Thursday, July 20, 2017

(18 +) නුවර ඉස්ටේසමේ රෙන්න ගිය සිරිපාලගේ කතාව



ජීවිතයේ මා ලිවූ මුල්ම බ්ලොග් පෝස්ට් එක මේය. මීට අවුරුදු අටකට ඉහතදී ලිවූ මෙය ඇතුලත් ඒ මුල් බ්ලොගය දැන් මටවත් සොයන්නට නැත්තේය.
ඒ කාලේ කොච්චියා ලියූ බොහෝ දෑ මේ ආකාරයේය. මේ ලිවීම් රටාව අද ඉන්නා කොච්චියාගේ නෙවේ වගේය.... ඒත් මේ ඌමය
...........
කොච්චියාට දැනෙනා මනුස්ස හිතේ පැතිකඩක් මෙසේ එලියට දමා ඇත්තේය. මෙහෙම නොවනා එවුන් රටේ තොට ඇත්තේ මෙන්ම නැත්තේද විය හැකිය. ඒත් ඒ හැම පැතිකඩක්ම කවුරුන් හෝ එලියට දැමිය යුත්තේය.
..................................................................................................................................................

සුදුහුම්පොළ ඉඳන් රේල් පාර දිගේ පයින්ම ටවුමට ගාටපු සිරිපාල ඉස්ටේසමට ගොඩ උනේ පැයක් හමාරක් එතන ගත කරලා දවල් වෙද්දි ගුඩ්ෂෙඩ් එක පැත්තට යනවා කියලා හිතාගෙන..සිරිපාල කරන්නේ නුවර ටවුමේ ටොපි විකුණන එක.. බස් ඉස්ටෑන්ඩ් එකට වඩා ඉස්ටේසමේ තමයි සිරිපාල වැඩිපුර රැඳෙන්නෙ. බදුලු කෝච්චියේ උන්නු පොඩි එකෙකුට චුයින්ගම් එකක් අතට දීලා සල්ලි ගනිද්දි සිරිපාල ගේ ඇහැ ගියේ පොඩි එකාගෙ අම්මගෙ තන් දෙක දිහාට. කලු පාට බ්ලවුස් එකේ බොත්තම් අස්සෙන් තමන්ගෙ හිතේ ඉන්න යකා ඇස් බෝල දෙකෙන් විනිවිදලා යවාපු සිරිපාලගේ හිත මිනිහගෙ කණටම කොඳුරලා කිව්වෙ බුදු අම්මේ ඒකෙ සයිස් එක.... ගමටම කිරි දීලද කොහෙද.
බර වෙච්ච හිත ගසා බසා දාලා ප්ලැට්ෆෝම් එක දිගේ කෝච්චිය අයිනෙන් ඇවිදින්න පටන් ගත්තා. ඇවිදින අතරේ … හිතමද බර වුනේ කියලත් සිරිපාල ට නොහිතුනාම නෙවෙයි .
නැරඹුම් මැදිරියෙ උන්නු සුද්දියෙක් අත වනලා සිරිපාලට අඬ ගහන්නෙ ඔය අතරෙ…වැඩි මිලට පෙපර්මින්ට් පැකට් එකක් වික්ක සිරිපාල සල්ලි ගන්න අතරේ සුද්දි ගෙ නිරුවත් කලවා දිහා බලන් හිටියේ අපිට කොහෙන්ද බූල් බල්ලො කියලා හිතාගෙන.
සිරිපාලට හදිසියේ මතක් උනේ දවල් වෙනකොට ඉස්පිරිතාලෙ ලෙඩ ඇඳේ ඉන්න තමන්ගෙ පවුලට කෑම එකක් ගෙනියන්න ඕනෙ බව. කාලයක් තිස්සේ හතියෙන් පීඩා විඳපු සිරිපාලගෙ අඹුව ලෙඩ ඇඳටම වැටුණේ ගිය මාසේ…රාසිං දෙව් විද්‍යාලෙට යන කොල්ලො දෙන්නට ඕන කරන සල්ලි පංගුව නම් උදෙන්ම හම්බ කර ගත්තෙ උදේ සුසන්ත සර්ගෙ බයොලොජි පන්තිය අයිනේ ඉඳන් කඩයප්පන් විකුණලා..
ප්ලැට්ෆෝම් එකේ ඔහේ ඇවිද්ද සිරිපාලට රෙන්න බරක් ආවෙ ඔය අස්සෙ..ඉස්ටේසමේ දකුණු පැත්තේ කොනට වෙන්න තියෙන වැසිකිළියේ දොර වහනවත් එක්කම සිරිපාලගෙ ඇහැ ගියේ ඒ මහතුන්ගේ වැසිකිළියේ මහත්තයෙක් ඇදලා තිබ්බ නග්න ස්ත්‍රී රූපෙටයි ඊට පල්ලැහින් ලියලා තිබ්බ කවි පන්තියටයි. පරණවිතාන මහත්තයලා ඔය එක එක බයිලා කීවට සීගිරි ගලෙත් ඇත්තෙ මේ වගේ කුණුහබ්බ වෙන්නැති කියලා සිරිපාලට හිතුණා...මොකෝ ඒ කාලෙ හිටියෙත් හිංගලයො ම නේ… අද කාලෙ ඉන්ටනැට් එකේ සෙක්ස් හොයලා කප් ගහපු හිංගලයන්ගෙ මහ උන් ඒ කාලේ එහෙම නොවී පුලුවනෑ...
විනාඩි පහකට විතර පස්සෙ හුස්මක් හෙලලා අත හෝදගෙන සිරිපාල ආයෙත් ටොපි විකුණන්න මාතලේ කෝච්චියට නැග්ගා.
දෙවෙනි පෙට්ටියට නගිනවත් එක්කම ආයෙත් රෙන්න බරක් දැනෙද්දියි සිරිපාලට මතක් උනේ කක්කුස්සි ගියාට රෙන්න මතක නැති උනු බව.

