Thursday, September 29, 2016

කුරුණෑගල නංගිලා , තාත්තාගේ නෑයෝ සහ තාත්තීට තාත්තා කීම

අද කියන්නට යන්නේ නෑ කතන්දරයක්ය. කොච්චියාට නෑයන් ගැන ඇත්තේ මැදහත් සිතක්ය. අද කියන්නට යන්නේ පිය පාර්ශ්වයේ නෑයන් ගැනය. ඉන් බහුතරයකට මාව දිරවන්නේම නැතිවා මෙන්ම මටද එසේමය.දිරවීම සහ නොදිරවීම කියන්නේ කැමැත්ත හෝ අකමැත්තම නොවන්නේය.

කොච්චියා කාටවත් වඳින්නේ නැත..ඉදලා හිටලා ගුරුවරයෙක් ට වැඳ ඇති නමුත් ඉස්කෝලේදී අපට බුද්ධ ධර්මය ඉගැන්වූ ස්වාමීන්වහන්සේ ට නම් වැන්දේම නැත. උන්වහන්සේ ට අප කීවේ කිහිල්ලේ මයිලානන්ද කියාය. දැන් මගේ චාරය ගැන කිසිවෙකු කෝප විය යුතු නොවන්නේ මේ මගේ කතා නිසාය. මා ලියන්නේ කුපාඩි මා ගැන මිසක චරිතවත් අනෙකෙකු ගැන නොවන නිසාය. අකමැත්තෙන් හෝ මා වැන්දේ තාත්තාගේ නෑයන්ටය..ඒද ඔව්නට ඇති ආදර ගෞරවයක් නිසා නොව තාත්තාට ඇති ආදරය නිසාවටමය. 

"පොඩි මල්ලි ළමයි හදලා තියෙන හැටි හරි සවුත්තුයි" යැයි,

නැන්දලා හිතනවාට එදා මම අකමැති වූ නිසාය. අද මම එය තකන්නේ නැත්තේ වැඩිහිටි මගේ චරිතයෙන් ඔවුහු මගේ තාත්තාව විනිශ්චය නොකරන නිසාය. අද ඔවුන් හිතන්නේ..

"අනේ අර රත්තරන් පොඩි මල්ලිගෙ ලොකු එකාට ගිය කල" කියාය. 

මට එහි වගේ වගක් නැත්තේ තාත්තාට දෝෂාරෝපනයක් එල්ල නොවන නිසාය.. මේ කිව්වේ ලොකු නැන්දා ගැනය , තාත්තාට වැඩිමල් අනෙක් නැන්දා නොහොත් ඉඳුරුවේ නැන්දාට ඔය කිසිවක් අදාල නැතිය..තමන්ගේ දරුවන්ගේ ජීවිත වලට පවා කිසිදු බලපෑමක් නොකළ ඇය අදටත් දරුවන්ට බරක් නොවී තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන ඉන්නවාය.ඉඳුරුවේ නැන්දාගේ ස්වාමි පුරුෂයා අශෝක මාමාය. උන්දෑ කලකට ඉහතදී මහණ දම් පුරනු වස් ආරණ්‍යගත වුනේය. නිවෙස ඉදිරිපිට ග්‍රොසරියක් පවත්වාගෙන යන නැන්දාට නම් ඉන් සිදු වූයේ වාසියක්මය. ඒ මොකද කියනවා නම් නැන්දා නොමැති වෙලාවට කඩේ වැඩ බැලූ මාමා එහි සිට දාන පාරමිතාව පිරූ නිසාය. අශෝක උපාසක තැන ගමටම පිනට බඩු දී තිබුණේය.

අශෝක හාමුදුරුවෝ ආච්චිගේ මලගමට වැඩ බණක් දෙසූහ. බණ අමාරුවෙන් නතර කර ගත්තේ හිතා මතාම එකා දෙන්නා බැගින් නැගිට යාමෙන්ය. මතකේ හැටියට මුලින්ම නැගිට්ටේ උන්නාන්සේගේ වැඩිමල් දියණිය වූ දම්මි අක්කාය. කිසිවෙකුගෙන් බණකට ආරාධනා නොලබන අශෝක හාමුදුරුවෝ ස්වේච්ඡාවෙන් එන්නට පුලුවන් තැනකදී උපරිම ඵල නෙලා ගන්නට තැත් කල අයුරු එබණ ඇසූ කොච්චියා අවබෝධ කර ගත්තේය.

ලොකු නැන්දා ට මගේ සංගිස්කුරුතිය කිසිදා ඇල්ලුවේ නැත.. මගේ විවාහයට සතියකට පෙර සිය මුණුබුරකු සමග ඈ අපේ ගෙදර ආවාය..ඒ අප විසින් ඒ දරුවා පේජ් බෝයි කෙනෙක් ලෙස තෝරාගත් නිසාය..කොල්ලාගේ සූට් එක ෆිටෝන් කරන්නනටය. මගේ කම්පියුටරයට එබුනු ඈ ඇතැම් පින්තූර දැක කීවේ

 "මේකේ තව මොනවා බඳින්නද" කියාය..

ඈ ඒ දැක්කේ අප දෙදෙනා සාදයකදී වැලඳගෙන සිටි පින්තූරයක් බලාය.. මේ කිව්වේ කොච්චියාගේ පළමු විවාහය හා ඒ පරණ නෝනා ගැනය.නැන්දා එසේ කියද්දී මට පුකෙනුත් හිනා ගියේය...පුක යැයි කීවේ එය කුනුහබ්බයක් නොවන බව බ්ලොග් ලෝකේ ඇතැම් පොරවල් පුන පුනා ඔප්පු කර ඇති නිසාය..එසේ නොවුනත් මට හිතුනොත් එසේ ලියනවාය..

ලොකු නැන්දා විතරක් නොව පොඩි නැන්දාද  උඩ දමාගෙන ඉන්නේ කුරුණෑගල නැන්දා සහ ඇගේ දරුවන්‍ ය.කුරුණෑගල  නැන්දා, මාමා සහ දරුවන් ඉන්නේ ඇමරිකාවේය. නැන්දාගේ ලොකුදුව වන ඒ නංගී මා හා ඉතා කිට්ටුවෙන් සිටියාය. වරක් නැන්දා නොමැතිව මාමා සමග නිවාඩුවකට ලංකාවට ආ නංගී ඇයව නයිට් ක්ලබ් එකකට ගෙනයන ලෙස මගෙන් ඉල්ලුවාය..සෙල්ලක්කාර තාරුණ්‍යය  හොදින් විඳ පුරුදු ඈ ලංකාවේ නයිට් ක්ලබ් එකක් දැක ගැනීමේ කුහුලෙන් යුතු වූවාය.එකල හැම සිකුරාදාම පාහේ නයිට් ක්ලබ් යන මා එක පයින් ඇයට "හා" කිව්වේය. රෑ තිස්සේ මා සමග දුරකතනයේ එල්ලී සිටිනා ඇය හා මා ගැන අවිවාහක ගැහැනියක් වන මාමා ගේ නැගණිය වෙනස් කතාවක් ගොතා මා වැනි කුපාඩියෙක් ඇගේ ආශ්‍රයේ සිටීම නුසුදුසු බැව් නැන්දාට කිව්වාය. එය අසා නිකන් නොසිටි නැන්දා සිය සැමියාගේ සොයුරිය සමීකරණයෙන් ඉවත් කර එය ලොකු අම්මා පිටින් යැව්වාය. 

