සිකුරාදා උදේ ටීවී එක දා ගත්තේ යූ ටියුබ් එකේ මොකක් හෝ සිංදුවක් දමා ගෙන බලමින් අසන්නටය. එහෙම කිව්වේ දැන් සිංදුවක් සම්පූර්ණ වෙන්නේ ඒකට වීඩියෝවක්ද තිබ්බොත් නිසාය. එහෙම තෝරන අතරේ උපුල් ශාන්ත සන්නස්ගල ගේ මූණත්තහඩුවද කොහෙන්දෝ පෙනුණු නිසා කොච්චියා ඒ මත ක්ලික් කළේය. ඒ පාර ආවේ සත්‍යාගාරය ප්‍රෝග්‍රෑම් එකේ රනිල් වික්‍රමසිංහ හිටපු එපිසෝඩ් එකය..එය මීට පෙර බලා ඇති බැවින් පොඩ්ඩක් එහෙට මෙහෙට කළ විට හිටපු රාජකීය දෛවඥයා වූ සුමනදාස අබේගුණවර්ධන සිටි එපිසෝඩ් එක ආවේය. මිනිහා ආතල් දෙන්නට දෙයියා බව දන්නා කොච්චියා උදේ පාන්දර ලේ පිරිසිදු කර ගන්නටත් හිතා ගෙන ඕක බලන්නට ගත්තේ දෙකකුල් ද ටීපෝව උඩින් දමා ගෙනය. නෝනා නැගිටලා නැති නිසා ඒ වාගේ විනය විරෝධී වැඩ කරන්නට ඒ වේලාව ආරක්ෂිතය.
හිනාවෙන්නට කියා හිතුවාට ටික වෙලාවක් බලද්දී කොච්චියාට දුක හිතුණේය. ඒ තරමටම සුමනදාස ලොක්කා අසරණ වුණේය. මහා දෛවඥයා අට වසරේ කොල්ලෙක් ටත් වඩා පහළට වැටුණේය. කොච්චියාට ඔය සුමනදාසයා පෙන්නන්නට බැරි නමුත් මෙතනදී නම් මිනිහා කෙරේ පැහැදිලි අනුකම්පාවක් ඇති වුණේය. සන්නා කොහොමත් ප්‍රශ්න අසා මිනිස්සු අමාරුවේ දාන්නට රුසියා බැව් කොච්චියා දන්නේය. ඒත් ගොඩක් උන් අමාරුවේ වටෙන්නේ උන්ගේ ජිල් මාට් නිසාය...එහෙමත් නැත්නම් එක් එක් තැන්හි කියා ඇති විවිධ බොරු පටලවා සන්නා ප්‍රශ්න අහන නිසාය..ඒත් මිනිහෙක් තමාගේම විෂය ඇතුලේ අසරණ උනා මේ දැක්කාමය. ඒකත් මේ වගේ එක එක පැත්තට කරකවා බයිලා ගැසිය හැකි සබ්ජෙක්ට් එකක් වූ ජ්‍යෝතිශය ගැනය. ජ්‍යෝතිශය ගැන අබමල් රේණුවක දැනුමක් නැති පාසල් යන පොඩි කොල්ලෙක් ට කිසි ගේමක් නැතිව ගොඩ දා ගත හැකි මට්ටමේ ප්‍රශ්න වලට සුමනදාසයා වටේ ගියේය. මෙහෙව් ගොනෙක් රාජකීය දෛවඥයා කර ගත් ඒ මහරජ තෙමේ කවර බුද්ධිමතෙක් දැයි කියාද හිතුණේය. ඒ ගැන කතා කළොත් වැඩේ දිග්ගැස්සෙන අතර හැම දාමත් වාගේ “ රජතුමා ගාව ගන්නෙ නැතුව උඹට ලියන්නම බැරිද” කියා අටමා අසනවා ඇත්තේය. මොනවා උනත් අටමා හොඳ එකා නිසා කොච්චියා ඌ එක්ක රජතුමා ට විරුද්ධව හා වදන්තදයට පක්ෂව කතා නොකිරීමට සිතා ගෙන ඉන්නේය..මොකෝ ඒවායින් අටමා ගේ ලාමක සිත රිදුනොත් ඒ පව කොච්චියාටය.
