Showing posts with label ෆිල්ටර් කෝපි. Show all posts
Showing posts with label ෆිල්ටර් කෝපි. Show all posts

Sunday, October 23, 2016

සමුද්‍රා මැරූ වීදිය බණ්ඩාර,කෝපි පිස්සුව සහ හාඩ්කෝර් කොච්චියාගේ නෝනාගේ උපන් දිනය

කලින් පෝස්ටුවේ කොච්චියා සිය ඇබ්බැහිවීම් ගැන ඉඟි දුන්නේය. එයින් එකක් නම් කෝපිය. කොච්චියා කෝපි බීමට මනාපය.  ඒ අදක ඊයෙක නොවේය. කොච්චියා හිච්චියා සන්දියේ සිටම මහ ගෙදර වත්ත පිටිපස්සේ තිබ්බේ කෝපි ගස් ය. පරණ කෝපි ගස් වල දෙබල වල් මත හිද කුඩා කොච්චියා අපමණ පොත් කියවා ඇත්තේය. ඉන් අමතක නොවන පොතක් නම් වීදිය බණඩාරය. කතුවරයා අමතකය. ජයෝ බණ්ඩාර මරා සමුද්‍රා අත් පත් කර ගන්නා වීදිය නොහොත් වේධය මට වීරයෙක් වූවේය. මායාදුන්නේ හා ටිකිරි බණ්ඩාර රාජසිංහ ව කම්පනය කළ වේධය … සමුද්‍රා දියේ ගිල්වා මරා දැමූ වේධය… දෙමළුන් හා පරංගි පෙති ගැසූ වේධය...ජාති වාදී ආගම් වාදී වේධය...මට වීරයෙක් උනේය… ඒ කෝපි ගසක් උඩ හිද ගෙන පොත කියවද්දීය. කොච්චියා පිස්සු වැටුනේ ඒ නිර්භීත කමටය… ළමා කාලයේත් කොච්චියා වීර ප්‍රේම කතා වලට ප්‍රේම කළේය… එදා සූරිය දේවිය කොච්චියාගේ සිහින කුමාරිය වූවාය...ඈ මායාදුන්නේ ගේ දියණියය...කිරි සුවදට පෙර ලේ සුවදට පෙම් කළ ටිකිරි බණ්ඩාර ගේ සොයුරියය...ඈ සිය රාජ්‍යයේ සතුරාට පෙම් කළාය...විවාහ වූවාය… ඔහු බේරා ගැනීමට උමගක් කැණුවාය…එදා කොච්චියා සිහින මැව්වේ එවන් ගැහැණියක්‍ ය…


කෝපි බීමට එකල කොලොම්පුරේ තිබූ හොදම තැන බැරිස්ටාවය….කොච්චියා එහි කෝපි බීම උමතුවක් කර ගත්තේය…  උණුවෙන් එස්ප්‍රෙසෝ ඩබල් ෂොට් එකක් ය… කෝපි බොන්නේ ඒ තද ඇරෝමාව විද ගන්නටය.. ලතේ(latte) වගේ ලාමක ඒවා කොච්චියාට හරි යන්නේ නැත… කොච්චියා hardcore පොරක්‍ ය… සෙක්ස් කිව්වත් කොච්චියා කැමති hardcore ය… එහෙම කිව්වාට environmental variables මත රසය වෙනස් වන අවස්ථා ද නැත්තේම නොවේය… ඉදලා හිටලා අයිස්ඩ් කැෆේ ලතේ ද කොච්චියා බොන්නේය… සෙක්ස් ද ඒ වගේය.. කොෆී ෆ්ලේවර්ඩ් හොට් චොක්‍ලට් උනත් අවස්ථාව අනුව බොන්නේය….සමහර විට ඊට උඩින් විප්ඩ් ක්‍රීම් ද තිබ්බොත් හොදය... හැබැයි බයි ඩිෆෝල්ට් කොච්චියා හාඩ්කෝර් ය.


අදටත් මා කෝපි පිස්සෙක්‍ ය.. ස්ටාර්බක්ස් හෝ කොස්ටා හෝ කොෆී බීන් කියා නැත්තේය...කෝපි එකක් එක්ක පොතක් කියවීම තෘප්තිය දෙන්නක්මය..අද ලංකාවේ ගොඩ දෙනෙක් කොෆී ෂොප්ස් වලට යන්නේ පොෂ් වෙන්නය.. ලව් කරන්නට වටාපිටාවක් සොයා ගන්නටය.ගිහිල්ලා බොන කෝපියක් නැතිය...තොල ගාන්නේ ජූස් ය..තාමත් ලංකාවේ හරි හමන් කෝපි සංස්කෘතියක් නැත්තේය.