ලොකු අම්මා කියන්නේ මගේ තාත්තා ගේ අයියාගේ නෝනාය....මා ඉතා ආදරය කල තැනත්තියක් වූ ඇගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ මා වහාම ඇගෙන් එය විමසුවේ වයසේ ආවේගයට නමුදු එය නංගීට බැනුම් ඇසීමට සිදුවීමක් දක්වා දුර දිග ගියේය. ලොකු අම්මා එසේ කියා ඇති බවත් ඒ බව මට නොකියන ලෙසත් නංගීට දැනුම් දී තිබුණුමුත් ඈ එපා කියද්දී මා ලොකු අම්මා ගෙන් ගේම ඉල්ලන්නට වීය. ලොකු අම්මා පමණක් නොව ඇගේ දුව වූ චමිත්‍රි අක්කාද ඔවුන් ඊට සම්බන්ධ නැති බව ඔප්පු කර පෙන්නුවෝය. චමිත්‍රි කියන්නේ මගේ බොක්කෙත් බොක්කක්ය. අපි දෙදෙනා එකල රට වටේ රස්තියාදු ගැසුවෝය..ඈ ගැන කියන්නට කතා ඕනෑවටත් වඩා ඇත්තේය.

කෙසේ නමුත් එතැන් පටන් මගේත් කුරුණෑගල ලොකු නංගිගේත් හිතවත්කම නැත්තටම නැති වුණේය. මගේ මුහුණවත් ඈ ඉන් මතු නොබැලුවාය. එක්කෝ ඇය මට අතිශයින් ආදරය කර මා ඈ එපා කී දේ කල නිසා මා හා උරණ වූවාය, එසේත් නොවේනම් ඇගේ නැන්දා විසින් කියූ පරිදිම මා ජඩයෙක් සේ සලකා මා හලා දැම්මාය. ලොකු නංගී පමණක් නොව කුඩා කාලයේ ආදරයෙන් සුරතල් කළ පොඩි නංගී පවා මා සමග ඉන් පසු වදනක් හෝ නොදෙඩුවාය.

ලොකු නැන්දා හා ඉහත නංගිලා ගැන මතකෙට ආවේ මුහුණු පොතේ පින්තූර වගයක් දැකලාය. නංගිලා දෙන්නාම බැන්දේ සුද්දන්ය . ඇමරිකන් කාරයන්‍ ය. උන්ගේ මූනු පොත් අපි දැක ඇතුවාට ලොකු නැන්දා දකින්නට නැතුව ඇතිය..දැක්කත් මොකෝ කොල්ලෝ ඇමරිකන්ය. මම ඉඹලා තිබ්බේ ලංකාවේ එකක්‍ ය.. 

තාත්තාගේ නෑයන් ගැන කියද්දී තව චරිත මහ ගොඩක් ඇත්තේය. නීල් බාප්පා එනම් තාත්තාගේ මල්ලී ඉන්නේ අලුත්ගමය. අසාධාරණය පෙන්නන්නට බැරි බාප්පා සීයා සමග පවා ගේම ඉල්ලා ඇත්තේය. තාත්තාගේ තාත්තා වූ ඉඳුරුවේ සීයා කියන්නේ නාහෙට අහන්නේ නැති ගණන්කාරයෙක්‍ ය. මුදලාලි කෙනෙක් වූ සීයා වරක් අපේ තාත්තාට නිකරුණේ තැලූ ඉස්කෝලේ මහත්තයෙකුට කඩේ තිබූ රාත්තල් පහේ පඩියකින් නෙලුවා කියා කිව්වේත් ලොකු නැන්දාය. එහෙව් සීයාගෙන් ගේම ඉල්ලන්නට කිසිදු දරුවෙක් නොගිය අතර සීයාට නොදෙවෙනි චරිතයක් වූ බාප්පා වැඩ කළේ කලාප අධ්‍යාපන කාර්‍යාලයේ වූ අතර දූෂිත නිලධාරීන්ට පරාල ඇණයක් ම වීය. 

මහවැලියේ වැඩ කල ලොකු අප්පච්චී මෙන්ම ඉඳුරුවේ නැන්දාගේ ලොකු පුතා වූ සුදු අයියා ද කොච්චියාගේ ජීවිතයේ විශේෂිත චරිතය. ආනන්දයට ගිය සුදු අයියා කොළඹ නැවතී හිටියේ බෝඩිමකය. සති අන්තයේ මිනිහා අපේ ගෙදර එන අතර එකල සිකුරාදා හවස කොච්චියා සිටියේ මග බලාගෙනය. නුගේගොඩ ටියුෂන් ඉවර වී එන සුදු අයියා හැම දාමත් කියන්නේ රෝයල් එකේ උන්ට ගහපු හැටිය. අයියා වීරයෙක් උනත් ගුටි කෑවේ අපේ ඉස්කෝලේ අයියලා වීම ලැජ්ජාවකි. අද සුදු අයියා ඉන්නේත් ඇමරිකාවේය. ජීවිතයේ ආයෙ කවදා ඔහු හමුවේදැයි දන්නේද නැත. ඔහුගේ දරුවෝ මා හා මූනුපොතේ චැට් කරන්නෝය.. ඔවුහු අයියාගේ කනපිටය. තවම 18 පිරී නැති උන් අන්තවාදියෝය . සිංහල බෞද්ධයෝය. මහින්ද රාජෝත්තමයාණන්ගේ ඩයස්පෝරාවේය.  

ලොකු අප්පච්චී කියන්නේ 71 කැරැල්ලේ බැහැලාම උන්නෙකි. කැලේ හැංගී බේරුණු චේගුවේරා කාරයෙකි. අද ජෙප්පන්ව ගේට්ටුවෙන් මෙහාට වද්දා නොගන්නා ලිබරල් වාදියෙකි.මහවැලියේ උන් කාලයේ හිටං සමග පවා මචං කියූවෙකි.විනෝදකාමී රසවතෙකු වන ලොකු අප්පච්චී මමත් නෝනාත් නුවර ජීවත් වූ සමයේ පියෙකුටත් වඩා අපට බොක්කක්ම වුවේය.ඔහුගෙන් එකල උගත් ෆ්ලෝටර් ක්‍රීඩාව ඕමානයට ගෙනා අප එය මිතුරන් අතරේ පවා බෝ කර ඇත්තේය.. මොලය අධිකව වෙහෙසවන ෆ්ලෝටර් කියන්නේ රමී පන්නයේ කාඩ් සෙල්ලමක්ය.ඒ ගැන පෝස්ට් කීපයක්ම ලියන්නට ඉන්නා නිසා වැඩි විස්තර දැනට ඕනෑ නැත.