කාලයක් කොච්චියා සහ නෝනා නුවර පලාතේ පදිංචි වී සිටියෝය. වටපුලුවේ ය. පොල්ගොල්ල ඩෑම් එක අසබඩ පට්ට ලස්සන තැනකය. අසාර්ථක වූ ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් මාස කීපයක් නුවරට වී නාස්ති කළ ඒ කාලය අපේ ජීවිතවල සුන්දරම කාලය කිව්වත් නිවැරදිය … කරන්නට විශේෂ වැඩක් නොතිබූ ඒ දිනවල අප දෙදෙනා කේන්දර කාරයන් පසු පස ගියේ උන් කියනා බොරු අහන්නය. ඒ අතර ප්‍රසිද්ධ හාමුදුරුවරු මෙන්ම බොහෝ මැති ඇමතිවරුන්ගේ විශ්වාසවන්ත දෛවඥයෝද උන්නෝය. කොච්චියා ගේ නෝනා ජ්‍යෝතිශය සම්බන්ධයෙන් යම් අධ්‍යයනයක් කළ ඇත්තියක් ය. ඒ ගැන ඇති විශ්වාසයක් නිසා නොවන මුත් විෂයයක් ලෙස එය දැන ගනු පිණිසමය. ඈ ඒ සඳහා ඉන්දියාවට පවා ගොස් ඇත්තේ නිවැරදි ලෙස ඒ දැනුම ග්‍රහණය කර ගන්නටය.වෙළඳපොළේ අලෙවි වන ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ගේ ගේ දැනුම ගැන මෙන්ම ඔවුන් සිය දැනුම ප්‍රායෝගිකව පරිශීලනය කරන ආකාරය පර්යේෂණයට භාජනය කිරීම අපේ අරමුණ වූයේය.
අප මුලින්ම ගියේ ඩී එස් සේනානායක වීදියේ, ට්‍රිනිටි කොලීජිය ඉස්සරහට වෙන්නට තිබූ තැනකටය..මැදි වියේ වැදගත් පහේ මහත්තයෙක් කොම්පියුටරයක් භාවිතයෙන් සිය ජ්‍යෝතිශ කටයුතු කරගෙන යන්නේය. එතන වැඩ හරි වේගවත් ය. කොම්පියුටරය නිසා වෙලාව හරියට දුන්නොත් කේන්දරය නම් තිතට හරි ය. වැඩි විස්තර කථනයකට වෙලාව ගන්නේත් නැත්තේය..පොඩි ඩිස්පැන්සරියක් වගේය...කට්ටිය පෝලිමේ ඉන්නා නිසා සියලු විස්තර සහිත ප්‍රින්‍ටවුට් එක පාරිභෝගික අවශ්‍යතාව ඉටු කරන්නේය. මිනිහා ළඟට වැඩියෙන් එන්නේ පොරොන්දම් බලන්න ටය. කොම්පියුටරය විසින් දෙන්නාගේ ගැලපීම ප්‍රතිශත වශයෙන් දක්වන්නේය. එක් එක් පොරොන්දම සියයට කීයක් ගැලපේද යන්න බලා ගන්නට පුළුවන් ය. කොච්චියා හා නෝනා ද අතින් කයිට් වී එය බලවා ගත්තා මතකය. හොඳකට තිබ්බේ ඒ අංකල් බොරු නොකීමය..හැබැයි කේන්දරයක් ගැඹුරින් විග්‍රහ කිරීමට තරම් දැනුමක් නම් උන්දෑට තිබුණේ නැතිය.
