Monday, March 6, 2017

චෙෆාකි ගේ සාදය , නන්ස්ටොප් බයිලා සමග තම්බිගේ තේ පැන් සහ කොච්චියා ගේ විරහ ගීතය

හැලපයාගේ පසුගිය පෝස්ටුවේ සඳහන් වූ සිදුවීම් ගණනාවකම කොච්චියා සිටියේය. ඒ නිසාම ඒ ගැන වැඩිපුර කීමට දේ මටද ඇතැයි සිතුණේය. පසුගිය මාසයක පමණ වූ කාලය පෝස්ටුවක් ලිවීමට කිසිදු ඉසිඹුවක් නොතිබුණාවූ කාර්‍ය්බහුල වූ යුගයක් වූ නිසාම සඳවතිය හැමදාමත් කියන්නා වාගේ කොච්චියා ගේ බ්ලොගය මකුළුදැල් බැඳී තිබුණේය. ඉඳ හිටලා බ්ලොගක් කියැවීම හා ඊටත් කලාතුරකින් පෝස්ටුවකට කමෙන්ටුවක් දැමීමට එහා බ්ලොග් ක්‍රියාකාරිත්වයක් මා වෙතින් මේ කාලයේ සිදු වූයේ නැතිය.

පෙබරවාරියේ මුල් සතියේම ඕමානයට සැපත් වූ චෙෆාකි සිය ආගමනයට දෙදිනකට පමණ පෙර මා ඇමතුවේ ලංකාවේ සිට ය. කීපවරක් ම ආ ඒ ඇමතුමට මා ප්‍රතිචාර නොදැක්වූයේ එය මා දන්නා අංකයක් නොවූ නිසාය. දිනපතා අත්‍යවශ්‍ය ඇමතුම් බොහොමයකට ප්‍රතිචාර දක්වන මා සාමාන්‍යයෙන් නොදන්නා නොම්මර ඉතා සැහැල්ලුවෙන් නිදැල්ලේ යවන්නේ බහුතරයක් දෙනා විසින් කියා තිබෙන පරිදි කොච්චියා සතු එක් කුප්ප ගතියක් ලෙසටය. ඒ අස්සේ මට ඇමතුමක් එන්නේ හැලපයාගෙන් ය. චෙෆාකි මා අමතන්නට තැත් කළ බවත් මා දුරකථනය උස්සන්නේ නැති බවත් හැලපයා දැනුම් දුන් අතර ඊට මොහොතකට පසු ආයෙත් ලංකාවෙන් අර ඇමතුම ආවේය..

“කොච්චි, මචන් මම මේ චෙෆාකි”

සුන්දර වූ මිනිසෙක් සමග වූ කතාබහක ඇරඹුම සිදු වූයේ එසේය. සිකුරාදා රෑ සාදයට එන ලෙස ආරාධනා කිරීම ඒ ඇමතුමේ පරමාර්ථය වී තිබූ අතරම දෙවරක් නොසිතාම කොච්චියා එය පිළිගත්තේය. ආරාධනය නෝනාත් සමග පැමිණෙන ලෙසට වූවාට අසනීප තත්ත්වයන් මත එය ප්‍රායෝගික නොවන බව දත් මා පසුදිනම ඒ ගැන හැලපයා දැනුවත් කළේ ඔහු නිරතුරු චෙෆා සමග කතා කරනා නිසාය.

චෙෆාකි ඕමානයට ආ දිනයේ මිනිහා පිළිගන්නට හැලපයා සමග කොච්චියා ද ගියේය. ඒ ගුවන් යානය සාමාන්‍යයෙන් නියමිත වෙලාවට පෙර මස්කට් වෙත ළඟාවන මුත් එදා එසේ වූයේ නැතිය. පෙර අත්දැකීම් නිසාම අප නියමිත වෙලාවට කලින්ම ගුවන් තොටුපළට ගියේ චෙෆා සහ ඔහුගේ ඇඹේණිය රස්තියාදු නොකරනු පිණිසය. ඩිප්ලොමැට්ටෙක්කු වන හැලපයා සිය වරප්‍රසාද භාවිත කරමින් ගුවන්තොටුපළ ඇතුලටම ගියේ සිය පැරණි මිතුරාව හැකි ඉක්මනින්ම බලා කියා ගන්නටය. ඒ අතරේ සාමාන්‍ය බයියෙකු වූ කොච්චියා Costa එකට වැදී espresso උගුරක් තොල ගාමින් බ්ලොග් ලෝකයේ සැරි සැරුවේය.