ලෝකයේ ඉස්තර්ම්ම කෝපි රැසක් රස බලා ඇති කොච්චියා අදත් ආසා කරන්නේ ගෙදර කෝපි ගස් වලින් රතු පැහැ ගෙඩි කඩා  අවුවේ වේලා ගෙවල් තුනකට එහායින් සිටි ඇමී ආච්චී නම් ගැහැනිය විසින් කොටා දෙන ලද ඒ හෝම් මේඩ් කෝපිය… කොච්චියා ඒ සුවද අදත් සිතින් විදින්නේය. කෝපි වලට පෙම් කළ..ඒ නිසාම කෝපි වැවූ කොච්චියා ගේ ආදරණීය ආච්චීත් අසල්වැසි ඇමී ආච්චීත් දෙදෙනාම අද ඇත්තේ සුර ලොව යයි සිතීමට කොච්චියා මනාපය. ආච්චී හදා දුන් බිත්තර කෝපි රසය අදටත් මනසින් කොච්චියාගේ රස නහර ස්ටිමියුලේට් කරන්නේය.

කොච්චියා ඉස්සර සීදුවේ නෑයන්ගේ මළගෙවල් වල නයිට් ගැසීම ඉතා උනන්දුවෙන් කළේය. කැරම් අතක් ගසමින් හෝ ඕමියක් බලමින් ඉන්නා අතරේ අහල පහල ගෙවල් වලින් ගෙනෙනා කෝපි කෝප්පය ගෙන එන්නේ දිව්‍යමය සැපයකි.දැන් දැන් කොළඹ පමණක් නොව ගමේ ගොඩේ ද බොහොමයක් මල ගෙවල් වල නිදි මරන්ට කිසිවෙක් නැතිවා මෙන්ම එහා ගෙදරින් ගෙන ආ කෝපි ෆ්ලාස්ක් එක වෙනුවට ඇත්තේ කසිකබල් නෙස්කැෆේ මැෂිමක්ය.


සිරි පොද ඇද හැලෙන නුවර ටවුමේ හැන්දෑ යාමයන්හි පරණ බේක් හවුසියේ ආලින්දයේ කොච්චියා කෝපි බී ඇත්තේය.. වරක් දෙවරක් නොව කීපවරකට වඩා වැඩි වාර ගණනක්ය. කෝපි කෝප්පය තොල ගානා අතර එලිය බලනා කොච්චියාට පෙනෙන්නේ තෙත සුවදට ඇද හැලෙනා පොද වැස්සය...කුඩ ඉහලා ගෙන යන ඔසරි හැදි ළදුන්‍ ය.. එකී මෙකී හැඩ තල කොච්චියා ගේ මන දොළ පිරවූ අතර කෝපි කෝප්පය ඒ දැකුම් හැගුම් සේ අවදි කරවූයේ නැතුවාද නොවේය.. නුවර ළදුන් හැඩකාරය. කෝපි වලට වඩා සෞම්‍ය ය..එනම් hardcore නෙවේ වගේය…. ඒත් බැලූ බැල්මට පෙනෙන දේ පිළි නොගත යුත්තේය. කෝපි වුනත් බීලාම බලන්නට ඕනාය.ඇතැම් තද කලු කෝපි සැර නැති අතරම ලා පාට කෝපි තද සැර වන අවස්ථාද ඇති බව කෝපි ලෝලියෝ දන්නවෝය.