ඔය කාලයේ බොහෝ දින වල හැන්දෑවට අපි ලොකු අප්පච්චිලාගේ දිහෑ යන්නේ ෆ්ලෝටර් ගසන්නටය.. ෆ්ලෝටර් කියන්නේ කාඩ් කුට්ටමෙන් කරනා රමී පන්නයේ සෙල්ලමක් බව කොච්චියා මීට පෙරද කියා ඇත්තේය. ඔය යන අතරේ ලේවැල්ල යක්ගහපිටිය පාරේ වෙල් යායක් අයිනේ පොඩි කඩමණ්ඩියක අටවා ගෙන ඇති ජ්‍යෝතිශ සේවා බෝඩ් ලෑල්ලක් දුටු අපි වහාම තීරණය කළේ ගිහින් බලමු කියාය. ඇතුලේ උන්නේ බුලත් විටක් හපමින් හිටි උඩු රැවුලක් සහිත කාලවර්ණ පිරිමියෙකුත් පැහැපත් සරාගී පෙනුමැති ගැහැනියකුත් ය. මිනිහා ජ්‍යෝතිශවේදියා වූ අතර ඒ ගැහැණිය සහායිකාවය. උපන් වේලාව අසා ගෙන මිනිහා එවේලේම ගණන් සාදා මගේ කේන්දරය හදා ගත්තේ ගෙඩි පිටින්ම වැරදියටය. ඉන් නොනැවතී මා ඉපදී ඇත්තේ වටිනා යෝග රැසක් සමග බවත් පැවසුවේය..ඇත්ත නම් කොච්චියාට ඇත්තේ කුජචන්ද්‍ර යෝගයක් හා ශනිචන්ද්‍ර යෝගයක් ය...මේ දෙකම නොම්මර එකේ මංගල දෝෂ ය.
තැන්නෙකුඹුරේ ප්‍රසිද්ධ පන්සලක ස්වාමීන්වහන්සේ නමක් ද ඉතා දක්ෂ ලෙස වෙලාව බලන බවත් ප්‍රසිද්ධ දේශපාලකයන් රැසක් එහි යනෙන බවත් ආරංචි වී වරක් අප ගියේ එහිමියන් බැහැ දැකුමටය. අපට කේන්දර නොමැති බවත් අලුතෙන් සාදා ගතයුතු බවත් පැවසූ කල උන්නාන්සේ කීවේ උපන් වෙලාව ලියා මුදල් දී යන ලෙසත් පසු දින පැමිණෙන ලෙසත් ය. නියමිත ලෙස දෙවෙනි දින උන්නාන්සේ හමු වූ අතර බොහෝ බැරෑරුම් ලෙස කේන්දරය විග්‍රහ කර දුන් නමුත් නවාංශකයේ ගණනය කිරීම් තදබල ලෙස වරද්දා තිබුණේය. ග්‍රහයෝ හිටියේ කොටු පැනලාය. එනම් අනුන්ගේ කොටු වලය.
එක් අසල්වැසි කාන්තාවක් අපේ නෝනාට තවත් ඔත්තුවක් දී තිබුණේය. ඒ හල්ලොලුව පැත්තේ ගෑනු කෙනෙක් ගැනය. උන්දෑ කිව්වොත් කිරිගහට ඇන්නා වගේ ය. නොම්මර අරගෙන පෝලිමේ ඉන්න ඕනෑය...කියාද ඒ පණිවිඩය දුන් තැනැත්තිය පවසා තිබ්බාය. කොච්චියා හා නෝනා දිනක් උදෙන්ම අවදිවී අදාල ස්ථානය වෙත ගියේ පෝලිම් අරහං නිසාය..භක්තියෙන් යන එකාට පෝලිම පවා සැප වුනාට අපි යන්නේ ආතල් ගන්න නිසාම ඒ ආතල් පෝලිම් වල ලැගලා කඩා ගන්නට අපට උවමනා වූයේ නැතිය. ඒ යද්දීත් කීප දෙනෙක් එහි පැමිණ සිටි අතර අදාල උත්තමාවිය පැමිණියේ ප්‍රමාද වීය. කුසගින්නේ හිටි අප දෙදෙනා ළඟ කඩේකින් ක්‍රීම් බනිස් කෑවා මතකය. අපේ වාරය ආ අතර හුඹහක් වැනි කාමරයක සිටි ඈ සිටියේ ඔසරියකින් සැරසිලාය. ඈත ගමක කුඩා පාසලක විදුහල්පතිනියක සිහි ගැන්වූ පෙනුමක් තිබුණද ඇගේ මුහුණේ සිනා පොදක් වත් මා නම් දැක්කේ නැතිය. උපන් වෙලාව දුන් පසු පහුවදා එන ලෙස දැන්වූ ඇය ඊලඟ දවසේ පැවසුවේ තදබල අපල ඇති නිසා අප දෙදෙනාම යන්තර පැළඳ ගත යුතු බවය. ඒ සඳහා ඇඩ්වාන්ස් එකක් ද එතුමිය ඉල්ලුවේ අපේ ඒ ගැන අදහස විමසන්නටත් කලින් ය. කොච්චියාට පෙර කට ඉස්සර කළ නෝනා කීවේ සල්ලි ගෙනාවේ නැති බවත් හෙට එන්නම් කියාත් ය. අපේ දුරකථන අංකය ඉල්ලාගත් ඇගේ සහායකයෙක් දින කීපයක්ම අප අමතා මතක් කළේ මුදල් සමග පැමිණෙන ලෙසය.