ඈතින් සද්දන්ත පොරවල් දෙකක් එනවා දුටු කොච්චියා ඇස් ඔසවා බැලුවේය. එකෙක් හුරුපුරුදු හැලපයා බව හඳුනා ගත් අතර අනෙකා නම් අටමාගේ පොඩි කෙල්ල ගේ රැවුල් බඩා මාමා විය යුතු බව ඉවෙන් වගේ දැනුනේය. චෙෆාකි සහ කොච්චියා ගේ මුල්ම හමුව එය වූයේය.ඔහුගේ බිරිඳ චෙෆී මෙන්ම ඥාති සොයුරා සහ සොයුරියව ද ඒ මොහොතේ මා කෙටියෙන් හඳුනා ගත්තේය. චෙෆී කියා සිටියේ මුහුණ පුරා රැවුල වවා සිටි කොච්චියා දුටු පමණින් ඕමානියෙක් කියා සිතුණු බවය.  තමාටද එසේ සිතුණු බව කීවේ ඥාති සොයුරිය ය. ගැහැණු දෙදෙනා සමග චෙෆාකි ගේ ඥාති සොයුරා ඔහුගේ රියට ගොඩවූ අතරේ හැලපේ සහ චෙෆා මගේ රථයට නැගුණෝය. විනාඩි කීපයකින් චෙෆාගේ හුරුපුරුදු මස්කට් නිවහනට ආ අප හට දෙකක් දමා ගෙන යන ලෙස පෙරැත්ත කළේ චෙෆාකි හා සොයුරු අරවින්දය. එය ඊට මොහොත නොවූ අතර හැලපයා සහ කොච්චියා නිවෙස් බලා ඉගිලුණෝය.

ඊළඟ දිනයේ සාදයට අප යන විට අමුත්තන් කීප දෙනෙක්ම පැමිණ තිබූ අතරම ලන්තෑරුම් එළියෙන් ආලෝකමත් වූ සැබෑ මත් වීමකට ඇවැසි සියළු කළමනා නොඅඩුව ඇති බව කොච්චියා සැණෙන් තේරුම් ගත්තේ පසෙකින් වූ ගිටාර් දෙකද දැකීමෙන් පසුවය. හැලපයාද කියා තිබූ ලෙස අපේ කතා බහ බ්ලොග් ලෝකයේ ලිවීම් කියැවීම් මෙන්ම ඕපාදූප දක්වාද ගලා ගියේ පසෙක වූ ඩබල් බ්ලැක් බෝතලය සෙමෙන් සිය කාර්‍ය්‍යය අපේ ශරීරයන් තුල ඉටු කරමින් සිටියදීමය. අපේ කතාබහ ඒ තිබූ සංගීතමය වපසරිය හා නොගැලපුණු නිසාම ඒ වාදනයේ නියුතුවූ චෙෆාකි ගේ මිතුරන් අපටද ඔවුන් හා එක්වීමට ආරාධනා කළෝය.

ඔය හැමදේම අස්සේ චෙෆාකි ඉල්ලීමක් කළේය.

“කෝ උඹේ ටැටූ එක පෙන්නපන්”

එවේලේම මිනිහාගේ ඉල්ලීම ඉටුකලත් ආපසු එද්දී ඔලුවට ආවේ චෙෆා මගේ ශරීරයේ ටැටූ එකක් ඇති බව දැන ගත්තේ කෙසේද යන්නය.  මේ පෝස්ටුවට චෙෆාකි විසින් දමන්නට නියමිත කමෙන්ටුවේ ඊට පිළිතුරද බලාපොරොත්තු වන්නේය.

සැලකිය යුතු කාලයකට පසු කොච්චියා ට සිංදු කීමේ ඇරියස් එක කවර් කර ගැනීමට එය කදිම මොහොතක් වූයේය. ක්ලැරන්ස් ගෙන් අරඹා වික්ටර් , අමරදේව , කපුගේ මෙන්ම මිල්ටන් සහ ජෝති ද අපට ආවේශ වූවා මතකය.. හොඳ මට්ටමේ ගායකයන් කීප දෙනෙක්ම චෙෆා ගේ මිතුරු කැලේ වූවෝය.

