Monday, December 26, 2016

ඩෙලිකා වෑන් එකේ තේ කඩේ, බේක් හවුස්, ස්වීට් හවුස් සහ නෝනාගේ කොන්දේ අමාරුව

දැන් මාසයක පටන් කොච්චියාගේ නෝනා කොන්දේ ආබාධයක් නිසා පීඩා විඳින්නේය. ගේ ඇතුලේ ලිස්සා වැටුණු ඈ කොන්දේ ඇතිවූ බරපතල නොවු වේදනාව නොසලකා සිටියාය. ඒත් එන්න එන්නම වේදනාව වැඩිවූ අතර වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවීමෙන් පසු දැන ගන්නට ලැබුණේ කශේරුවේ අස්ථි දෙකක් අතර පරතරය අඩුවී ඇති බවක් ය. බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් ගුණයක් නැති කල්හි යොමු වුණේ ආයුර්වේද ප්‍රතිකාර වෙතය. දැන් සති දෙකක් තිස්සේ දිනපතා ඇය ව ප්‍රතිකාර සඳහා ගෙන යන අතර දිනෙන් දින ප්‍රගතියක් දක්නට ඇත්තේය.


මුල් දින කීපයේ හැන්දෑවේ වෙලාවක් වෙන් කර ගත්තද එය අපේ දෛනික රාජකාරි වලට  බාධාවක් හෙයින් කීප දිනෙක සිට උදේ 8.30 ට ඇයව අදාල ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා ඇරලවිය යුත්තේය. ඇතැම් දින වල ජහුටාද අප සමග යන්නේය. එසේ යන යම් දිනවල ඈ එහි ඇරලවා අප පාතරාසය සඳහා රුවී ප්‍රදේශයේ අවන් හලක් වෙත යන්නේ බඩ කට පුරා වඩේ සහ තෝසේ කන්නටය.


පසු ගිය සතියේ එසේ එක් අවන්හලකින් තේ ඉල්ලූ විට පීරිසි කුට්ටමක තේ ලැබුණේය.ඒ දුටු ජහුටා කීවේ පීරිසියේ දමා තේ බොන්නට හිතෙන බවය. ඕමානයේ පීරිසි කුට්ටමක තේ එකක් ලැබෙන්නේ එහෙමත් කලාතුරකින් ය.කෙසේ නමුත් ඒ ප්‍රකාශය කොච්චියාව දශක තුනක් පමණ ආපස්සට ගෙනාවේය. එක්දාස් නවසිය අසූ ගණන් වල
… එනම් කොච්චියා පොඩි එකා සන්ධියේ සිදුවීම් සමුදායක් සිත්තම් පෙළක් සේ මතකයට ආවේය.


ඔය කාලයේ කොච්චියාට තදින් හතිය තිබුණේය. දෙවරක්ම නියුමෝනියාව සෑදී ලේඩි රිජ්වේ එකේ හිටියේය. ලේඩි රිජ්වේ එකට එකල කිව්වේ නෝනා වාට්ටුව කියාය.පැය හයෙන් හයට ඉන්ජෙක්ෂන් ගැසුවා මතකය. ඉන්ජෙක්ෂන් ගහන්නට නර්ස් ලා එන විට සියලු පොඩි උන් හඬා වැටෙද්දී මා නොහඬා සිටියා මතකය. නර්ස් ලා අනෙක් පොඩි උන්ට මාව වීරයෙක් කර පෙන්නුවෝය.


ඔය කී රෝගී තත්වයන් හට කොච්චියාට බෙහෙත් කළේ ප්‍රියානි සොයිසා ය. අදටත් මට ඇගේ මුහුණ මතකේ ඇත්තේය.. එකල මිලිටරි පිස්සුවක් තිබූ කොච්චියා ඈ දුටු කල සැලියුට් ගැසුවේය. ඇගේ ප්‍රියතම රෝගියා වූයේද කොච්චියාය. නිතර ඈ චැනල් කිරීම සිදුවූ ඒ කාලයේ මගේ දෙමාපියෝ මහත් කට්ටක් කෑවෝය.