වීදිය බණ්ඩාර සමග මුහුණට මුහුණ සටන් කළ හැක්කෙක් එදා ලක් දිව නොසිටියේය. රාජසිංහ මෙන්ම අසවේදු ද ඒ නම අසා දෙදරුවෝය.. හත්වෙනි බුවනෙකබා ගේ හයිය වීදිය බණ්ඩාර ය...පොන්නයා යයි නම් ලද දොන් ජුවන් ධර්මපාලගේ පියා ඔහුය...වේධය යාපනයේ වාගරාජගේ සෙබළුන් අතින් මරා නොදැමුණා නම් හා ජුවන් තම පියාව ඈත් කර නොගත්තේ නම් අද දොන් ජුවන් කියා පොන්නයෙක් ගැන අප අසන්නේ නැත්තේය...ඒ වෙනුවට අසන්නේ සීතාවක රාජසිංහට පහරට පහර ගැසූ ධර්මපාල ගැනය...වේධය එසේය… ඔහු ලේ පිපාසිතයෙක්ය...රාජ ලේ පරංගි ලේ හෝ දෙමළ ලේ ඔහුට අදාල නූයේය… ලේ නම් ලේය.. පිපාසා නම් පානය කළ යුත්තේය..මා හැදෑරූ..දැන ගත් වීදිය බණ්ඩාර එසේය.. වීදිය බණ්ඩාර ගේ අවසන් සටන ඔහුගේ වීරත්වයේ ක්ලයිමැක්ස් එකය. සිය මිතුරු බංගෙයි රාල හා එක්ව සතුරන් සියයකට වඩා තනිව පොලු ගැසූ වීදිය බණ්ඩාරව මුහුණට මුහුණ සටන් කර පැරදවිය නොහැකි බැව් අවබෝධ කර ගත් සතුරු සෙබළෙක් සියඹලා ගසක් මතට නැගී පසු පසින් ගැසූ හෙල්ල පහරකින් මහ පොළව සිප ගත්තේ එදා මෙදා තුර ලංකාවේ බිහිවූ දරුණුතම සටන් කරුවා යැයි සිතන්නට කොච්චියා කැමතිය.

කෝපි ගැන කියනා විට කොච්චියාගේ සිත් ගත් අනෙක් කෝපිය නම් තුර්කි කෝපිය. Turkish coffee කියන්නේ වෙනම සංගිස්කුරුතියක්‍ ය..Espresso එකක රළු බව, ලාංකීය අපට හුරු මඳක් සෞම්‍ය ඇරෝමාවක් ඔබ්බවා ඇති තුර්කි කෝපි කොච්චියා බොන්නේ සීනි නැතුවය.. මේ දාලා ඇත්තේ එහි පින්තූරයක් ය.



ශීෂා කියන්නේ හූකා වලටමය..දැන් දැන් ලංකාවේද හූකා කැෆේස් තියෙන්නේය..ඇපල් මින්ට් රස කැවූ දුම්කොල දුම උරමින් බොන තුර්කි කෝපි එක ඔබව දිව්‍ය ලෝකය කරා ගෙන යන්නේය.. ශීෂා ගැන වෙනම ලිවිය යුත්තේය. අර්ධ දහනයකට ලක් වන දුම්කොළ වලින් එන ඒ සැර ටද කොච්චියා මනාපය..කාලයක් හැම බ්‍රහස්පතින්දාම කොච්චියා නෝනාත් සමග ශීෂා උරන්නට ගියේය..ශීෂා ගසමින් තුර්කි කෝපි බොමින් රමී ක්‍රීඩා කළ යුගය අමතක නොවන්නේය. . එදා සහ අදත් ඕමානයේදී ශීෂා වලට කොච්චියා යන්නේ ඇඩ්‍රස් කැෆේ එකටය. එතන අපට ගෙදර වගේය. ඇඩ්‍රස් කැෆේ එක සබැඳි කතාද එමටය. ඒ හා බැඳි චරිතද ක්‍රීඩාවේ උන්මත්තක භාවය ගැනද ඉදිරියේදී ලියවෙනවාය.