පොඩි නැන්දා ගැන මේ මොහොතේ ශුන්‍ය වූ හැගීමක් ඇතත් බොහෝ සුන්දර මතකයන් ඇති බැවින් ඈ ගැනද කතන්දර ඉදිරියේදී ලියවෙනවාය. ඈ අවිවාහකය. මගේ ළමා කාලයේ සෑම පාසල් නිවාඩු කාලයකම ගුරුවරියක වූ ඈ අප බලන්නට පැමිණියාය.ඒ එන්නේ මා කන්නට ආසා ෆෘට් කේක් එකකුත් අරගෙනය. ඇගේ ඇඳුම් බෑගය කුඩා නම් අපට දුකය. ඒ ඇය ටික දිනකින් යන බැව් දන්නා නිසාය.

අපේ තාත්තා විතරක් සිය සොයුරු සොයුරියන් සැමටම එක සේ සලකන්නේය. ඔහුගේ ඒ උතුම් ගුණයට මා සැමදා ගරු කරන්නේය. එහෙත් ඔවුන් එකිනෙකාට එසේ සලකගන්නේ නැති අතරම අපේ තාත්තා ඔවුන්ගේ නිවෙස් වලට දුක සැප බැලීමට ගොස් ඇති වාර ගණනින් පහෙන් එකක් වත් ඔය කිසිවෙක් අපේ ගෙදර ඇවිල්ලාද නැත.ආච්චී මළ කල බොහෝ හැඬූ ඔවුහු අතර අචලව සිටියේ අපේ තාත්තාය. තාත්තාත් මමත් මගේ බිරිඳත් සීදුවේ සිට අම්බලන්ගොඩට ගොස් ආච්චීව දොස්තර ලගට ගෙන ගොස් පසුව රෝහල් ගත කරන තුරුත් ඒ කිසිවෙකුගේ වාහන හෙල්ලුනේ නැත්තේය.

ආච්චී මියෙන තුරු සෑම මසකම පෝය දින තාත්තා ඈ බලන්නට ගියේය. වරෙක් ආච්චී නුවර ද අම්බලන්ගොඩ ද ඉඳුරුවේද විටෙක කුරුණෑගලද සිටියාය. අපේ තාත්තා සිය රියදුරාත් සමග හෝ මා හෝ මල්ලී සමග හෝ සෑම මසකම පෝයදා ඒ ගමන ගියේය. එසේ ඔහු නොගිය එකම පෝයක් මට මතකය. ඒ දෙසැම්බරයකි.එදා අපේ පල්ලියේ කැරොල් ගායනා මෙහෙයය. අපේ අම්මා පල්ලියේ ඕගන් වාදනය කල අතර මල්ලි සහ නංගි දෙදෙනාම කැරොල් ගායනාවලට සහභාගි වූවෝය. එය නරඹනු වස් තාත්තා සිය ගමන පසු දිනට කල් දැම්මේ ය. ඒ 2004 දෙසැම්බර 26 වෙනිදාය..සුනාමිය එන විට තාත්තා ඉන්නට සිටියේ ගාලු පාරේය.වාසනාවකට කැරොල් මෙහෙය නිසා ඔහු සිටියේ සීදුවේ අපේ ගෙදර සාලයේ ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් තරගය බලමින්ය.නීල් බාප්පලා මෙන්ම ලොකු නැන්දලාද සුනාමියෙන් බැට කෑවෝය.බාප්පාගේ දුවලා තිදෙනා සුනාමියෙන් පසු මසක් පමණ උන්නේ අපේ ගෙදරය. කෙලින් වැඩ කරන කෙල්ලන් වූ ඔවුන් ගැන්ද පසුව ලියවෙනවා ඇත.

සුනාමියෙන් පසු අතුරුදන්වූ නෑයන් හෙවීම ඇතුලු කතා කීපයක්ම ඉදිරියේදී ගෙනෙනවාය.මේ කතාවේ ලියන්නට නොයෙදුනු තවත් කතා කල යුතුම චරිත තියෙනවාය. කොච්චියා ඒ ගැනත් පසුවට ලියන්නට ඉන්නවාය.
එහෙමකට ආරම්භයක් හෝ අවසානයක් නොමැති අද කතාව මෙසේ ඉවර වෙනවාය.

සටහන :
දන්නා කාලයේ සිට තාත්තාට මා ඇමතුවේ තාත්තී කියාය. එහෙම ලියන එක හරි නැති නිසා පොඩි කාලයේ තාත්තා ගැන රචනාවක් ලිව්වාට පසු තාත්තී ගැන තාත්තා ලෙසින් වාචිකව හෝ ලිඛිතව මේ ප්‍රකාශයක් කළාමය.ඒ නිසා මේ දැනුත් මොකක්දෝ නුහුරු හැගීමක් දැනෙනවාය.

Monday, September 26, 2016

ඕමානයේ සිකුරාදා - උප්පුමා සමග ෆිල්ටර් කෝපි

කොච්චියා වර්තමානයේ ජීවත් වෙන්නෙ ඕමානයේ. අවිවාදයෙන්ම ගල්ෆ් කලාපයේ තියෙන සුන්දරම සහ මිත්‍රශීලී කම අතින් ඉතා ඉහලම රටේ. ඕමානය ඇතුලු සියලු ගල්ෆ් රටවල් සති අන්තය ලෙස සලකන්නේ සිකුරාදා සහ සෙනසුරාදා හෝ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා. මමත් නෝනාත් ඕමාන් ආ මුල් මාස හයක වගේ කාලයේ අපේ සති අන්තය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ලෙසට තිබුනත් පසුව එය සිකුරාදා සහ සෙනසුරාදා බවට නිවේදනය කරනු ලැබුවා. සියලු මුස්ලිම් බැතිමතුන් සිකුරාදා (ජුමා) පල්ලි යාම අනිවාර්යයෙන් කරන්නක්. සංස්කෘතීන් දෙස බලා රසවින්දනය ලැබීමට හුරුවූ මට සිකුරාදා දවල් රොතු බුරුතු පිටින් පල්ලි යන බංගාලි ඉන්දීය හා පාකිස්තාන ජාතිකයනුත් ඕමාන ජාතිකයිනුත් දැකීම ප්‍රිය උපදවන්නක්. සෑම අවන්හලකම පවා එදිනට විශේෂ බිරියානි බතක් ඉදෙනවා. සිකුරාදාව තමයි ඔවුන්ගේ විශේෂ දවස.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ  ඕමානයේ බහුතරයක් නිවෙස් වල රාත්‍රී සාද  පැවැත්වෙනවා. මතට ප්‍රිය කේරළ ජාතිකයන් වගේම ලාංකිකයන් එහි මුල් තැන් ගන්නවා.ලාංකික ප්‍රාමාණ සමීක්ෂකයන් රැසක් සිටින මස්කට් හි විවිධ තැන් වල පැවැත්වෙන සාදයන් ඉතා රසවත්. අපේ නිවසේත් බ්‍රහස්පතින්දා රෑ සාදයක් අනිවාර්ය අංගයක්. බොහෝ මිතුරන් කාලයක සිටම අපේ ගෙදර සාද වලට කැමැත්තක් දක්වන්නේ ඉන්දියානු ආරේ කෑම වලින් හෙම්බත් වෙච්ච කටට අපේ රසට මගේ නෝනා පිසින කරවල බැදුමක් හා පොල් සම්බෝලයක් සමග බත් කටක් කෑමට ලැබෙන නිසා මයි.