මුලදී ප්‍රියානි සොයිසා ආවේ සෙන්ට්‍රල් එකට විතරය. එකල සෙන්ට්‍රල් එක තිබ්බේ හෝටන් ප්ලේස් එකේය. දැන් එතන එවැන්නක් නැත්තේය. හෝටන් පෙදෙසේ වූ ඒ සෙන්ට්‍රල් එක කොච්චියාට අදටත් හොඳින් මතකය. එහි වූ චැනල් කාමර මෙන්ම වැසිකිළි පවා තාමත් හිතේ ඇත්තේය.


අද මෙන් එක ක්ලික් එකකින් හෝ ඇමතුමකින් හෝ දොස්තරලා චැනල් කිරීමේ ක්‍රමයක් එදා තිබ්බේ නැතිය. ඒ සඳහා එතනටම යා යුතුය. එකල චැනලින් සෙන්ටර්ස් තිබ්බේ දෙක තුනක් ය. සෙන්ට්‍රල් ඉන් මූලික වූ අතර පසුව ආවේ ග්ලාස් හවුස් ය.. එය තිබ්බේ කටුගේ ඉස්සරහට වන්නය. කොච්චියාට ඒ කාලේ කටුගේ කටපාඩම් ය. ඕනෑම කෞතුක වස්තුවක් ඇති තැන මතකයෙන් කියන්නට තරම් මා එහි ගොස් ඇත්තේය. ඒ චැනලින් නිසා මය.


වහන්නට ඔන්න මෙන්න කාලයේ සෙන්ට්‍රල් එකේ ඉදිරිපස
දවාලේ සෙන්ට්‍රල් එන සොයිසා නෝනා චැනල් කරන්නට උදෙන් ආ යුතුය.ඒ ඇවිත් ඈ එනතුරු එහි ඉන්නට ඕනෑය. එකල අද මෙන් පොෂ් කැෆටේරියා ඕවායේ තිබ්බේ නැතිය. ඒ වෙනුවට ගේට්ටුව ආසන්නයේ නැවැත්වූ කබල් ඩෙලිකා වෑන් කට්ටක් තිබ්බේය. එහි රෝල්ස් කට්ලට් සැන්ඩ්විච් මෙන්ම වඩේ ද තිබ්බේය. අම්මා ත් තාත්තාත් මාද රැගෙන උදේ දහය හමාර පමණ වෙද්දී ඔතනට යන්නෝය. ඒ රෝල්ස් මෙන්ම එකල තිබූ තක්කාලි සෝස් ද පට්ට රසය. අද ඇති සෝස් මොනවා දැයි හිතෙන්නේය. රෝල් එකක් හා සැන්ඩ්විච් එකක් කන පොඩි කොච්චියා ඔය වෑන් එකෙන් තේ බොන්නට මහත් ආසාවකින් හිටියේය. ඒවා කෝප්පයෙන් පීරිසියට දමා නිවා දෙන්නේ තාත්තාය. පීරිසියෙන් බිවූ ඒ තේ රස මගේ දිවේ අදටත් ඇත්තේය. මට එසේ තේ නිවා දුන් තාත්‍තා මෙන්ම රෝල්ස් කඩා කැවූ අම්මා ගැනද ඇත්තේ මහත් ආදරයක් ය. ඔවුන් මා වෙනුවෙන් එදා මෙන්ම අදටත් මහත් වූ කැපකිරීම් කර ඇතිවා මෙන්ම ඉදිරියටත් කරන්නෝය. ඒත් ඒ වෙනුවෙන් මා කර ඇති ලබ්බක් නැත්තේය … ඒත් හිත පුරා ආදරය නම් ඇති බව ඔවුන් දන්නා බවත් දන්නේය. අර කිවූ පීරිසි කුට්ටම මට මතක් කර දුන්නේ ඒ ආදරයය.