අවංක සහ දක්ෂ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ද හමු නොවුනා නොවේය. එසේ හමු වූවෝ සැඟවුනු චරිතය. ජ්‍යෝතිශයෙන් හම්බ කර ගැනීම අරමුණ නොවූ වෙනත් රැකියා හා කර්මාන්ත වල නියැලෙන්නෝය. අහම්බයෙන් මෙන් හමුවූ එක් අයෙක් සිටියේ ලොකු අප්පච්චිගේ ගෙදරට හූවක දුරින් ය. කුඩා කන්දක් පහල වූ ඔහු තුල සුපැහැදිලි දැනුමක් වීය. හෙතෙමේ නමින් හුලංගමුවය..දෙගල්දොරුව පන්සලට කිට්ටුවෙන් ය. කොච්චියාගේ කේන්දරය බැලූ බහුතරයක් දක්ෂයන් මෙන්ම හුලංගමුව මහතා ද අපහසුතාවට පත් වුණේය.. කොච්චියාගේ උප්පත්ති කේන්දරයේ ඇති මංගල දෝෂ සලකා බලන කල විවාහය කඩාකප්පල් වන බව නොකියාම බැරිය. සතුටින් තමා වෙත ආ ජෝඩුවකට කටක් ඇර මේ බව කියන්නේ කෙසේදැයි ජ්‍යෝතිශවේදියා ඇඹරෙන්නේය. හුලංගමුව ගේ දක්ෂතා ගැන අසා එකල ඔහුගේ සේවය ලබා ගත් අය අතර එවකට නවක නිළියක්ව සිටි නදීශා හේමමාලි ද සිටියාය. ඈ ගැන කවර මතයක් මා දැරුවත් මහා බලගතු පිරිමින් සුමනදාසලා පස්සේ යද්දී සිය දෛවඥයා ලෙස සැබෑ දැනුමකින් යුත්තෙක් තෝරා ගැනීමට තරම් ඈ දක්ෂ වූවාය.
අනාවැකි කියනවා නම් කියන්නට ඕනෑ නොස්ට්‍රඩාමුස් වගේය...අවුරුදු ගානක් ගිහිල්ලාත් එකින් එක සැබෑ වෙන විදියටය. නොස්ට්‍රඩාමුස් කියලා කිව්වාට මිනිහාගේ නම “Michel de Notre Dame” ය. ප්‍රංශ ජාතික නොස්ට්‍රඩාමුස් ගේ මුල්ම ලොව කැළඹූ අනාවැකිය වූයේ ප්‍රංශ රජු වූ දෙවෙනි හෙන්රිගේ කෲර මරණයයි. නැපෝලියන් මෙන්ම හිට්ලර් ගැනත් චාර්ල්ස් ඩ් ගෝල් මෙන්ම ඩයනා සහ කෙනඩි ගැනත් පමණක් නොව 9/11 ප්‍රහාරය සහ හිරෝෂිමා නාගසාකි බෝම්බ ගැනත් නොස්ට්‍රදාමුස් දිවැස් වැකි කියා ඇත්තේය. හැබැයි ඒ ද කිසිම දැනුමක් හෝ ශාස්ත්‍රයක් මත පදනම් ව නොවේය. ඒ නිසා මිනිහා ගෙඩි පිටින්ම අනාගත වක්තෘ කෙනෙක් ය.