සිකුරාදා උදෑසන කියන්නේ සතියේ පාලුම වරුව කිව්වොත් නිවැරැදියි . රෑ සාද වලට සහභාගී වූවන් මහ දවල් වන තුරු නිදා ගැනීම අනිවාර්ය අංගයක්. මොකද සිකුරාදා හවසටත් කොහෙන් හරි හොයාගෙන අඩියක් ගහන එක අපේ අය වරද්දන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන ශක්තිය නැවත ලැබෙන්නෙ ඔය නින්දෙන්. බොහෝ ක්‍රිස්තියානි බැතිමතුන් උදෙන් පල්ලි යන අතර හින්දු භක්තිකයන් සිකුරාදා උදේ කෝවිල් යාමට යොදා ගන්නවා. මුස්ලිම්වරුන් දවල් පල්ලි යාමට ඇති නිසා නිවෙස් වලින් පිට යන්නේම නැති තරම්. ඉහත කුලක වලට අයත් නොවූවත් බහුතරයක් දෙනා සිකුරාදා උදෑසන හොද නින්දක් වෙනුවෙන් භාවිත කරනවා.


කොච්චියාගේ එදා ඉදන් පුරුද්දක් තමයි පාන්දර පහට නිදා ගත්තත් හත හමාර වෙනකොට අවදි වෙන එක. ඕක මට අදටත් වලංගුයි. මම උදෙන් නැගිටිද්දි මගේ නෝනාත් සති අන්තය අපි එක්ක අපේ ගෙදර ගත කරන අතිජාත මිත්‍රයා ඩිස්තිත් බොහෝ විට රාත්‍රි සාදයෙන් පස්සෙ අපේ ගෙදරම රැය පහන් කරන දිනුශත් ඇහැරෙන්න හිතලා වත් නැහැ. ඒ වෙද්දි ඇහැරලා ඉන්නෙ අපේ ගෘහ සේවිකාව විතරයි. නානකාමරයට වැදිලා මුහුණ කට සෝදා ගෙන කොට කලිසමකින් සැරසෙන මට සිකුරාදා උදේ කරගන්න වැඩ ගොඩයි. කාමරෙන් එලියට එනකොටම ,

"සර් තේ එකක් හදන්නද?" 

කියලා අහන්නෙ අපේ ගෘහ සේවිකාව විතාන. කවදාවත් ඇගේ තේ එකක් නොබිව්වට යාන්ත්‍රිකව වගේ උන්දෑ හැමදාමත් ඕක අහනවා.
විතාන කියන්නෙ මැදි වියේ ගැමි ගැහැනියක්, දවස පුරාවටම සිනා මුසු මුහුණින් ගෙදර වැඩ ටික කරන විතාන මගේ නෝනාට ලොකු පහසුවක්.

සිකුරාදා උදෙන්ම එලියට බැහැලා වාහනෙත් පණගන්වාගෙන මම මුලින්ම යන්නෙ පාතරාසය ගන්න. කවදත් මගේ තේරීම දකුණු ඉන්දීය ආහාර. එයිනුත් උප්පුමා විශේෂයි.ළමා කාලයේදී මට උප්පුමා මුලින්ම හදලා දුන්නේ පොඩි මහම්මා විසින්...මහම්මා කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේ ඇගේ ද්‍රවිඩ මිතුරියකගේ රෙසිපියට තමයි පාන්දරක මම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ඉද්දි හදලා ගෙනත් දුන්නෙ.. එදා සීනි එක්ක මිශ්‍ර කරගෙන කෑවත් අද මම සීනි එක්ක කන්න කැමති නැහැ.දැන් නම් ඉතින් කන්න හොඳත් නැහැ.කොහොම උනත් මගේ නෝනා හදන උප්පුමා එකට ගහන්න පුලුවන් කිසිම අවන්හලක් මට හම්බ වෙලා නැහැ මස්කට් වල නම්.. වගකීමෙන් කියන්නෙ මොකෝ මම නොකාපු දකුණු ඉන්දීය අවන්හලක් මස්කට් වල තියෙන්න විදියක් නැති නිසා.පසු ගිය සතියේ මම ගියේ අසෙයිබා වල තියෙන වසන්ත භවාන් එකට..උප්පුමා වෙනුවට එදා තිබ්බෙ කිචඩි. යටින් තියෙන්නෙ පින්තූරෙ.
මේ තියෙන්නෙ කිචඩි. රුලං පිටි නොහොත් රවා වලින් හදන්නෙ.
කෑමෙන් පස්සෙ මගේ ප්‍රියතම පානය තමයි ෆිල්ටර් කෝපි. තමිල්නාඩු අවන්හල් වලට ආවේණික ෆිල්ටර් කෝපි කෝප්පයක් බිව්වම දැනෙන හැගීම මට නම් මාරයි. ඔන්න දැම්මා ෆිල්ටර් කෝපි පින්තූරෙත්.
ෆිල්ටර් කෝපි කෝප්පය
මම ආසම ෆිල්ටර් කෝපි තියෙන්නෙ අපේ ගෙවල් ලගම තියෙන ඉන්දියන් ඩිලයිට් එකේ..ෆිල්ටර් කෝපි හදන එක වෙනම කලාවක් වගේම ඒක සම්මත ක්‍රමේට බොන එකත් එක්තරා කලාවක්.
ඉන්දියන් ඩිලයිට් එකෙන් කෝපි බොන්න කැමති අනෙක් හේතුව තමයි ඔවුන් ගේ කෝපි එකට මට කැලරි රහිත සීනි ආදේශක එකතු කර ගන්න පුලුවන් වීම. අනෙක් තැන් වල සීනි මිශ්‍ර කරලම තමයි ලැබෙන්නෙ.ඩිලයිට් එකේ තියෙන නිදහස් පරිසරයටත් මම කැමතියි, ඒ උනාට එතන ටිකක් පොශ් වගේ නිසා සුපුරුදු දකුණු ඉන්දීය සංස්කෘතික ලක්ෂණ එතන අඩුයි වගේ.



ආයෙත් උප්පුමා ගැන ......උප්පුමා වල මූලික ප්‍රභේද දෙකක් තියෙනවා..එකක් තමිල්නාඩු ක්‍රමයට සහ අනෙක කේරල ක්‍රමයට නොහොත් මලයාලි ක්‍රමයට. කේරලේ මිනිස්සු උප්පුමා හදද්දී ගිතෙල් දාන්නෙම නැහැ...විශේෂයෙන් අබ එකතු කරනවා..ඔවුන්ගේ උප්පුමා එක වියලියි..පපඩමක් මිශ්‍ර කරගෙන සමහරු සීනි හෝ කෙසෙල් ගෙඩියක් සමග තමයි කන්නෙ. මම නම් කෙසෙල් ගෙඩිය කන්නෙ නැහැ .. පපඩම එක්ක කේරල උප්පුමා එක තමයි මගේ කැමැත්ත. තමිල්නාඩු ක්‍රමේට ගිතෙල් එකතු කරලා හදද්දී උප්පුමා එක තෙතයි..ඔවුන්ගේ ක්‍රමයට සීනි එක්ක කන්න බැහැ කොහෙත්ම...නමුත් ඒකෙත් අමුතු රහක් තියෙනවා.