දොස්තර බැහැ දැකීමෙන් අනතුරුව අප යන්නේ දවල් කෑම ගන්නටය. ඒ කාලේ බේක් හවුස් එක කියන්නේ සැලකිය යුතු හෝටලයක් ය. බත් කන්නට නම් එහි උඩ තට්ටුවට යා යුතුය. යට තට්ටුවේ ඇත්තේ ෂෝට් ඊට්ස් හා ස්වීට්ස් ය. උඩට ගොස් රයිස් ඇන්ඩ් කරි හෝ බිරියානි ඉල්ලන්නට පුලුවන් ය. අරාබියේ ඉන්නා නිසා අද බිරියානි කීවාට ලංකාවේ අප කිව්වේත් කියන්නේත් බුරියානි කියාය.දීසි වලට දමා ගෙනෙන ඒ කෑම වේලද තාම මතකය. කෑමෙන් පසු වටලප්පන් හෝ කැරමල් පුඩින් ය. කොච්චියා බේත් ගන්නට එන ඔය ගමනේ ආසම කරන කොටස ඕකය. ඇතැම් දාට කොච්චියා වටලප්පන් දෙකක් ම කන්නේය.. එකක් කෑවත් එදාට අම්මාගෙන් කොටසක් කන්නේය. ඔය බේක් හවුස් එක තිබ්බේ පරණ ගෙදරක් වගේ එකකය. ඒ වේටර් ලාද රහීමාවේ වේටර් ලා මෙන්ම කොච්චියාට ආදරේ කළෝය. කෑමෙන් පසු එහි ඉහළ මාලයේ වූ කොරිඩෝරයක් දිගේ ගියවිට හමුවන ඉතා විශාල වැසිකිළියකට ගොස් මුත්‍රා කිරීමද මා පුරුද්දක් සේ කළේය. මේ සියල්ල ඊයේ පෙරේදා මතක් වුණේ තේ පීරිසියක් නිසාය.
අත හැර දමා මළ කෑමට ලක්වූ කෝච්චියේ එන්ජිම


ඇතැම් දාට ප්‍රියානි සොයිසා දවල් එන්නේ නැති බව හදිසියේ දැනුම් දෙන්නේය. එදාට හවස් වනතුරු කාලය ගත කළ යුතුය. එවිට අම්මාත් තාත්තාත් මා රැගෙන විහාර මහා දේවී උද්‍යනයට යන්නෝය. එකල කාලය කෑමට MC හෝ Crescat වගේ පොෂ් තැන් නොතිබ්බේය. පාක් එකට යන කොච්චියා එහි වූ කෝච්චියට මහත් සේ ආසා කළේය. එහි රවුමක් යන්නට අමතක නොකළ මා.ඇතැම් දින වල බත් කෑවේ ඒ තුල ඉඳ ගෙනය. එවැන් දිනවල බත් පාර්සල් ගෙනැවිත් අපි පාක් එකේ ඉඳන් කෑ බවද මතකය.


ඔය කාලයේ අප හා ඔය ගමන් වලට සහභාගි වූ රියදුරා ඇඩ්ඩිං මාමා ය. උන්දෑ අද ජීවතුන් අතර ඉන්නවාද නැද්ද කියා දන්නේ නැතිය. හෙට ඒ ගැන ගෙදරට කතා කර අසා ගත යුත්තේය . ඇඩ්ඩිං මාමා නැති දාට ඔය ගමන ගියේ විල්බට් මාමා එක්කය. හවස් ජාමේ ආපසු එන විට තේ බොන්නට තාත්තා යන්නේ වත්තල ස්වීට් හවුස් එකටය. අඩියෙන් අඩියට පේස්ට්‍රි ෂොප් නොතිබූ එදා ස්වීට් හවුස් කියන්නේ සුපිරි ස්පොට් එකක් ය. නුගේගොඩ මෙන්ම කිරිබත්ගොඩ හෝ කඩවත ද ස්වීට් හවුස් තිබ්බේය. ඒ තේ එක මෙන්ම එහි තිබු ෂෝට් ඊට්ස් ද බේක් හවුසියේ ඒවා වගේම තාම මතකේ ඇත්තේය.