නොස්ට්‍රදාමුස් හා ඔහුගේ ලෝ පතල "Prophecies" |
ලංකාවේත් ඔය වගේ අනාවැකියක් කීවේ කොත්මලේ ගණිතයා ය. කොත්මලේ ගණිතයා සහ දොඩම්පේ ගණිතයා ගැනත් අප්‍රමාණ කතා සිංහල ජනප්‍රවාද වල ඇත්තේය.විවිධ බ්ලොග් කාරයෝ ඔය කතන්දර පට්ට ගසා ඇති නිසා කොච්චියා ඒවා කියන්නට යන්නේ නැතිය. නැකැත් තරුවක් දැකීමෙන් පසු වරෙක පොන්නා නැකැත්තා අපූරු ප‍්‍රකාශයක් කළේය. අනාගතයේ කොත්මලේ ඔයේ දෙපස පිහිටි තිස්පනේ කන්දත් කඹදොර කන්දත් එකක්ව රටට ගඟ උතුරු දෙසට ගලන්නට පටන්ගන්නා බවත් ඉන් රටේ අභිවෘද්ධියක් ඇති වන බවත් නැකැත්තා පවසා ඇති බව ජනප්‍රවාදයේ එන්නේය.ඉන් වසර ගණනාවකට පසුව ගඟ හරහා වේල්ලක් බැඳ කඳු දෙක යා කොට ගඟෙහි ජලය අධිපීඩන උමඟකින් උතුරු දෙසින් පිහිටි බලාගාරය තෙක් ගෙන යන ලෙසින් කොත්මලේ ජලාශය ඉදි වූ අතර ජලාශය ඉදිකිරීම නිසා නිසැකවම රටේ අභිවෘද්ධියක් ඇති විය. අනාවැකියෙන් අවුරුදු ගණනාවකට පසු එය සත්‍යයක් වී ඇත්තේය.
කොච්චියා ජීවිතයේ කිසිම කලෙක ජ්‍යෝතිශය සිය ජීවිතයට අදාල කර ගත්තේ නැතිය. එය හැදෑරීමක් වනුයේ එතුල ඇති දැනුම් සම්භාරය නිසාවෙන් මිස අනාවැකි කීමේ හැකියාවක් නිසා නොවේය. ග්‍රහ පිහිටීම් ඉතා සංකීර්ණ වන අතරම ඒවා යේ පිහිටීම් වල සිදුවන වෙනස් වීම් සෑම තත්පරයක් පාසා සිදු වෙන්නේය. සෑම ග්‍රහ වස්තුවක්ම චලනය වනුයේ එකිනෙකට සාපේක්ෂවය. එසේ චලනය වන ග්‍රහ වස්තූන් පාදක කර ගෙන අනාගත වාක්‍ය කීම විහිළුවක් මය. උප්පත්ති කේන්දරය මත පුද්ගලයෙක් ගේ චරිතය හා සම්බන්ධයෙන් විග්‍රහ කිරීම කොච්චියා පිළිකෙව් කරන්නේ නැතිය. මන්ද ඒ මොහොත define කල හැකි නිසාය...අදාල මොහොතේ සියලු ග්‍රහයන්ගේ පිහිටීම ද ජ්‍යෝතිශය ට අනුකූලව ඒවායේ බලපෑම් ද පැහැදිලි කළ හැකි හෙයින් ය. නමුත් ජ්‍යෝතිශය තුල සාමාන්‍ය මනුස්සයා බලාපොරොත්තු වෙන්නේ අනාගතය ගැන අනාවැකි මිස අනෙකක් නොවේය. ඉතින් වෙළෙඳපොළ ඇත්තේ එතනය..අපේ දෛවඥයෝ cater කරන්නේ එතනටය.