කොච්චියාගේ හිත ගත් ඊලග කෝපිය නම් අරාබි කෝපි ය..අරාබි කිව්වාට මෙහේ වැවෙන කෝපියක් නැත්තේය..රට ඉදි හැරුණාම තණකොල වත් නොවැවෙනා අරාබිකරයේ කෝපි කියන්නේ උන්ගේ සංගිස්කුරුතියේ ප්‍රධාන අංගයක් ය. ඕමානයට ආ මුල් කාලයේම කොච්චියා හොඳම අරාබි කෝපි සෙවීමට වෙහෙසුණේය.දවසක් කොච්චියා හිතවත් ඕමානියෙක් ගෙන් ඇසුවේ හොදම kahwa (කෝපි) හොයා ගන්නේ කෙසේද කියාය..මිනිහා කීවේ කඩේට ගොස් කහ්වා සිලානියා ඉල්ලන්නට කියාය. බලාගෙන ගියාම මේ කියන්නේ අපේ ලංකාවේ කෝපිය. ඒ කෝපි වලට විවිධ කුළුබඩු එක් කර බ්ලෙන්ඩ් කර සාදන්නකිය මේ අරාබි කෝපි. අරාබීන් කෝපි නොහොත් කහ්වා බොන්නේ කුඩා කෝප්ප වලය..රට ඉදි හපමින් කෝපි බොමින් හවස් වරු ගත කරන අරාබි ගැහැනුත් පිරිමිත් කොච්චියාට හුරු පුරුදුය. ඔය අරාබි කෝපි බීමේ ද එක් එක් රීති තියෙන්නේය..කෝපි වක්කරන්නේ ගෙදර මූලිකයා ය. කෝප්පය ඉවර වූ සැණින් ආපහු පුරවන්නේය. දැන් ඇති නම් කෝප්පය සෙමෙන් සෙලවිය යුතුය. නැත්නම් ආයෙත් පුරවනු ඇත්තේය.


වීදිය බණ්ඩාර ගැන වූ ඒ පොත කොහේට උනා දැයි නැත්තේය. එය කියවා වසර විසි පහකට වැඩිය...තවමත් ජයෝ බණ්ඩාර හා වීදිය බණ්ඩාර අතර සටන සිතින් මවා ගත හැකි තරම් ඒ පොත ප්‍රබලය. ඒකට වෙච්ච දේ ගැන හිතමින් මේ මොහොතේ කොච්චියා ඉන්නේ ඉන්දීය අවන්හලක් ඇතුලේය. පෙර පෝස්ටුවක කිව්වා වගේ සිකුරාදා පාතරාසය ගන්නට ඇවිල්ලාය. කොච්චියාගේ ඉදිරියේ දැන් තියෙන්නේ තවත් කෝපි කෝප්පයක්‍ ය. ඒ එදා පෝස්ට් එකේ කිව්වා වගේ ෆිල්ටර් කෝපි එකක් ය. ෆිල්ටර් කෝපි රසය නිකන් විදින්නට බැරිය. දකුණු ඉන්දීය ගිතෙල් රසය දිවේ යට තියෙද්දි ෆිල්ටර් කෝපි වඩා රසය.
වීදියේ බණ්ඩාර ව බැක්ග්‍රවුන්ඩ් එකේ තබාගෙන කොච්චියා ලියූ කෝපි කතාව මෙසේ නිම වෙනවාය. සෙක්ස් සහ විස්කි ගැනත් මේ විදියට ලියවෙන්නේය. සුරුට්ටු සහ හූකා ගැනත් ලියනවාය...සිගරට් ගැන කොච්චියා දන්නේ අබැටක් තරම්ය. නොදන්නා නිසා ඒ ගැන ලියන්නේත් නැත්තේය. කෝපි ගැන අන්තිම ට ආයෙත් කියන්නේ මූඩ් එක හා කාලගුණය වගේම වේලාව වගේ variables පදනම් කරගෙන තෝරා ගැනීම කල යුතු බවය.


පසු සටහන :  මේ පෝස්ටෙක ලියා නිම කළේ සිකුරාදා පාතරාසය සමග මය.සෙනසුරාදා කොච්චියාගේ නෝනා ගේ උපන්දිනය යෙදී තිබුණේය. ඈට සුබ පතා වෙනම පෝස්ටුවක් ලියන්නට කොච්චියා සිතා සිටියේය. ඉරිදා වැඩ දවසක් බැවින් අපි ඇගේ උපන් දිනය සිකුරාදා රෑ සැමරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කොච්චියා සෙනසුරාදා කිසිවක් ලියා ගත හැකි මට්ටමක නොසිටියේය. ඒ ගැන සාක්ෂි දරන්නට හැලපයා ඇත්තේය.
කොච්චියාට නෝනා ගැන කියන්නට අපමණ කතා ඇත්තේය..නමුත් මේ විතරක් කියා ඈට සුබ පතන්නේය. කොච්චියා සමග පවුල් කෑම පහසු නැත්තේය..ජීවිතය ගැන කිසිම බරක් නැතිව ඒ මොහොතේ පමණක් ජීවත් වන මිනිහෙක් සමග වාසය ගැහැණියකට පීඩනයක්ය.උද්දච්ච, වගකීම් විරහිත කොච්චියා ආදරය කිරීමම ඉතා වටින්නේය. ඒ ගැන කීමට වචන නැත්තේය..
මගේ ආදරණීය නෝනාට සුබම සුබ උපන්දිනයක් වේවා!