කේරල ක්‍රමයට උප්පුමා
බඩ කට පුරෝ ගත්තට පස්සෙ මම යන්නෙ බාබර් කෙනෙක් ලගට. ඒ රැවුල කපන්න. කොච්චියා සතියට එක දවසයි රැවුල කපන්නෙ.. සතියක් රැවුල වැවුනම ස්ටයිල් එක සතිපතා වෙනස් කරන්න පුලුවන් අවශ්‍ය නම්.. දැන් නම් කාලෙක ඉදන් මම ෆ්‍රෙන්ච් කට් එක තමයි තියන් ඉන්නෙ නෝනාගේ කැමැත්ත අනුව.රැවුල් කැපීමේ දක්ෂයො තමයි තුර්කි ජාතිකයො. ඒ උනාට බ්‍රහස්පතින්දා රෑ ශීෂා කැෆේ වල ගත කරන ඔවුන්ව සිකුරාදා උදේට අල්ල ගන්න එක ලේසි නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට සිදු වෙන්නෙ පකිස්තාන හෝ ඉන්දියානු බාබර් සාප්පුවක සේවය ලබා ගන්න.

වාහනේ හෝදගන්න පෝලිම් වල ඉන්න එකත් මට නම් මහ එපා කරපු වැඩක්. දවසක් ඇර දවසක් ඇවිත් බංගාලි ජාතිකයෙක් වාහනේ හේදුවට මිනිහා කරන්නේ අමු බොරුවක්. ඔය වාහන හෝදන බංගාලි ඔක්කොම බොරු කාරයො නිසා මිනිහගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඒ නිසා සති අන්තයේ car wash එකකට ගිහින් වාහනේ හෝදගන්න එක තමයි කරන්නෙ.

උදේ 7.30 ට ගෙදරින් එලියට ගියාම 9.30 වෙනකොට ඔය වැඩ සේරම කරගෙන ඉවර වෙනවා. ඒත් තාම නෝනා නිදි, මොකෝ එයා නැගිට්ටා නම් කෝල් එකක් අනිවාර්යයි. එලියට එද්දිම පොතකුත් දාගෙනම එන්නෙ ඒ නිසාමයි.ලංකාවෙ වගේ නෙවෙයිනේ, මෙහේ ෆ්ලැට් එකක් ඇතුලේ ඉන්නකොට පුදුම කම්මැලිකමක් තියෙන්නෙ. ගෙදර ලගම තියෙන පාක් එකට ගිහින් ලග කඩෙන් වතුර බෝතලයකුත් ගෙන්න ගෙන පැයක් විතර පොත කියවද්දි තමයි නෝනාගෙන් කෝල් එක එන්නෙ.


Wednesday, September 21, 2016

කිඩ් රූපසිරිගේ ගණිතය පළවෙනි ක්‍රෂ් එක සහ හයිලන්ඩ් චොක්ලට් මිල්ක්

මමත් මලින්දත් කොලඹ ඉස්කෝලෙ ගිය නිසාත් මොරිස් මීගමුවට හිරවූ නිසාත් අපේ ටියුශන් ඔක්කොම එකට කර ගන්න බැරි බව අපි තේරුම් ගත්තා. මේ අතර අමතක කරන්න බැරි අනික් චරිතේ උනේ චේතිය.මාත් එක්කම රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගිය පට්ටම මැත්ස් මීටරයක් වෙච්ච චේ ගේ ගෙදර තිබ්බෙත් සීදුවෙ උනාට තවත් උසස් සිවිල් නිලධාරියෙක් වෙච්ච චේ ගේ අප්පච්චි ගේ නිල නිවස තිබ්බෙ සමිට් ෆ්ලැට්ස් වල. ඉස්කෝලෙ ලගම නිසා මිනිහට වගේම කට්ටි පැන්න වෙලාවට අපිටත් එතන කියාපු ජොයින්ට් එකක් උනා.

බයෝ කරපු මොරිස් සහ මැත්ස් කරපු අපි තුන්දෙනා අතරේ පොදු ටියුශන් පන්ති හොයන එක අපහසු උනා.
කොහොම උනත් පියෝ ඇප්ලයිඩ් වලට අපි තෝර ගත්තෙ කේ.ඩී රූපසිරි සර්ව. අපේ ඉස්කෝලෙ ඇසිස්ටන්ට් ප්‍රින්සිපල් වෙච්චි රූපසිරි සර් බොහොම සැහැල්ලුවෙන් ගණිතය උගන්නපු ශෝට් මෙතඩ් පාවිච්චි කරපු මගෙයි චේ ගෙයි ස්ටයිල් එකට ගැලපුණ කෙනෙක් උනා.

ඒ කාලේ අපිට ලැබුනේ අතින් ලියලා රෝනියෝ කරපු ටියුට්.. සර්ගේ ටියුට් එකේ යට නම ලියලා තියෙන්නේ,K.D Rupasiri කියලා උනාට ඔය K සහ D අතර ඩොට් එක හැම තිස්සෙම අපිට පෙනුනෙ I විදියට...අපි පටන් ගත්තා සර් නැති තැන සර්ව KID (කිඩ්) කියලා හදුන්වන්න.

