දැන් මාසයක පටන් කොච්චියාගේ නෝනා කොන්දේ ආබාධයක් නිසා පීඩා විඳින්නේය. ගේ ඇතුලේ ලිස්සා වැටුණු ඈ කොන්දේ ඇතිවූ බරපතල නොවු වේදනාව නොසලකා සිටියාය. ඒත් එන්න එන්නම වේදනාව වැඩිවූ අතර වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවීමෙන් පසු දැන ගන්නට ලැබුණේ කශේරුවේ අස්ථි දෙකක් අතර පරතරය අඩුවී ඇති බවක් ය. බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් ගුණයක් නැති කල්හි යොමු වුණේ ආයුර්වේද ප්‍රතිකාර වෙතය. දැන් සති දෙකක් තිස්සේ දිනපතා ඇය ව ප්‍රතිකාර සඳහා ගෙන යන අතර දිනෙන් දින ප්‍රගතියක් දක්නට ඇත්තේය.
මුල් දින කීපයේ හැන්දෑවේ වෙලාවක් වෙන් කර ගත්තද එය අපේ දෛනික රාජකාරි වලට බාධාවක් හෙයින් කීප දිනෙක සිට උදේ 8.30 ට ඇයව අදාල ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා ඇරලවිය යුත්තේය. ඇතැම් දින වල ජහුටාද අප සමග යන්නේය. එසේ යන යම් දිනවල ඈ එහි ඇරලවා අප පාතරාසය සඳහා රුවී ප්‍රදේශයේ අවන් හලක් වෙත යන්නේ බඩ කට පුරා වඩේ සහ තෝසේ කන්නටය.
පසු ගිය සතියේ එසේ එක් අවන්හලකින් තේ ඉල්ලූ විට පීරිසි කුට්ටමක තේ ලැබුණේය.ඒ දුටු ජහුටා කීවේ පීරිසියේ දමා තේ බොන්නට හිතෙන බවය. ඕමානයේ පීරිසි කුට්ටමක තේ එකක් ලැබෙන්නේ එහෙමත් කලාතුරකින් ය.කෙසේ නමුත් ඒ ප්‍රකාශය කොච්චියාව දශක තුනක් පමණ ආපස්සට ගෙනාවේය. එක්දාස් නවසිය අසූ ගණන් වල
… එනම් කොච්චියා පොඩි එකා සන්ධියේ සිදුවීම් සමුදායක් සිත්තම් පෙළක් සේ මතකයට ආවේය.
ඔය කාලයේ කොච්චියාට තදින් හතිය තිබුණේය. දෙවරක්ම නියුමෝනියාව සෑදී ලේඩි රිජ්වේ එකේ හිටියේය. ලේඩි රිජ්වේ එකට එකල කිව්වේ නෝනා වාට්ටුව කියාය.පැය හයෙන් හයට ඉන්ජෙක්ෂන් ගැසුවා මතකය. ඉන්ජෙක්ෂන් ගහන්නට නර්ස් ලා එන විට සියලු පොඩි උන් හඬා වැටෙද්දී මා නොහඬා සිටියා මතකය. නර්ස් ලා අනෙක් පොඩි උන්ට මාව වීරයෙක් කර පෙන්නුවෝය.
ඔය කී රෝගී තත්වයන් හට කොච්චියාට බෙහෙත් කළේ ප්‍රියානි සොයිසා ය. අදටත් මට ඇගේ මුහුණ මතකේ ඇත්තේය.. එකල මිලිටරි පිස්සුවක් තිබූ කොච්චියා ඈ දුටු කල සැලියුට් ගැසුවේය. ඇගේ ප්‍රියතම රෝගියා වූයේද කොච්චියාය. නිතර ඈ චැනල් කිරීම සිදුවූ ඒ කාලයේ මගේ දෙමාපියෝ මහත් කට්ටක් කෑවෝය.
මුලදී ප්‍රියානි සොයිසා ආවේ සෙන්ට්‍රල් එකට විතරය. එකල සෙන්ට්‍රල් එක තිබ්බේ හෝටන් ප්ලේස් එකේය. දැන් එතන එවැන්නක් නැත්තේය. හෝටන් පෙදෙසේ වූ ඒ සෙන්ට්‍රල් එක කොච්චියාට අදටත් හොඳින් මතකය. එහි වූ චැනල් කාමර මෙන්ම වැසිකිළි පවා තාමත් හිතේ ඇත්තේය.
අද මෙන් එක ක්ලික් එකකින් හෝ ඇමතුමකින් හෝ දොස්තරලා චැනල් කිරීමේ ක්‍රමයක් එදා තිබ්බේ නැතිය. ඒ සඳහා එතනටම යා යුතුය. එකල චැනලින් සෙන්ටර්ස් තිබ්බේ දෙක තුනක් ය. සෙන්ට්‍රල් ඉන් මූලික වූ අතර පසුව ආවේ ග්ලාස් හවුස් ය.. එය තිබ්බේ කටුගේ ඉස්සරහට වන්නය. කොච්චියාට ඒ කාලේ කටුගේ කටපාඩම් ය. ඕනෑම කෞතුක වස්තුවක් ඇති තැන මතකයෙන් කියන්නට තරම් මා එහි ගොස් ඇත්තේය. ඒ චැනලින් නිසා මය.