Monday, September 26, 2016

ඕමානයේ සිකුරාදා - උප්පුමා සමග ෆිල්ටර් කෝපි

කොච්චියා වර්තමානයේ ජීවත් වෙන්නෙ ඕමානයේ. අවිවාදයෙන්ම ගල්ෆ් කලාපයේ තියෙන සුන්දරම සහ මිත්‍රශීලී කම අතින් ඉතා ඉහලම රටේ. ඕමානය ඇතුලු සියලු ගල්ෆ් රටවල් සති අන්තය ලෙස සලකන්නේ සිකුරාදා සහ සෙනසුරාදා හෝ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා. මමත් නෝනාත් ඕමාන් ආ මුල් මාස හයක වගේ කාලයේ අපේ සති අන්තය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ලෙසට තිබුනත් පසුව එය සිකුරාදා සහ සෙනසුරාදා බවට නිවේදනය කරනු ලැබුවා. සියලු මුස්ලිම් බැතිමතුන් සිකුරාදා (ජුමා) පල්ලි යාම අනිවාර්යයෙන් කරන්නක්. සංස්කෘතීන් දෙස බලා රසවින්දනය ලැබීමට හුරුවූ මට සිකුරාදා දවල් රොතු බුරුතු පිටින් පල්ලි යන බංගාලි ඉන්දීය හා පාකිස්තාන ජාතිකයනුත් ඕමාන ජාතිකයිනුත් දැකීම ප්‍රිය උපදවන්නක්. සෑම අවන්හලකම පවා එදිනට විශේෂ බිරියානි බතක් ඉදෙනවා. සිකුරාදාව තමයි ඔවුන්ගේ විශේෂ දවස.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ  ඕමානයේ බහුතරයක් නිවෙස් වල රාත්‍රී සාද  පැවැත්වෙනවා. මතට ප්‍රිය කේරළ ජාතිකයන් වගේම ලාංකිකයන් එහි මුල් තැන් ගන්නවා.ලාංකික ප්‍රාමාණ සමීක්ෂකයන් රැසක් සිටින මස්කට් හි විවිධ තැන් වල පැවැත්වෙන සාදයන් ඉතා රසවත්. අපේ නිවසේත් බ්‍රහස්පතින්දා රෑ සාදයක් අනිවාර්ය අංගයක්. බොහෝ මිතුරන් කාලයක සිටම අපේ ගෙදර සාද වලට කැමැත්තක් දක්වන්නේ ඉන්දියානු ආරේ කෑම වලින් හෙම්බත් වෙච්ච කටට අපේ රසට මගේ නෝනා පිසින කරවල බැදුමක් හා පොල් සම්බෝලයක් සමග බත් කටක් කෑමට ලැබෙන නිසා මයි.


සිකුරාදා උදෑසන කියන්නේ සතියේ පාලුම වරුව කිව්වොත් නිවැරැදියි . රෑ සාද වලට සහභාගී වූවන් මහ දවල් වන තුරු නිදා ගැනීම අනිවාර්ය අංගයක්. මොකද සිකුරාදා හවසටත් කොහෙන් හරි හොයාගෙන අඩියක් ගහන එක අපේ අය වරද්දන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන ශක්තිය නැවත ලැබෙන්නෙ ඔය නින්දෙන්. බොහෝ ක්‍රිස්තියානි බැතිමතුන් උදෙන් පල්ලි යන අතර හින්දු භක්තිකයන් සිකුරාදා උදේ කෝවිල් යාමට යොදා ගන්නවා. මුස්ලිම්වරුන් දවල් පල්ලි යාමට ඇති නිසා නිවෙස් වලින් පිට යන්නේම නැති තරම්. ඉහත කුලක වලට අයත් නොවූවත් බහුතරයක් දෙනා සිකුරාදා උදෑසන හොද නින්දක් වෙනුවෙන් භාවිත කරනවා.