//ටික වෙන්න නාලා
කොණ්ඩේ කඩා ගෙන
යනවද සුරතලියේ….
මම බෝම ආසයි
ප්‍රේමි සමගින්
දිය බැස පීනන්න
අපි පීන පීනා ඉන්නා අතරෙදි
ඔබෙ මුව සිප ගන්න….//

ඔය ආකාරයේ ආරම්භයක් දී නන්ස්ටොප් එකක් කොච්චියා පටන් ගත්තේ පැය බාගයක් වත් එක දිගට ගයන්නටය…

//තේ පැන් දින දින වැඩි වැඩියේ
බීමෙන් සිරුරට සැප වැඩිවේ
සීනිද කිරි මුසු කර නිසි සේ
සාදා ගෙන පදමට යස සේ//

නන්ස්ටොප් එක ඔය කිවූ හරියේ නැගලාම යද්දී....සියල්ලෝ කුල්මත්ව සිටියදී බඩ පැලෙන්නට ගිල දමා පැමිණි හැලපයා අසරණ මාද ඇදගෙන ගියේ මිනිහාගේ රියදුරා පැමිණ ඇති බවත් අප යා යුතු බවත් පවසමින් ය. ඒ වන විට රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ජොකියෙකු වූ චෙෆාකිගේ සොයුරු අරා ද කොච්චියා ට ගානට සෙට් වී සිටියේය. අවසානයේ ඒ මොහොතේ නිවෙස තුලට ගොස් සිටි චෙෆාකි ටද නොකියා ගෙදර දුවන්නට වූයේ හැලපයාගේ පකිස්තාන ජාතික රියදුරා නිසාය...මාව ගෙදරින් බැස්සූ පසු,

“ගුඩ් නයිට් සර්”

කිවූ ඒකාට ගුඩ් නයිට් කිවූ මා හිත යටින් කිව්වේ

“ මගේ ආතල් එක කාපු තෝ නම් කොටියා ම කාපිය”  කියාය.

ඔය තේ පැන් සිංදුවේ තවත් වර්ෂන් එකක් ඇත්තේය. කොච්චියා ජීව්තයේ වැඩියෙන් ගයා ඇත්තේ ඔය ඉහතින් කිවූ එක නෙවේය.
තම්බි කෙනෙක් සිය කඩයේ තේ හදනා ආකාරය කියැවෙනා එය දන්නා ඈයෝ බ්ලොග් අවකාශයේ නැති වෙන්නට බැරිය..

//තේ පැන් සාදයි තම්බි කඩේ
තම්බිගෙ ……. ආධාරේ//

වැඩිහිටියන් ට පමණක් වාගේ වුණාට අපි නම් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඕවා ගායනා කළේ හිච්චි කොල්ලන් සන්දියේදී මය.

අවාසනාවේ හොඳම එක කියන්නේ පසුදා හැලපයාගේ ගෙදර පාටියද මට මග හැරුණේ හදිසියේ සෙට් වූ අටමගලයක් නිසා කිසි වැදගැම්මකට නැති ගමනක් යන්නට සිදු වීමෙන් ය. මහ රෑ වෙරි වීමෙන් අනතුරුව හැලපයා මා ඇමතුවේ චෙෆාද ළඟ තබාගෙනය.. ඒ මොහොතේ ද එන ලෙස ආරාධනා කලත් බීමත්ව ආපසු ඒම ගැටලුවක් නිසා කොච්චියා ගෙදරට වී දෙකක් දා ගත්තේ කලකිරීමටත් එක්කමය. එසේ නොවුනා නම් ආප්ප කමින් බෝතලයකට සෙට් වීමේ ඒ මහඟු අවස්ථාව මටද හිමි වන්නට තිබ්බේය.

ඊළඟ කතාවද හැලපයාගේ පෝස්ටුවේම වූ දවාලේ බෝතලයකට සෙට් වීම සම්බන්ධයෙන් ය. එදා ගෙයින් එලියට බහිද්දීම මගේ මිතුරා ඩිස්ති කීවේ ,

“උඹ කොච්චර බිව්වත් ආයෙ රෑට බොන්න පුලුවන් ගානකට බීපන්”
කියාය.
මා හැර අනෙකෙකු සමඟ මත්පැන් නොබොන මිනිහාට අසාධාරණයක් නොවනු වස් උගේ අවවාදයත් හිතේ තියාගෙනම හැලප භවනට ගොඩ උනත් හැලපයා සමඟ කතාබහ ඇදී යද්දී බෝතලය නොදැනීම හිස්වෙමින් යන බව දැනුනේවත් නැතිය. හැලපිගේ රසවත් කට්ලට් හා බැදපු මාලුමිරිස් මෙන්ම ජයග්‍රාහී ක්‍රිකට් තරඟයද අපට කදිම බයිට් බවට පත්ව තිබුණේය. තරඟයෙන් අනතුරුවද කතා බහ විවිධ ඉසව් ඔස්සේ ඇදී ගිය අතර මටත් අමතකව තිබූ කලක් මගේ ජීවන ගීය වන්වූ ගීතයක් ද මතකයට ආවේය.