මේ තියෙන්නෙ අද සීදුව පල්ලිය හන්දිය.ඔය ජනිත එක වෙනුවට එදා තිබ්බෙ පරණ තැපැල් කන්තෝරුව.ඒක ඇතුලේ තමයි මම අව්වෙන් බේරෙන්න හිටගෙන හිටියෙ.
රූපසිරි සර්ගේ ක්ලාස් තිබ්බේ බම්බලපිටිය ශක්ති එකේ.. ඉස්කෝලේ AL පටන් ගන්න කලින් ඉදන් ටියුශන් පටන් අරන් තිබ්බ නිසා මලින්දයි මමයි සීදුවෙ ඉදලා බස් එකේ එනවා...මට සිද්ද උනා පල්ලිය හන්දියට වෙලා ඉන්න මලින්ද තැම්පල ඉදලා මුතුවාඩිය බස් එකේ එනකන්...පුදුම කරුමයක් කියන්නේ ජීවිතය පුරාවට කියන වෙලාවට වැඩ කරන්න පුරුදු වෙච්ච මට සෙට් උනේ කිසි දවසක වෙලාවට වැඩක් නොකරන මලින්ද. සමහර දාට මිනිහා එනකන් මම පැයක් විතර බලන් ඉන්නවා. මුතුවාඩිය සිට මීගමුවට යන බස් එක විතරයි මලින්ද ගේ පාරෙ යන්නෙ.. ඒකත් දවසට දෙපාරයි. ඉතින් දවල් 12.00 ට සීදුව පල්ලිය හන්දියට එන්න නියමිත බස් එක මිස් වුනොත් ත්‍රී රෝද රථ සුලබ නොවූ එදා මලින්දට වෙන්නෙ පොඩි මාමා ට කෝල් එකක් දීලා ගෙන්න ගන්න. ජංගම දුරකතන නොතිබ්බ එදා මාමා ගෙදරින් එලියේ හිටියොත් පැයක් උනත් බලන් ඉන්නවා හැර විකල්පයක් නැහැ.කොහොමින් හරි මලින්ද එන කන් ඉදලා එතනින් 188 බස් එකක ජාඇල බස් ස්ටෑන්ඩ් එකට යන්නෙ 12.45 ට තියෙන ජාඇල මොරටුව අර්ධ සුඛෝපභෝගී බස් එක අල්ලන්න.  බස් එකට නගින්න කලින් බස් ස්ටෑන්ඩ් එකේ කූල් ස්පොට් එකෙන් හයිලන්ඩ් කිරි දෙකක් බොන්න අමතක කරන්නෙම නැහැ.ඒ හයිලන්ඩ් චොකලට් මිල්ක් එකට ගහන්න බීමක් අදටත් මම බීලා නැහැ. අන්තිමට ලංකාවට ගිය වෙලෙත් කීපයකටම වග කිව්වා.
හයිලන්ඩ් කිරි බෝතලය
වල් පල් කියවන අතරෙම ටියුට් වල තිබ්බ ගණන් එහෙමත් හදමින් තමයි අපි බස් එකේ යන්නෙ. දොරෙන් ඇතුලු වෙච්ච ගමන්ම වම් පැත්තෙ සීට් එකේ තමයි අපි ඉද ගන්නෙ, බහින්න ලේසියටත් එක්ක.ශක්ති එක ළගින් බහින්න පුලුවන් කම තිබ්බට මාන්නප්පෙරුම ට්‍රේඩර්ස් ගාවින් බැහැ ගන්නෙ හෝලි ෆැමිලි කොන්වන්ට් එක වගේම සෙන්ට් පෝල්ස් එකත් දෙකම පහු කරගෙන පයින් යන්න කියාපු වෙලාව ඒක නිසා. ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන්න වාහන එන කම් ඉන්න ලස්සන කෙල්ලො අතරින් ඇවිදන් ගිහින් ගන්න ආතල් එක ඇත්තටම පට්ටයි. අපිට හිතෙන්නෙම උන් අපි දිහා බලන් ඉන්නවා කියලා, හැබැයි එහෙම නෙවේ ම කියන්නත් බැහැ.

වෙලාවට කලින්ම ශක්ති එක ගාවට යද්දි එතන ස්නැක් බාර් එකට වෙලා ඒ වෙනකොටත් ඉන්න අපේ ක්ලාස් එකේ කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරේ සෙන්ට් තෝමස් ගිය අනුක් සහ රැප් රාජපක්ෂත් ඕලෙවල් වෙනකන් සෙන්ට් පීටර්ස් ගිය පස්සෙ අපේ ඉස්කෝලෙට ආපු ගීතාල් නොහොත් ආප්පයාත් අශෝකෙට ගිය රනිලුත් තමයි විශේෂයෙන් මතක.අනුක් එක්ක මගේ සම්බන්ධය ඉන් ඉදිරියට, ඒ කියන්නෙ මගේ NIBM යුගය කරාත් දිව යනවා.රැපා ට ඔය නම වැටුනේ මිනිහගේ නමේ මුල් අකුරු R.A.P නිසා.
මේ තියෙන්නෙ අද ශක්ති එක. ඔතන ඔය පේන් ස්නැක් බාර් එක තමයි අපි ඉදන් ඉන්න තැන
ගීතාල් සබැදි තව කතා තියේවි ඉස්සරහට මොකද ඉස්කෝලේ කතා කියද්දි මිනිහා අනිවාර්ය චරිතයක් වේවි.
රනිල් ව මට මතක මිනිහා ට්‍රයි කරපු ශර්මිලා ට මමත් ට්‍රයි කියලා හිතා ගෙන මගෙන් ගේමක් ඉල්ලන්න ආපු නිසා. කොහොම හරි අමාරුවෙන් මලින්දයි මමයි රනිල්ට පහදලා දුන්නා මගේ හිතේ මිනිහගේ සිහින කුමාරි ගැන කිසිම අදහසක් නැති බව.රූපසිරි සර්ගෙ පංතියේ හිටපු කෙල්ලො ගැනත් කියන්න දේවල් බොහොමයි.

 ඒ ලෙවල් පටන් ගත්තට පස්සෙ කොච්චියාට මුලින්ම ක්‍රෂ් එකක් ඇති වුනෙත් ඔය පංතියෙදි තමයි. සිරිමාවෝ එකට ගිය ඇය ආවෙ තාත්තා ගේ නිසාන් සනියෙන් නිසා මලින්දත් මමත් ඇයව හැදින්වුවෙ සනී ගර්ල් කියලා.
සනී ගර්ල් ගෙ සනිය


 දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇය විවාහකයි. මීට වසර පහකට විතර කලින් මූනු පොතේ අපි මිතුරන් වුනා. එතකොට තමයි මම ඇයට කිව්වේ එදා මට ඇය ගැන තිබ්බ හැගීම.කොහොම උනත් එයා කණගාටු වුනා මම ඇයි ඒක ප්‍රකාශ නොකලේ කියලා.

රූපසිරි සර්ගෙ පංතිය ගැනත් එක පෝස්ට් එකක් ලියලා මදි.මොකද ගෑනු ළමයි ගැන වගේම සර් ගැනත් කොල්ලො ගැනත් කියන්න තව කතා ගොඩයි. ඒවා ගැන කොච්චියා අනාගතේදි ලියාවි.ඔය පංතිය ඉවර වෙලා ගෙදර එන එකෙත් අමුතුම ජොලියක් තිබ්බා. ඒ ගැන පස්සෙ කියන්නම්. ඒකෙදි මලින්දගෙ තාත්තා ගැනත් ඔහුගේ නිල රියදුරා වෙච්ච නිමල් ගැනත් කියන්න දේ බොහොමයි. කෝච්චි කතාත් නැතුවම නෙවෙයි.

Monday, September 19, 2016

පල්ලියගුරු සර්, ඉසුරු සමග ෆිසික්ස්

වැඩි කරදරයක් නැතුව මුලින්ම හොයා ගත්තු ක්ලාස් එක තමයි භෞතික විද්‍යාව . එහෙන් මෙහෙන් හොයලා බැලුවම දැනගන්න ලැබුනා කදාන ඩි මැසනඩ් එකේ ප්‍රවීන ගුරුවරයෙක් වුනු සුසන්ත පල්ලියගුරු සර් ගැන.
ඕලෙවල් අන්තිම සබ්ජෙක්ට් එක ලියලා ගෙදර එන ගමන් අම්මයි තාත්තයි එක්කම කාගෙන්දෝ පාර අහගෙන තිබ්බ විදියට රිලවුල්ල හන්දියෙන් සෙවන්ත්ඩේ එක පාරෙ ගිහින් සර්ගේ ගෙදර හොයා ගත්තා. ඒ වෙනකොට සර්ගෙ නෝනා ටියුශන් එකක් කරමින් හිටියා ගෙදර ඉස්තෝප්පුවෙ...ඇයත් ගණිතය ගුරුවරියක්.

