ඔවුන් කීප දෙනෙක්ම මෙලොව හැර ගොස් ය. එකල නීතිය ගැන මෙලෝ හසරක් නොදැන සිටි කොච්චියාට මෙන්ම සරත් ට ඒ අංකල් ලා සෙට් එක එකිනෙකා නොපරයන මට්ටමේ උසාවි ජෝක් කීවෝය. අට වෙනකන් බිවූ කොච්චියා අධික බීමතින් රිය පදවාගෙන ගෙදර ආවේය. එක් අංකලයෙක් කීවේ කොතනදී හෝ පොලීසියෙන් නැවැත්තුවොත් සිය නම කියන ලෙසටය. මිනිහා කවුදැයි එදා හරි හැටි නොදත් මුත් කටුනායක චෙක් පොයින්ට් එකේදී මට වෙරි පිට මිනිහාගේ නම කීමේ අවස්ථාව උදා උනේය. පරිස්සමින් යන්න කියා ඒ පොලිස් මහත්තයා කොච්චියාගේ කාර් එකේ දොරද සියතින්ම වසා දුන්නේය. එදා රහ වැටුණු ජින් බීම කොච්චියා කාලයක් කරගෙන ගිය නමුත් අතර මග නැවතුනේ ජින් වලට ආසා පාට්නර් ලා ඉතා හිඟ වූ නිසාය.

මීගමුවේ තානායම ඇතුලේ එදා කතා කළ මාතෘකාවක් අද කොච්චියාගේ පට්ට ඉන්ටරෙස්ට් එකක් වී ඇත්තේය. ඒ අටවෙනි හෙන්රි ය. හෙන්රි  හිටියේ පුනරුද සමයේ එංගලන්තයේය. ටියුඩර් රාජ වංශික හෙන්රි රජ වෙන්නේ යන්තම් අවුරුදු දාහතෙන්‍ ය. විවාහ වන්නේ අයියාගේ වැන්දඹු බිරිඳ සමගය. විසි හතර වසරක් වලංගු විවාහයක් පවත්වාගත් ඈ ඇරගොන් හි කැතරින් ය. රෝම අධිරාජ්‍යය සිය බලය ආගමේ නාමයෙන් රැකගැනීමට වෙර දරද්දී හෙන්රි ආලයේ නාමයෙන් රෝම අධිරාජ්‍යයට මෙන්ම රෝමානු කතෝලික පල්ලියටද අභියෝග කළේය.

රාජ්‍යය සහ ආගම එකක් නොව දෙකක් විය යුතුම බව පසක් කර ගැන්මට ඉතිහාසය හදාරනවා නම් කොමාවක් සමග නතර විය යුතු නැවතුමක්‍ නම් හෙන්රි ගේ පාලන සමය ය.ඔය දෙක එකක් වූ කල එහි භයංකාර බව බලා ගත හැකි කැඩපතක්ය හෙන්රි ගේ පාලන සමය.

නීති නොකඩා නීති නවනා පොලිස්පතිවරු ඉන්නා ලොවේ මීට වසර පන්සීයකට පෙර හෙන්රි බලය සහ ආලය වෙනුවෙන් ආගම නැව්වේය. සකල යුරෝපයටම ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති වලින් අභියෝග කළේය. තානාපතිවරුන් ගෙන් උපරිම ඵල නෙලූ පාලකයෙක් වූ හෙන්රි ප්‍රතිපත්ති වලින් ඔබ්බට ගොස් ප්‍රංශයෙන් සහ රෝමයෙන්  එක වර ගේම ඉල්ලුවේය. හත්වෙනි ක්ලෙමන්ට් පාප් වහන්සේගේ බලයට ප්‍රසිද්ධියේ අභියෝග කළේය. එහෙත් ආත්මාර්ථය උදෙසාය..පතිවත රැකි බිසවක් එලවා කාම ධේනුවක් ලං කරගන්නටය.

කොච්චියා මේ දවස් වල උනන්දුවෙන් කියවනා පොතක් ය. “The Other Boleyn Girl” . මේ කියන්නේ හෙන්රි ගේ දෙවෙනි බිරිඳ ඈන්ගේ සහෝදරිය මේරි ගැනය. ඈන් බොලෙයින් ට පෙර හෙන්රි සමග නිදි වදින්නේ ඈය. ඇයව ඊට පොළඹවා ගන්නේ ඇගේම පියාය. මේරිට රමණ රහස් කියා දුන්නේ සොහොයුරිය වූ ඈන් ය.  ඒත් මේරි ෆේල් ය.. නොපසුබස්නා වූ ඒ පියා..තෝමස්..විල්ට්ශයර් හි ආදිපාදවරයා ඊලග තුරුම්පුව එලියට දැම්මේය.. රති දෙව්දුව වන් ඈන් ය..බල තණ්හාව ඒ වගේය...තාත්තා දරුවා හඳුනන්නේ නැතිය. ඈන් ගෙන් ලොවට සිදුවූ යහපතක් ඇත්නම් පල්ලියේ බලතල සීමා කිරීමය. ලූතර් වාදිනියක වූ ඈ ඒ වෙනුවෙන් ක්‍රියා කළාය. එංගලන්ත සභාව ඇති කිරීමේ පුරෝගාමී වූවාය. අවසානයේ හෙන්රි ට ද්‍රෝහි වී හිස් ගැසුම් කෑවාය.