කොච්චියා කාලෙකට පසු අච්චාරුවක් නොවන කතාවක් ලියා අවසන් කළේය. හැබැයි කියවා අවසානයේ ඔහේලාට මාව මළ පෙරේතයෙක් සේ හිතෙන්නටද පුලුවන්‍ ය. කොච්චියා කවදත් කෑමට බීමට ටිකක් පෙරේතය. ඒ නිසා එසේ හිතුවාට අමනාප වෙන්නේද නැත්තේය. කොච්චියා අතීතකාමියෙක් ය. ඒ අතීතයන්‍ට ඈත ඉඳන් පෙම් කරන්නෙක් ය. ලං වී පෙම් කර රහසේ කඳුලක් හලන්නෙක් ද නොවේය.

කොච්චියා මේ කතාවේ ලින්ක් එක නංගීට යවන්නේය. ඈ එය අම්මා හා තාත්තාටද කියවනවා ඇත්තේය. මා එසේ දෙමාපියන්ට කියවිය හැකි මට්ටමේ ඒවා ලියන්නේ ඉඳ හිටය. නංගී මෙන්ම මල්ලී ද මගේ කුණුහබ්බ ලෝකය දන්නා නිසා උන් මා ලියන ඒවා සාමාන්‍යයෙන් දෙමාපියන්ට කියවන්නේ ෆිල්ටර් කරලාය.

63 comments:

  1. හැක්.. හැක්.. ඔහොම කන්න හමබවෙන හින්ද කොච්චිය බොහෙත් ගන්නට ඉතා ආසාවෙන් යන්න ඇත්තේය.

    මමනං ඔය පීරිසියට දාල තේ බොන වැඩේට එච්චර කැමැත්තක් තියෙන එකෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න. මටත් ඔය පීරිසියට දාලා තේ බොන්න කැමැත්තක් ඇත්තේම නැත.

      Delete
    2. කොටින්ම මමත් ඒකට දැන් කැමති නැහැ. එදා ඒ උනාට ඒක නිවා ගත්තු ක්‍රමේ සහ මම බොන්න ආස වුන විදිහ. මොකද එතන සමහරු ඒ විදියට බොනවා දැකලා තමයි කොච්චියා දෙමාපියන් ගෙන් ඔය විදියට දාලා දෙන්න කියලා ඉල්ලුවේ

      Delete
  2. හතිය හැදුණු කොච්චි අරන් රිජ්වෙ දුවනවාලූ
    නැතිය බියක් රෝහලේදි සැලියුට් දැමුවාලූ
    ඇතිය බිව්ව කෑව රසය මතකෙ රැඳෙනවාලූ
    බැතිය පුදා දෙමවපියන් මතක් කරනවාලූ.......

    ජයවේවා!!!

    ReplyDelete
  3. ග්ලාස් හවුස් දැන් රට පුරාම....

    ReplyDelete
  4. දෙයියම්පා කොච්චියෝ දෙමාපියන් අපිට කරපු තරමටත් තවම කරන තරමටත් මම මේ කල්පනා කලේ මම කරපු ලබ්බක් නැතිද කියලාය. අපිට කල තරමට වගේම පිට මිනිස්සුන්ට කරපු තරම නිසාත් සමහර වෙලාවට මම අම්ම තුමියට මදර් තෙරේස කියලත් පියාණන් තුමාට නෙල්සන් මැන්ඩෙලා කියලත් ආමන්ත්‍රණය කරනවාය.