කොච්චියාගේ එදා ඉදන් පුරුද්දක් තමයි පාන්දර පහට නිදා ගත්තත් හත හමාර වෙනකොට අවදි වෙන එක. ඕක මට අදටත් වලංගුයි. මම උදෙන් නැගිටිද්දි මගේ නෝනාත් සති අන්තය අපි එක්ක අපේ ගෙදර ගත කරන අතිජාත මිත්‍රයා ඩිස්තිත් බොහෝ විට රාත්‍රි සාදයෙන් පස්සෙ අපේ ගෙදරම රැය පහන් කරන දිනුශත් ඇහැරෙන්න හිතලා වත් නැහැ. ඒ වෙද්දි ඇහැරලා ඉන්නෙ අපේ ගෘහ සේවිකාව විතරයි. නානකාමරයට වැදිලා මුහුණ කට සෝදා ගෙන කොට කලිසමකින් සැරසෙන මට සිකුරාදා උදේ කරගන්න වැඩ ගොඩයි. කාමරෙන් එලියට එනකොටම ,

"සර් තේ එකක් හදන්නද?" 

කියලා අහන්නෙ අපේ ගෘහ සේවිකාව විතාන. කවදාවත් ඇගේ තේ එකක් නොබිව්වට යාන්ත්‍රිකව වගේ උන්දෑ හැමදාමත් ඕක අහනවා.
විතාන කියන්නෙ මැදි වියේ ගැමි ගැහැනියක්, දවස පුරාවටම සිනා මුසු මුහුණින් ගෙදර වැඩ ටික කරන විතාන මගේ නෝනාට ලොකු පහසුවක්.

සිකුරාදා උදෙන්ම එලියට බැහැලා වාහනෙත් පණගන්වාගෙන මම මුලින්ම යන්නෙ පාතරාසය ගන්න. කවදත් මගේ තේරීම දකුණු ඉන්දීය ආහාර. එයිනුත් උප්පුමා විශේෂයි.ළමා කාලයේදී මට උප්පුමා මුලින්ම හදලා දුන්නේ පොඩි මහම්මා විසින්...මහම්මා කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේ ඇගේ ද්‍රවිඩ මිතුරියකගේ රෙසිපියට තමයි පාන්දරක මම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ඉද්දි හදලා ගෙනත් දුන්නෙ.. එදා සීනි එක්ක මිශ්‍ර කරගෙන කෑවත් අද මම සීනි එක්ක කන්න කැමති නැහැ.දැන් නම් ඉතින් කන්න හොඳත් නැහැ.කොහොම උනත් මගේ නෝනා හදන උප්පුමා එකට ගහන්න පුලුවන් කිසිම අවන්හලක් මට හම්බ වෙලා නැහැ මස්කට් වල නම්.. වගකීමෙන් කියන්නෙ මොකෝ මම නොකාපු දකුණු ඉන්දීය අවන්හලක් මස්කට් වල තියෙන්න විදියක් නැති නිසා.පසු ගිය සතියේ මම ගියේ අසෙයිබා වල තියෙන වසන්ත භවාන් එකට..උප්පුමා වෙනුවට එදා තිබ්බෙ කිචඩි. යටින් තියෙන්නෙ පින්තූරෙ.
මේ තියෙන්නෙ කිචඩි. රුලං පිටි නොහොත් රවා වලින් හදන්නෙ.
කෑමෙන් පස්සෙ මගේ ප්‍රියතම පානය තමයි ෆිල්ටර් කෝපි. තමිල්නාඩු අවන්හල් වලට ආවේණික ෆිල්ටර් කෝපි කෝප්පයක් බිව්වම දැනෙන හැගීම මට නම් මාරයි. ඔන්න දැම්මා ෆිල්ටර් කෝපි පින්තූරෙත්.
ෆිල්ටර් කෝපි කෝප්පය
මම ආසම ෆිල්ටර් කෝපි තියෙන්නෙ අපේ ගෙවල් ලගම තියෙන ඉන්දියන් ඩිලයිට් එකේ..ෆිල්ටර් කෝපි හදන එක වෙනම කලාවක් වගේම ඒක සම්මත ක්‍රමේට බොන එකත් එක්තරා කලාවක්.
ඉන්දියන් ඩිලයිට් එකෙන් කෝපි බොන්න කැමති අනෙක් හේතුව තමයි ඔවුන් ගේ කෝපි එකට මට කැලරි රහිත සීනි ආදේශක එකතු කර ගන්න පුලුවන් වීම. අනෙක් තැන් වල සීනි මිශ්‍ර කරලම තමයි ලැබෙන්නෙ.ඩිලයිට් එකේ තියෙන නිදහස් පරිසරයටත් මම කැමතියි, ඒ උනාට එතන ටිකක් පොශ් වගේ නිසා සුපුරුදු දකුණු ඉන්දීය සංස්කෘතික ලක්ෂණ එතන අඩුයි වගේ.