හෙන්රි සහ බිසෝවරු

අටවෙනි හෙන්රි කොච්චියාට සිහි කරවන්නේ ජොරා වය. ජොරා සහ හෙන්රි ටිකක් එක වගේය. හෙන්රි ගෑනු හයක් සහේට ගත්තේය...ගමේ බයියෙක් වූ ජොරා අටක් ගත්තේය. ඔහේලා ජොරා ගැන දන්නේ නැත්නම් කොච්චියා කියන්නට ලෑස්තිය.

ගෑනු සොඬෙක් වූ ජොරා ගමේ එකල උන් මැරයෙකි. ඇහැට කණට පෙනෙනා එකියක් වූවොත් හොඳින් හෝ නරකින් ඈ සහේට ගැනීම ජොරාගේ සිරිතය. මෙසේ ජොරා අඹු කමට ගත්තවුන් ගණනින් සතක්‍ ය. ගෙනෙනා එකිය එපා වූ කල තලා පෙලා ඈ එලවන්නේ මේ මැර ජොරාය.
ජොරා අටවෙනි වතාවේ උස්සන් එන්නේ ඌටම හරි යන නෑම්බියක් ය. බැන්නොත් බනින්නත් ගැහුවොත් ගහන්නත් පසු බට නොවූ ඈගෙන් ජොරා ලෙසටම මට්ටු වුනේය.

රෝගී වූ ජොරා දිනක් ගියේ වී බැද්දේ රාළ නම් වූ වෙදා වෙතටය..රෝගය පිරික්සූ කවියෙක්ද වූ වෙදා බෙහෙත් සීට්ටුවක් ලියා දුන්නේ ජොරාටය.

“කුට මතනා ගෙන අඹු සොඳ කටකා රී
අට අඹු ගෙනා සිටි අඹු එකෙකුට බේ රී
අට දින තනා සුණු ලා බී කල නොහැ රී
අට වන ජොරා බැට කාගෙන යයි බේ රී”

නූගත් ජොරාට වෙද රාළගේ සීට්ටුව හරි හැටි නොතේරුණාට එහි වූ කටකාරී,අට අඹු ගෙනා,අට වන ජොරා වැනි පද යෙදුම් ගැන සැක සංකා සිතුණේය… දණ්ඩෙන් පහර ලත් නයෙක් සේ කිපුණේ වී බැද්දේ රාළ තමාට කෝචොක් එකක් දැම්මා යැයි සිතාය. සිනාවෙන් ජොරා ගේ කෝපය පිළිගත් වෙදා කවිය පැහැදුවේ මෙසේය.

“කොට්ටම්, රසකිඳ ,අමු ඉඟුරු,කලාඳුරු,කටුවැල් බටු යන මේවා සමව ගෙන වතුර අට පත එකට සිඳුවා තිප්පිලි කුඩු දමා බොනු. අෂ්ඨ විධ ජ්වරයටම ගුණ ලැබේ.”

මේ ඇසූ ජොරා චොර වී කර බා ගෙන ගිය අයුරු සිංහල ජනප්‍රවාදයේ ඇත්තේය. අට වන ජොරා මට්ටු වූයේ අට වෙනි අඹුවගෙන් උනාට අට වන හෙන්රි ට එච්චර දුර යන්න ලැබුණේ නැතිය. සිය හය වෙනි අඹුව වූ කැතරින් පාර් සමග විවාහයේ තුන් වෙනි අවුරුද්දේ හෙන්රි  අකාලයේ මියැදෙන්නේ කාලයක් තිස්සේ වද දුන් රෝගී තත්වයකින්‍ ය. සුව නොවනා දරුණු තුවාලයක් සහිතව හෙන්රි මියෙන විට අධික ස්ථුලතාවයෙන් යුතුව සිටියේය. ඔහුගේ ඉන අඟල් 54 වූවා යැයි සඳහන් වී ඇත්තේය.

රහමෙර සමග මිශ්‍ර කර ගත් එංගලන්ත ඉතිහාසයේ විසූ රැඩිකල්ම රජුත් සිංහල ජනප්‍රවාදයකුත් එකට ගැටලා කොච්චියා ලියූ මේ පෝස්ටුව මෙසේ නිම වෙනවාය.  

ප.ලි
ඒ වගේම මාතලන් කියනා පරිදි හිංගල පොෂා ලාගේ වීරයා වූ මගේත් ප්‍රියතමයෙක් වූ වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා මහතාගේ අභාවය ගැන ශෝකය ද ප්‍රකාශ කරනවාය. එතුමා සුරලොව යනවාට කොච්චියා කැමැත්තේය.