    ජීවිතෙන් කාලක් පමණ නුවර ජිවත් වූ මාහට (තාත්තා නම් අවුරුදු 25ක් 30ක් වගේ නුවරය. අම්මාත් දැන් පියා සමග අවුරුදු 10ක් පමණ නුවරය) බේක් හවුස් තොසේ කඩවල් වලට අපේ පවුලම එක්කරගෙන ගියත් "ලේක් ෆ්‍රන්ට්" එකේ චයිනීස් කෑමට ගහන්ට කෑම එකක් අදටත් කාල නැත.

    කලක් පියා නැවතී සිටි ස්ථානයේම සුපිරියට නැවතීමට පියාගේ බොස් තුමා අවසර දුන් පසු සතියේ දවස් 7ටම රෑ කෑම වශයෙන් ලේක් ෆ්‍රන්ට් හම්බුනි.

    උදේටත් දවල්ටත් පොල්ගොල්ල ඩැම් එක උඩ තියෙන ලොරි කඩයේ වාඩි වී තොසේ පරාට ගිල්ලෙමි.

    දැන් නම් ඉන්දියන් කඩ මට වහ වගේය. සිංහල හෝ දෙමළ කඩයක් සොයා සෑහෙන දුරක් යා යුතුය.

    උබ මේ පොස්ට් එකක් ලියා මම තුමාගේ දිව නහර කුලප්පු කල කුසලයයේ ආනිසංස වශයෙන් 31 වෙනිදා රෑ නිවාඩුවක් දමා කොහෙන් හරි සිංහල දෙමල කඩයකට ගොස් රසවත් කෑම එකක් අරං ගෙදර ඇවිත් ජේම්සන් බෝතලයක් ගසා අළුත් අවුරුද්ද සමරන්නට මේ දැන් සිතා ගත්තෙමි.

    බොට රොම්බ පිං කොච්චියෝ 🤣

    ReplyDelete
    Replies
    1. පොල්ගොල්ල ඩෑම් එක පැත්තේ උඹ හිටියේ කොයි හරියෙද? මම කාලයක් වටපුළුවේ හිටියා.

      Delete
    2. ඕපන් යුනිවසිටි ගියා මචං කාලයක්. 2000 දි වගේ..

      Delete
    3. මම ඔහේ හිටියේ ඊට සෑහෙන පස්සේ

      Delete
    4. උඹ ඉන්නේ අසෙයිබා නේද...උඹට ඔප්ෂන් තියෙනවා නේ

      Delete
  5. Replies
    1. උඹ දැන් ලියන්නෙ සිංහලෙන්ද වෙන බාසාවකින්ද?

      Delete
    2. අටමා උදෙන්ම ගහලා වගේ

      Delete
    3. මනුස්සය බිව්වම කොම්පියුටරේටත් ඩෝප් වෙන්නෙ නෑ කියල කවුරුහරි කියනවනං අටමගෙ කොමෙන්ට් එක පෙන්නහං. හැක්..

      Delete
    4. අටමෝ තෝ බීලා නිදි නේද..

      Delete
    5. මේ් රෙදදෙ හැටිි වදිනවිිදිිහ

      Delete
    6. වෙන රෙද්දකට මාරු විය යුතු කාලය එළඹී ඇත...

      Delete
  6. මේ කාලය සහ මේ තැන් හොඳට මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔය හැම තැනක්ම දැන් වෙනස් වෙලා

      Delete
  7. මට බෝ ගැන ඉරිසියාය. අපි ඉස්පිරිතාලේ ගිහිං සමහර දවසට ආපහු එන්නේ පයිංය.

    ReplyDelete
    Replies
    1. පයින් ද මොකෙන්ද කියා නැතිය...ඔය කෝකත් අද හිතුවොත් සුන්දරය...