ආයෙත් උප්පුමා ගැන ......උප්පුමා වල මූලික ප්‍රභේද දෙකක් තියෙනවා..එකක් තමිල්නාඩු ක්‍රමයට සහ අනෙක කේරල ක්‍රමයට නොහොත් මලයාලි ක්‍රමයට. කේරලේ මිනිස්සු උප්පුමා හදද්දී ගිතෙල් දාන්නෙම නැහැ...විශේෂයෙන් අබ එකතු කරනවා..ඔවුන්ගේ උප්පුමා එක වියලියි..පපඩමක් මිශ්‍ර කරගෙන සමහරු සීනි හෝ කෙසෙල් ගෙඩියක් සමග තමයි කන්නෙ. මම නම් කෙසෙල් ගෙඩිය කන්නෙ නැහැ .. පපඩම එක්ක කේරල උප්පුමා එක තමයි මගේ කැමැත්ත. තමිල්නාඩු ක්‍රමේට ගිතෙල් එකතු කරලා හදද්දී උප්පුමා එක තෙතයි..ඔවුන්ගේ ක්‍රමයට සීනි එක්ක කන්න බැහැ කොහෙත්ම...නමුත් ඒකෙත් අමුතු රහක් තියෙනවා.



කේරල ක්‍රමයට උප්පුමා
බඩ කට පුරෝ ගත්තට පස්සෙ මම යන්නෙ බාබර් කෙනෙක් ලගට. ඒ රැවුල කපන්න. කොච්චියා සතියට එක දවසයි රැවුල කපන්නෙ.. සතියක් රැවුල වැවුනම ස්ටයිල් එක සතිපතා වෙනස් කරන්න පුලුවන් අවශ්‍ය නම්.. දැන් නම් කාලෙක ඉදන් මම ෆ්‍රෙන්ච් කට් එක තමයි තියන් ඉන්නෙ නෝනාගේ කැමැත්ත අනුව.රැවුල් කැපීමේ දක්ෂයො තමයි තුර්කි ජාතිකයො. ඒ උනාට බ්‍රහස්පතින්දා රෑ ශීෂා කැෆේ වල ගත කරන ඔවුන්ව සිකුරාදා උදේට අල්ල ගන්න එක ලේසි නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට සිදු වෙන්නෙ පකිස්තාන හෝ ඉන්දියානු බාබර් සාප්පුවක සේවය ලබා ගන්න.

වාහනේ හෝදගන්න පෝලිම් වල ඉන්න එකත් මට නම් මහ එපා කරපු වැඩක්. දවසක් ඇර දවසක් ඇවිත් බංගාලි ජාතිකයෙක් වාහනේ හේදුවට මිනිහා කරන්නේ අමු බොරුවක්. ඔය වාහන හෝදන බංගාලි ඔක්කොම බොරු කාරයො නිසා මිනිහගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඒ නිසා සති අන්තයේ car wash එකකට ගිහින් වාහනේ හෝදගන්න එක තමයි කරන්නෙ.

උදේ 7.30 ට ගෙදරින් එලියට ගියාම 9.30 වෙනකොට ඔය වැඩ සේරම කරගෙන ඉවර වෙනවා. ඒත් තාම නෝනා නිදි, මොකෝ එයා නැගිට්ටා නම් කෝල් එකක් අනිවාර්යයි. එලියට එද්දිම පොතකුත් දාගෙනම එන්නෙ ඒ නිසාමයි.ලංකාවෙ වගේ නෙවෙයිනේ, මෙහේ ෆ්ලැට් එකක් ඇතුලේ ඉන්නකොට පුදුම කම්මැලිකමක් තියෙන්නෙ. ගෙදර ලගම තියෙන පාක් එකට ගිහින් ලග කඩෙන් වතුර බෝතලයකුත් ගෙන්න ගෙන පැයක් විතර පොත කියවද්දි තමයි නෝනාගෙන් කෝල් එක එන්නෙ.