ප්‍රසිද්ධ ගුරුවරු වෙච්ච මගේ අම්මා තාත්තාව සාදරයෙන් පිලිගත්තු පල්ලියගුරු සර් අපේ ගෙදර ඇවිත් ක්ලාස් එක කරන්න එකග උනා.. ඒ වෙනකොටත් මලින්ද , මොරිස්, ධම්මික, ඉසුරු, ඉන්දික සහ රවි පන්තියට සෙට් වෙලා හිටියේ...අපි කලේ සර්ව කැමති කර ගත්තු එක විතරයි.

පංතිය දාගත්තෙ අගහරුවාදාට.  ඒ දවස් වල අගහරුවාදා හවස ජාතික රූපවාහිනියෙන් රොබින් හුඩ් පෙන්නනවා. අපේ සෙට් එක සර් එනකන් රොබින් හුඩ් බලනවා.ඉතා මිත්‍රශීලී ගුරුවරයෙක් වෙච්ච පල්ලියගුරු සර්ත් වේලපහින් ආවොත් අපි එක්කම රොබින් හුඩ් බලලා තමයි පංතිය පටන් ගන්නේ.

ඉස්කෝලේ රසායන විද්‍යාව උගන්නපු පල්ලියගුරු සර් ගේ ඇගේ තියෙන්න ෆිසික්ස් කියන එක තමයි මම මුලින්ම තේරුම් ගත්තෙ. සිගරට් ලෝලියෙක් වෙච්ච සුසන්ත සර් ගණන් දෙන්නෙ සිගරට් එකට ටයිම් කරලා. කෙටි ක්‍රම සහ මනෝමය ගණනය කිරීම් වලට අති දක්ෂයෙක් වෙච්ච සර් අදටත් මගේ ලෝකෙ වීරයෙක්..හේවගේ පොත්වල තිබ්බ අපි නොහදපු ගැටලුවක් නොතිබුණු තරම්.

ආතරයිටිස් රෝගයෙන් බරපතල ලෙස බැටකාපු කෙනෙක් වුනු පල්ලියගුරු සර් සමහර දාට මෝටර් සයිකලය පැදන් එන්නෙ හරිම අපහසුවෙන්. අත්දිග කමිසයේ අත් නවනවා වෙනුවට රෝල් කරලා අදින සුසන්ත සර්ව නිතර අදින ලා ගොම පාට කමිසය එක්ක තමයි මට හොදටම මතක.

ගාල්ලෙ රිච්මන්ඩ් එකේ ආදි ශිෂ්‍යයෙක් වෙච්ච සුසන්ත සර්ගෙ පාසල් මිතුරා තමයි මට ඉස්කෝලෙ රසායන විද්‍යව ඉගැන්නුවෙ...ශ්‍රීනාත් වික්‍රමසිංහ. ශ්‍රීනාත් සර්ගෙ හරි නම ශ්‍රියානන්ද කියලා දැනගත්තෙත් සුසන්ත සර්ගෙන්ම තමයි.ශ්‍රීනාත් සර් ගැනත් කතන්දර බොහොමයි.

මීට වසර හයකට කලින් මට අන්තිමට සුසන්ත සර්ව මුණ ගැහුණා ඩී මැසනද් විදුහලේදී. මම කරපු ටියුෂන් ආශ්‍රිත ව්‍යාපෘතියකට ඔහුගේ උපරිම සහය ලබා දුන්නා වගේම එතන සිටි කීප දෙනෙකුට මාව අදුන්වලා දුන්නා තමන්ට මුණ ගැසුණු ඉතා දක්ෂ ශිෂ්‍යයෙක් විදියට. ඒ වෙලාවේ නම් සියුම් ආඩම්බරයක් නොදැනුනාමත් නෙවේ. ඊලග පාර ලංකාවට ගියාම නොවැරදීම බලන්න යා යුත්තෙක් විදියට ලැයිස්තුවේ උඩින්ම ඉන්න කෙනෙක් තමයි ඔහු.

හෙමින් තේරුම් ගන්න ළමයි වෙනුවෙන් කාලය ගත කරන්න අකමැති අමුතු ජාතියෙ කෙනෙක් වෙච්ච පල්ලියගුරු සර්ගෙ පන්තියේ  මාස 3 යද්දි ඉතුරු උනේ මමයි මොරිසුයි මලින්දයි ඉසුරුයි විතරයි. කෙනෙකුට තර්ක කරන්න පුලුවන් ඒ අතින් ඔහු සාර්ථක ගුරුවරයෙක් නෙවෙයි කියලා. නමුත් ඔහු ඉගැන්නුවේ තමන්ට තෘප්තියක් ලබන්න මිසක් වෙන දේකට නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. තමන්ගෙ රිද්මයට සරිලන සිසුන් දෙන්නෙක්ට උගන්නලා ඔහු ලබපු තෘප්තිය වෙනස් රිද්මයක සිසුන් 10කින් ලබන්න බැරි බව දැන ගෙන උගන්නපු ගුරුවරයෙක් පල්ලියගුරු සර්.

ඔහොම ගිහින් අන්තිම කාලෙදි මමයි මොරිසුයි ඉසුරුයි විතරක් වෙලා විභාගෙ ලං වෙද්දි ඉසුරු සහ මම විතරක් බවට පත් වුනා. මම නොකියා කියන්නෙ මම හෙන පොරක් කියලා නම් නෙවෙයි. ඒත් දේවල් සිද්ධ උනේ එහෙමයි. මොරිස් නැවතුනේ සර් එක්ක මතවාදී ඝට්ටනයක් මත කියලා තමයි මතකේ තියෙන්නෙ.

ඉසුරු කියන්නෙත් අපේ අම්මගේ ඉතාම හිතවත් ජෝඩුවකගේ වැඩිමල් පුතා. මරදාන සාන්ත ජෝසප් විදුහලේ ඉගෙන ගත්තු ගැඹුරු දාර්ශනික බුද්ධිමතෙක් වෙච්ච ඉසුරු මට වැඩියෙන්ම සෙට් උනේ අපි දෙන්නට තිබ්බ සාපේෂතාවාදය සහ බෝර් ගේ ක්වොන්ටම් වාදය ගැන තිබ්බ උනන්දුව .අන්තර්ජාලය සුලබ නොවූ එදා අපි දෙන්නා ඔය ගැන හොයන්න නොපීරපු පුස්තකාලයක් නැති තරම්. ගණිතයේදි විශේෂිත වේගයක් නොතිබ්බාට ගැඹුරින් විෂය කරුණු අවබෝධ කර ගන්න පුලුවන් කෙනෙක් ඉසුරු. මිනිහටම හරි යන විදියට ගණිතය උගන්නපු පනාවල සර් ගෙ ජීවිත  දර්ශනයත් ඉසුරුව අනන්‍ය ලෙස ඒ යුගය තුල නිර්මාණය කලා කියලයි මට හිතෙන්නෙ.