සුමනදාස පමණක් නොව මෑත කාලයේ චාටර් වූ දෛවඥයන් අතර මංජුල පීරිස් සහ ඉන්දික තොටවත්ත වැන්නෝද තවත් කවුදෝ ඍෂිවරයක්ද සිටියෝය. මොනතරම් පීචං වූවත් මේ කිසිවෙකුගේ වෙළඳපොළ වටිනාකම අබමල් රේණුවකින් වත් පහත නොවැටී තබා ගැනීමට අපේ රටේ ජහමනයා මනා සේවයක් කරන්නෝය.ඉන්දික තොටවත්ත වරක් රූපවාහිනියෙන් කීවේ මිනිහාට ලැබුණු දිව්‍ය වරමක පිහිටෙන් ඕනෑම වසරක ඕනෑම දවසක් ඉරිදා ද සඳුදා ද ……. ලෙස කිව හැකිය. ඒ සඳහා ඇත්තේ සරල mathematical formula එකක් මිස අනෙකක් නොවේය. මනෝමයෙන් ගණන් සෑදිය හැකි ඕනෑම කෙනෙකුට ෆෝමියුලා එක තිබේ නම් තත්පර දහයක් ඇතුලත ඔය මැජික් එක පෙන්නන්නට හැකිය. කොච්චියාට නම් ඕක ඇත්තෙන්ම ටොයිස් ය. භයානක ඇත්ත නම් ඉන්දිකයා ඔය මැජික් එක පෙන්නා සිය මාකට් එක සෑහෙන්න expand කර ගත්තේය. වරද උගේ නෙවේය….ජහමනයා ගේ මය.
පාන් ගෙඩියක් හාරා කෝටිපතියන් බිහි කරනා ආසිරි වනිගරත්නයෝද මිනිසුන් අතර දෙවියෙක් ය. පාන් හෑරූ අනුගාමිකයෝ කෙසේ වුවත් ආසිරි නම් අද වන විට අග්‍රගන්‍ය කෝටිපතියෙක් බවට පත්වී අවසන් ය..මිනිහා හෑරූ එක පාන් ගෙඩියක් වත් නැතිය..පොර හෑරුවේ ලංකාවේ බුද්ධිමත් යැයි කියා ගන්නා ශ්‍රේෂ්ඨ සිංහල ජාතියේ මොළ පමණක්ය. සිංහල මොළ යැයි කීවේ ෆෙන් ශුයි ආතල් ගන්නට මුසල්මානුවෝ නොයනා බව කොච්චියා හොඳින්ම දන්නා නිසාය. අති මහත් බහුතරය සිංහල බෞද්ධයෝමය.
ප්‍රශ්න සහ කඳුළ විකිණීම තරම් හම්බ කර ගැනීමට වෙනත් මගක් නැත්තේය. මිනිසුන් තුල ඇති බය සමග සෙල්ලම් කිරීම කියන්නේ සල්ලි උල්පතක් ය.බයේ ඉන්නා එකා හදන්නේ බය නැති කර ගන්නට නෙවේය...තව බය වෙන්න ක්‍රම පාදා ගන්නා එකය. ආගම් වල දර්ශනය ජහමනයාට වැඩක් නැතිය...ඒවා උගන්වන්නේ තමාව ශුන්‍ය කර ගන්නටය...මිනිස් සන්තානය එසේ නොවේය...හදන්නේ සිය වටිනාකම වැඩි කර ගන්නටමය...ඒ තෘෂ්ණාවමය...බිය උපදින්නේ එයින් ය. ඒ බිය වැඩි කර පෙන්වා ඉන් ගොඩ යන්නට බලන් ඉන්නා ඉහත කී ආකාරවල චරිතයන් සීරුවෙන් ඉන්නේ ඔහේලා අපි වගේ මැට්ටෝ උන් වෙතට එන කල්ය.