      Delete
  8. වැඩිපුර රජයේ රෝහල් වලට ගිය ගස්ලබ්බට නම් සුන්දර මතකයක් කියා යන්තමින් හෝ හොයාගන්න ඇත්තේ හිත හොඳ නර්ස් නැන්දා දෙන සිරින්ජරයක්,සේලයින් බෝතලයක් පමණය.
    පොඩිකාලේ නුවර බේක් හවුසියේ උඩ තට්ටුවට වෙලා පවුලේ හැමෝම ෆ්‍රයිඩ් රයිස් කාපු හැටිත් ඒ අස්සෙන්ම මතක් උනේ ය.කොච්චිට පිං ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ කිව්වේ නුවර බේක් හවුසිය නෙවේය. ඇස් ඉස්පිරිතාලය ඉස්සරහට වෙන්නට තිබූ එකය.

      Delete
  9. ඉස්සෙල්ලාම කොච්චි හාමිනේට ඉක්මන සුවය ප්‍රාර්ථනා කරනවා ඔන්න.
    මේකනම් හරිම රසවත් පෝස්ට් එකක් මොකද කෑම හා කෑම තියෙන තැන් ගැනනේ.මමත් හොය කෑම කඩ ගැන බොහොම මනාපනේ.වඩේ කරත්තෙ අච්චාරු කරත්තෙ ඉදන් මහ හෝටල් වලට යනකන්ම කෑම රහ හොය හොයා ගිය කාලයක් තිබුනා.දැන් ඒ පිස්සුව පොඩ්ඩක් කන්ට්‍රොල් වෙලා මොකද මම කාර බැඳ ගත්ත එකා තුන් වේලම ගෙදර බත් කන්න කැමති එකෙක්නෙ හි හී.

    ReplyDelete
    Replies
    1. අපරාදෙනේ...මාව බැඳගන්න තිබ්බෙ ඔයාට..

      හාමිනේට සුවය පැතුවාට ගොඩක් ස්තුතියි ..ඇය සෑහෙන්න අපහසුවකින් ඉන්නෙ ඔය කොන්දෙ අමාරුව නිසා.

      Delete
    2. හා.. හා... වැඩේ කියන්නේ මට තාම හිතිලා නෑනේ මේ උන්දට වඩා වෙන උන්දෙක් බැන්ඳනම් හොදයි කියලා.

      අනික අපි හිතනවනේ එක වගේ සිතුම් පැතුම් තියෙන එකම විදියට කන බොන අඳින පළඳින කෙනෙක් ජීවන සහකාරයා / කාරී හැටියට ලැබුනනම් වාසනාවක් කියල .මටනම් හිතෙන්නේ එක හරිම බෝරින් කියලා.පොඩි ආගියුමන්ට් එකක්, ඝට්ටනයක් , කැපකිරීමක් , එකිනෙකාගේ අදහස් උදහස් වලට නම්්‍යශීලී වීමක් එක්ක ගෙවෙන ජීවිතේ තමා විඳින්න පුලුවන්.

      Delete
    3. එකඟයි. එහෙම නොවුනොත් විවිධත්වය නැති වෙනවා..නම්‍යශීලී බව එක්ක තමයි මෙතෙක් අකමැති හෝ කැමති බව නොදන්නා දේවල් පවා කැමතියි කියලා දැන ගන්නෙ...

      Delete
    4. ඒක එහෙම්මම තමයි. ගහකට ගහක්වත් වැලකට වැලක්වත් පෑහෙන්නේ නෑ. ගහකුයි වැලකුයි තමයි එකට පවතින්නේ.

      Delete
  10. කොචිචි අඩුවෙන් දාපු රෝල්ස් තියෙනවනම් මෙහෙට දුන්නනම් කොච්චි මාමෙ...///

    ජය බෝලී නාත් !!

    ReplyDelete
  11. අපරාදේ..කොච්චි ඔමාන් එන්න තිබුනේ අවුරුදු හතර පහකට කලියෙන්...!