වහන්නට ඔන්න මෙන්න කාලයේ සෙන්ට්‍රල් එකේ ඉදිරිපස |
දොස්තර බැහැ දැකීමෙන් අනතුරුව අප යන්නේ දවල් කෑම ගන්නටය. ඒ කාලේ බේක් හවුස් එක කියන්නේ සැලකිය යුතු හෝටලයක් ය. බත් කන්නට නම් එහි උඩ තට්ටුවට යා යුතුය. යට තට්ටුවේ ඇත්තේ ෂෝට් ඊට්ස් හා ස්වීට්ස් ය. උඩට ගොස් රයිස් ඇන්ඩ් කරි හෝ බිරියානි ඉල්ලන්නට පුලුවන් ය. අරාබියේ ඉන්නා නිසා අද බිරියානි කීවාට ලංකාවේ අප කිව්වේත් කියන්නේත් බුරියානි කියාය.දීසි වලට දමා ගෙනෙන ඒ කෑම වේලද තාම මතකය. කෑමෙන් පසු වටලප්පන් හෝ කැරමල් පුඩින් ය. කොච්චියා බේත් ගන්නට එන ඔය ගමනේ ආසම කරන කොටස ඕකය. ඇතැම් දාට කොච්චියා වටලප්පන් දෙකක් ම කන්නේය.. එකක් කෑවත් එදාට අම්මාගෙන් කොටසක් කන්නේය. ඔය බේක් හවුස් එක තිබ්බේ පරණ ගෙදරක් වගේ එකකය. ඒ වේටර් ලාද රහීමාවේ වේටර් ලා මෙන්ම කොච්චියාට ආදරේ කළෝය. කෑමෙන් පසු එහි ඉහළ මාලයේ වූ කොරිඩෝරයක් දිගේ ගියවිට හමුවන ඉතා විශාල වැසිකිළියකට ගොස් මුත්‍රා කිරීමද මා පුරුද්දක් සේ කළේය. මේ සියල්ල ඊයේ පෙරේදා මතක් වුණේ තේ පීරිසියක් නිසාය.
අත හැර දමා මළ කෑමට ලක්වූ කෝච්චියේ එන්ජිම |
ඇතැම් දාට ප්‍රියානි සොයිසා දවල් එන්නේ නැති බව හදිසියේ දැනුම් දෙන්නේය. එදාට හවස් වනතුරු කාලය ගත කළ යුතුය. එවිට අම්මාත් තාත්තාත් මා රැගෙන විහාර මහා දේවී උද්‍යනයට යන්නෝය. එකල කාලය කෑමට MC හෝ Crescat වගේ පොෂ් තැන් නොතිබ්බේය. පාක් එකට යන කොච්චියා එහි වූ කෝච්චියට මහත් සේ ආසා කළේය. එහි රවුමක් යන්නට අමතක නොකළ මා.ඇතැම් දින වල බත් කෑවේ ඒ තුල ඉඳ ගෙනය. එවැන් දිනවල බත් පාර්සල් ගෙනැවිත් අපි පාක් එකේ ඉඳන් කෑ බවද මතකය.
ඔය කාලයේ අප හා ඔය ගමන් වලට සහභාගි වූ රියදුරා ඇඩ්ඩිං මාමා ය. උන්දෑ අද ජීවතුන් අතර ඉන්නවාද නැද්ද කියා දන්නේ නැතිය. හෙට ඒ ගැන ගෙදරට කතා කර අසා ගත යුත්තේය . ඇඩ්ඩිං මාමා නැති දාට ඔය ගමන ගියේ විල්බට් මාමා එක්කය. හවස් ජාමේ ආපසු එන විට තේ බොන්නට තාත්තා යන්නේ වත්තල ස්වීට් හවුස් එකටය. අඩියෙන් අඩියට පේස්ට්‍රි ෂොප් නොතිබූ එදා ස්වීට් හවුස් කියන්නේ සුපිරි ස්පොට් එකක් ය. නුගේගොඩ මෙන්ම කිරිබත්ගොඩ හෝ කඩවත ද ස්වීට් හවුස් තිබ්බේය. ඒ තේ එක මෙන්ම එහි තිබු ෂෝට් ඊට්ස් ද බේක් හවුසියේ ඒවා වගේම තාම මතකේ ඇත්තේය.
කොච්චියා කාලෙකට පසු අච්චාරුවක් නොවන කතාවක් ලියා අවසන් කළේය. හැබැයි කියවා අවසානයේ ඔහේලාට මාව මළ පෙරේතයෙක් සේ හිතෙන්නටද පුලුවන් ය. කොච්චියා කවදත් කෑමට බීමට ටිකක් පෙරේතය. ඒ නිසා එසේ හිතුවාට අමනාප වෙන්නේද නැත්තේය. කොච්චියා අතීතකාමියෙක් ය. ඒ අතීතයන්‍ට ඈත ඉඳන් පෙම් කරන්නෙක් ය. ලං වී පෙම් කර රහසේ කඳුලක් හලන්නෙක් ද නොවේය.
කොච්චියා මේ කතාවේ ලින්ක් එක නංගීට යවන්නේය. ඈ එය අම්මා හා තාත්තාටද කියවනවා ඇත්තේය. මා එසේ දෙමාපියන්ට කියවිය හැකි මට්ටමේ ඒවා ලියන්නේ ඉඳ හිටය. නංගී මෙන්ම මල්ලී ද මගේ කුණුහබ්බ ලෝකය දන්නා නිසා උන් මා ලියන ඒවා සාමාන්‍යයෙන් දෙමාපියන්ට කියවන්නේ ෆිල්ටර් කරලාය.