කිකලෙකවත් ජනප්‍රිය නොවූ ඒ ගීය එකල මගේ ආත්මයේ ගීතයව තිබුණේය. ඒ ඇසූ බොහෝ මගේ මිතුරෝ එහි පද රචනය මාගේ නොවේ යන්න පවා විශ්වාස නොකළෝය. අඩුගානේ මුදල් දී මා ඒ ගීය ලියවාගෙන ඇතැයි කියූවෝද අඩු නොවූවෝය.  මගේ වූ ඈ මගෙන් උදුරා ගත්තවුන් මේ ගීය අසා මා ඉදිරිපිට මට හොරෙන් කඳුළු සලනවා මා දැක ඇත්තේය. ඒ තරමටම ප්‍රබල ලෙස මේ ගීය ඒ සිදුවීම හා බද්ධ වූයේය.

………………………………………..
දුර ඈත දින සමනල් වියේ මා සසල කල යුවතී..
සිත් බැඳි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී
ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී
අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
අන්ධකාරේ මං මුලාවී පාවෙමින් ගෙවූ ජීවිතේ
අරුත් පුරවා දෙනෙත් පාදා ‍
ඈ ලංවුනේ නොසිතූ ලෙසේ..
උමතු වූ ආදරෙන් බැඳී ගෙවුනු දින අද සිහිනෙකි..
පෙර වැරදි මා සතු වෙන්නැති
දෙවියෙකු නොව මා මිනිසෙකි..

මිතුරු කැල හැම සතුරු වී ඈ
මගෙන් උදුරාගත් හැ‍ටී..
මුළු දිවිය සැනකින් නතර වී
අදහනු නොහැකි සේ ඇදවැ‍ටී..
ඉර හඳ තරුත් ගස්වැල් විලුත් කළඹන්න මට සිතුණි..
නිලබල ඇතත් රජකම ලදත් දැන් මට කුමට ළඳුනී..
පරම පිවිතුරු ආදරේ සසර දින පැවතී..
බිඳක්වත් නෑ අඩුවුනේ වැඩිවුනා පමණී...
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා
විඳින බැව් තනිවී..
ඔබ දන්නෙ නෑ එය දන්නවා නම්
යන්නෙ නෑ වෙන්වී...//
…………………………………..

දුර ඈත දින
මේ ලින්කුවෙන් ඒ ගීය ඇසිය හැකිය.

අමිල පෙරේරා විසින් ගැයූ මේ ගීතයේ මගේ නොවන එක් අකුරකුදු නොමැති තරමටම එය මගේමය.. එනමුදු එදා උන් ඒ සංවේදී මිනිසා අද ඇත්තේ නැතිය. එසේ වීම යහපතක් හෝ අයහපතක් ද විය හැකිය. ඒ සංවේදනය වූ හැඟීම් ඒ ලෙසින්ම ලියන්නට නොහැක්කේ ඒ නිසාය. එදා ඒ කොච්චියා අද සිටියා නම් කඳුළු බොමින් මෙය ලියනා අතරේම ඔහෙලාගේද කඳුළු සොලවන්නට ද ඉඩ තිබ්බේය.

මේ පෝස්ටුව හැලපයාගේ පෝස්ටුවේම දිගුවක් ලෙසින් මටද දැනෙන්නේය. ඔහු ලියූ නිසා මා නොලිව්වාට කම් නැති වුවද ඒ හමුවීම් හා සාදයන් එතරම් ම රසවත් වූ නිසා මා නොලිව්වොත් හරි මදි යැයි හැඟෙන්නේය. එරියස් තියාගෙන ජීවත් වීම කොච්චියා ට හුරු නැත්තේය. ඒ නිසාම මේ පොස්ස්ටුව ලිව්වේය. ඊළඟ පෝස්ටුවේ කාලයකට පසු කණ්ඩා මුණ ගැසීම හා මිනිහා සමගද බලාපොරොත්තු වූ ලෙස ආතල් ගැනීමට නොහැකි වූ කණගාටුව ගැනද ලියන්නට ඉන්නේය.