    ReplyDelete
    Replies
    1. එහෙනම් සෙට් වෙන්න තිබ්බා චෙෆාකි එක්ක

      Delete
    2. හෑ.. දැන් මේ බ්ලොග් ලියන ඔක්කොමලා ඉන්නේ ඔමාන් වලද අප්පා..

      Delete
    3. ඕමාන් වල බ්ලොග් ලියන සහ ලියාපු කීප දෙනෙක් ඉන්නවා.

      Delete
  12. ඕමානයේ ආයුර්වේද ජනප්‍රියද ?

    ReplyDelete
    Replies
    1. එහෙමටම නොවුණත් සෑහෙන්න දුරකට. මෙහේ ඉන්න මලබාරි ජනගහණය එක්ක ආයුර්වේදය මෙහේ අත්‍යවශ්‍යම දෙයක්..
      ඒ වගේම ගොඩක් ඕමානි ජාතිකයන් දැන් පුරුදු වෙලා ඉන්නවා කේරළයට ගිහින් ආයුර්වේද ප්‍රතිකාර ගන්න.

      Delete
    2. ආගමික නිදහස තියනවද පන්සල් කෝවිල් චර්ච් සඳහා? අපේ අය තාම නාත දෙයියෝ, වශී, අඳුන්, නැකැත්, විශ්ව ශක්ති ආදී මෙකී නොකී ප්‍රබුද්ද ඇදහිලි කර්ම ඔහෙට වැඩම කරවගෙන නැද්ද?

      Delete
    3. ආගමික නිදහස උපරිමයෙන් තියෙනවා ... පල්ලි කෝවිල් වගේම පන්සලක් තියෙනවා. අපේ හැලපෙ ගෙ කාර්‍යාලයෙන් එලියට බැහැපු ගමන් පන්සල..
      දාන මාන පිංකම් වගේම දන්සැල් පවා දෙනවා පන්සල ආශ්‍රිතව . ඕමාන් ජාතිකයන් පවා ඔය දන්සැල් වලට එනවා..
      මගේ මිත්‍ර ඕමාන ජාතිකයන් කීප දෙනෙක්ම අපි එක්ක පල්ලි ගිහින් තියෙනවා ..
      යන්තර මන්තර කේස් නම් නැහැ ... දැනුවත්ව

      Delete
    4. ////යන්තර මන්තර කේස් නම් නැහැ ... දැනුවත්ව////
      ඔමානියො අතරේ ඔයවගෙ ගුරුකම් වැඩ තිබුනා, ඒවා වුනේ රහසේ.

      Delete
    5. ඒවා නම් දැනටත් තියෙනවා. al hamra පැත්තේ බහුලයි.. ඒ කිව්වෙ jebel shams වල පාමුල ට වෙන්න.

      Delete
  13. පීරිසියට දාලා බොන තේ එකෙත් පොඩි ලල් එකක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම බීපු කාලයක් මතක නැහැ ..ඒත් අමුතු ගතියක් තිබ්බා

      Delete
  14. තාත්තගේ ව්‍යාපාරය එක්ක මම  පොඩිකාලේ ගොඩක් ගැවසුනේ පංචිකාවත්ත, ගල්වල පාර ආශ්‍රිතව. බුහාරි එකේ බුරියානි, වටලප්පන්, ෆලූඩා, ආමර් ස්ට්‍රීට් එකේ තියන කඩේක තිබ්බ ඇටලොකු තම්බපු හාල් (යකඩ හාල්) ,සරස්වතී භවන් එකේ ලොකු පපඩම්, නම මතක නැති ගල්වල පාරේ මුස්ලිම් හෝටලේ සිකුරාදා තියන සවාන්, වාහනයක් තිබුනේ නැතිකාලේ ගිය කුලී වෑන් එකේ ගුණදාස අංකල්, සෙන්ට් ඇන්තනීස් හාර්ඩ්වෙයාර් එකේ හිටපු හාතාගොඩ අංකල්, ඔස්කාර් ස්ටීල් එකේ හිටපු දෙමළ මැනේජර් අංකල්, දෙසැම්බර් මාසේ අග ගියහම වෑන් එක පුරෝලා අරගන එන කැලන්ඩර්, ඩයරි තොගේ.....