Friday, September 16, 2016

මොරිස් සහ මලින්ද සමග පොත්තිගෙ කෙමිස්ට්‍රි පංතිය

පලවෙනි කතාව කියන්න හිතුනේ පාසල් ජීවිතයේ අන්තිම කඩඉමට මුල් ගල් තිබ්බ ඕ ලෙවල් ඉවර වෙලා ඒ ලෙවල් පංති යන්න පටන් ගත්තු යුගය ගැන. කොච්චියා සිප් සතර හැදෑරුවේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ නොහොත් කොළඹ රාජකීය විද්‍යාලයේ. ඉතා ඉහලින් ඕ ලෙවල් සමත් වෙච්ච කොච්චියා සහ මිතුරු කැල උසස් පෙලට ටියුෂන් හොයපු හැටි තමයි අද ලියන්නෙ. ටියුෂන් ආශ්‍රිත රස කතා ඉදිරියට ගොඩාක් තියේවි.

නත්තලට ඔන්න මෙන්න තියලා ඕ ලෙවල් සියලු විශයන් ඉවර වුනා. ප්‍රතිඵල මොනවද කියලා අපි හැමෝම එතකොටත් හිතා ගෙන ඉවරයි..ගණිතය ගැන උමතුවකින් හිටිය මමත් , ඉංජිනේරු සහ දොස්තර හීන වල හිටපු මගේ අනෙක් යාලුවො සෙට් එකත් මේ වන කොටත් තමුන් උසස්පෙල කරන්නෙ මැත්ස් ද බයෝ ද කියලා තීරණය කරලයි තිබ්බෙ.

ඔය කාලෙ මගේ හොදම සගයා උනේ මොරිස්.අද මොරිස් දොස්තරෙක්.ලොකු කාලෙකින් කතා කරලවත් නැති නිසා මිනිහත් දොස්තරලගෙ ලමයින්ට විශේෂ වරප්‍රසාද ඉල්ලන ගැන්සියෙද කියලා නම් දන්නෙ නැහැ. මොරිස් ගියේ මීගමුවේ සෙන්ට් මේරිස් එකට, මිනිහට ඕන උනා ඒ ලෙවල් වලට රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට එන්න. ඒත් මිනිහට ඕ ලෙවල් වලට තිබුනෙ ඩී 6ක් හෝ 7ක් විතරයි. එක සී එකක් හෝ දෙකක් තිබ්බ චිත්‍ර වලටයි කොමර්ස් වලටයි.කොච්චර උත්සහ කලත් මොරිස්ට රාජකීය හීනය සැබෑ කර ගන්න බැරි උනා. ඉතින් මිනිහව ඉහලින් බාර ගත්තේ මාරිස්ටෙලාව.

සැබෑ දක්ෂයෙක් වෙච්ච මොරිස් ඒ ලෙවල් වසර දෙකේ  මීගමුවෙ පාසල් වල සුපිරි තරුව වෙලා හිටියෙ. මොරිස්ට ට්‍රයි කරපු කෙල්ලො කොච්චර හිටියත් ආවෙ මරියා එකේ ඉගෙන ගත්තු ප්‍රියංජලා ගෙ පස්සෙන් යන එක තමයි  මිනිහගෙ වැඩේ උනේ. කරුමෙට ප්‍රියංජලා ඒ දවස් වල මුගේ දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ.
අවුරුදු කීපයකට පස්සෙ මෙඩිකල් කොලේජ් යන අතරේ කොහොම හරි මොරිස් තමන්ගේ ආදරය දිනා ගත්තත් ඒක වැඩි කල් නොගොස් නතර උනු බව තමයි දැන ගන්න ලැබුනේ.

අපේ සෙට් එකේ තවත් චරිතයක් මලින්ද . අඩි 6'2" උස මලින්ද රටේ ප්‍රසිද්ධ සිවිල් නිලධාරියෙක් සහ මගේ දෙමාපියන්ගේ හිතවත් විදුහල්පතිනියකගේත් එකම පුතා. එහෙම  කිව්වේ මලින්දට අක්කා කෙනෙක් හිටි නිසා. මුලින් සෙන්ට් මේරිස් ගිහින් පසු කාලීනව ඩී එස් එකට මාරු වුනු මලින්දත් මමත් ඉස්කෝලේ ගිය රද්දොලුගම ඉදලා ආපු මහින්ද අංකල් ගේ ස්කූල්වෑන් එක සම්බන්ධ කතන්දරත් එමටයි. ඒවා පස්සට. සිරිමාවෝ එකට ගිය මලින්දගේ අක්කා දිල්මිනි ගියෙත් අපි එක්කමයි. අපිට ටියුෂන් හොයද්දි ඇගේ ඒ ගැන අවබෝධය ගොඩක් උදව් උනා.

සෙන්ට් මේරිස් එකේ පරණ යාලුවො වුනාට මලින්ද සහ මොරිස් ගජ මිත්‍රයො වෙන්නෙ මම උන් දෙන්නගෙ ජේදන කුලකයෙ හිටපු නිසා. සම්පූර්ණයෙන්ම වෙනස් අදහස් තිබ්බට මම නිසා මුන් දෙන්නා ඒ කාලය තුල සාමයෙන් හිටියා කියන්න පුලුවන්. මත ගැටුම් වල උච්චතම අවස්ථාව ආවෙ උසස් පෙල විභාගය ඉවර වෙලා ගිය ට්‍රිප් එකකදි.ඒකත් අමාරුවෙන් මම ගොඩ දැම්මා වගේ තමයි මතක. ඒ ට්‍රිප් එක ගැනත් පස්සෙ දැන ගන්න ලැබේවි.

සෑහෙන්න මත විමසුමකින් පස්සෙ අපි තුන් දෙනාම තීරනය කලා රසායන විද්‍යාවට පොතුපිටිය මිස් ලගට ටියුෂන් යන්න.ගම්පහ නගරය ගැන කිසිම දැනීමක් නැතුව මුල්ම දවසෙ තැන හොයා ගන්න බැරුව මොරිසුත් මමත් හැම තැනම ඇවිද්දා. මොකක් හරි හේතුවක් නිසා මලින්දට අපි එක්ක මුල් දවසේ පංතියට යන්න ලැබුනේ නැහැ.අන්තිමට ඉස්පිරිතාලෙ ලගම තිබ්බ ටයර් කඩය්ක් පිටිපස්සෙ තිබ්බ පොත්ති ගේ කෙමිස්ට්‍රි පංතිය හොයා ගත්තා. ඒ වෙනකොට පංතිය පැයක් විතර පටන් අරන්... අපි දෙන්නා වැරදිලා එතනම අයිනෙන් වැටිච්ච පාරක ගිහින් ආපහු එද්දි තමයි තැන හරියටම සෙට් උනේ. පිටිම පස්සෙ බංකුවෙත් ඉඩ තිබ්බෙ නැතුව හිටගෙන හිටපු බවක් තමයි මතක. අති ආකර්ශණීය හඞ පෞරුෂයක් තිබ්බ ගුරුවරියක් වුනු පොතුපිටිය මිස් උගන්නන දේ මතක තියාගන්න අමුතුවෙන් පාඩම් කරන්න ඕන නැති බවක් එවෙලෙම අපට තේරුණා. විද්‍යාව පොවන්න පුලුවන් ගුරුවරියක් වුනු මගේ අම්මාගෙන් සාමාන්‍ය පෙළ විද්‍යාව ඉගෙනගත්තු මටයි මොරිස් ටයි පොත්ති කදිම ආදේශකයක් වුනා. ඊලග සතියේ ඉදන් මලින්දත් අපිට එකතු වුනා.