    මේ ඔක්කොම පෝලිමට ඔළුවට එනවා ඉතින් දැන්.

    ReplyDelete
    Replies
    1. බුහාරි එකේ බුරියානි වගේම ආමර් වීදියේ වානි විලාස් ගැනත් පෝස්ට් එකක් ලියන්න ඕන ළඟදිම

      Delete
  15. මගේ ජීවිතෙත් ආමර්වීදියේ තෝස කඩ, බේක් හවුස්, සෙන්ට්‍රල් එක ගැන ගොඩක් මතකයන් තියෙනවා. ඇස් වාට්ටුව ඉස්සරහා තියෙන කඩවලිනුත් ඇති පදම් කාලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මගේ කුලකයෙ එකෙක්

      Delete
  16. පට්ට ලියවිල්ල, මචෝ උඹ රෝයල් එකේ මොන බැච් එකේද ?

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වම එක්ස්පෝස් වෙනවා වැඩියි නේ බන්

      Delete
  17. නිතර ගැවසුනු තැන්.ඉස්කෝලේ ඇරිලා කටුගේ අස්සෙන් තමයි පාක් එක පැත්තට බඩගාන්නේ දුම දාන්න.

    ReplyDelete
    Replies
    1. කටුගේ එහාපැත්තෙ ටෙනිස් කෝට්ස් අයිනෙන් ගිහින් මහවැලි කේන්ද්‍රයෙ පිටිපස්සට වැටෙන හොර පාරක් තිබ්බා අපි ඉස්කෝලෙ යන කාලෙත්...එතනින් පාර පැන්නම පාක් එකේ පිටිපස්සෙ ගේට්ටුව..

      Delete
  18. මම තාත්තව එක්කගෙන හොස්පිට්‍ල් ගියපු හැටි මතක් වුනා...ඒ මතකය නම් ඔහොම සුන්දර නැහැ....බොහොම දුක්බරයි....නවලෝක, සෙන්ට්‍රල්, ජෙනරල්, අතරේ කැම්පස් එක්සෑම්...

    කොච්චිගේ ආදරණිය බිරිඳට ඉක්මන් සුවය පතනවා..

    කලින් පොස්ට් එක, නුවර ගැන ලියපු, හිතට තදින්ම දැනුනා...අපුරුවට ලියල තිබුනා

    ReplyDelete
    Replies
    1. හැම දෙයක් ගැනම විවිධ අයට තියෙන්නෙ විවිධ මතකයන්...
      ස්තූතියි ඔබේ පැතුමට...ඒ වගේම නුවර කතාව ගැන කරපු අගය කිරීමට

      Delete
    2. හැම දෙයක් ගැනම විවිධ අයට තියෙන්නෙ විවිධ මතකයන්...
      ස්තූතියි ඔබේ පැතුමට...ඒ වගේම නුවර කතාව ගැන කරපු අගය කිරීමට

      Delete
  19. ලස්සන පෝස්ට් එකක්. ඔයාටත් නෝනටත් ලැබුවාවූ 2017 නව වසර නීරෝගී දුක නැති සතුට පිරි ආදරණීය වසරක් වේවා.කියල හදවතින්ම මම සුබ පතනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ...ඔබටත් සුබ වසරක්

      Delete
  20. ඔබේ ලිවීම් රටාව ප්‍රියයි. සුභ පැතුම් කොච්චියා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලී...ඔයාගෙ බ්ලොග් එකත් මම කියවනවා

      Delete