Wednesday, June 28, 2017

ජොලි සීයාගේ ලලක්කා , වැව රවුමේ ස්විස් අක්කා සහ කොච්චියාගේ බාලගිරි දෝෂය

පෝස්ටුවක් ලියා ගන්නට බැරුව මාස ගණනාවක් පමණ ගතව ඇත්තේය. අද බොන්නට ගත්තේ කෙසේ හෝ අද නම් යමක් ලියනවා යැයි සිතා ගෙනමය. මේ කාලය මෙලෝරහක් නැති කොහේටවත් නැති කාල පරිච්ඡේදයක් වූයේය. බ්ලොග් ලෝකයේ සිටි මගේ අතිජාත මිතුරා වූ හැලපයා ඕමානයෙන් යාම නම් කොච්චියා ට දැඩි පාඩුවක් වීය. මිනිහා හිටියා නම් බල කරලා හෝ මේ වෙද්දී මගෙන් පෝස්ටුවක් දමා ගෙනය.


මනස එකලාසයක් නැති නිසා හෝ අධික කාර්‍ය්බහුල බව නිසාම හෝ ඒ දෙකම නොවන වෙනත් යම් හේතූන් හෝ හේතුවක් නිසා හෝ පෝස්ටුවක් ලිවීම දවසින් දවස කල් ගියේ දන්නේම නැතිවමය. බාලගිරි අද නෙවේ හෙට යැයි කියන්නාක් මෙන් කොච්චියා ද අද හිතට එන දේ අදම නොලියා හෙටට කල් දැමීමෙන් එසේ සිත් තුල පහළ උනාවූ අනේක වූ රසවත් හා වැදගත් අදහස් හා සිදුවීම් ලත් තැනම ලොප් කර දැමූවේ ඔහේලාට නොව මට පවා ඒ රසය නැවත විඳ ගනු නොහැකි ලෙසටමය. වරක් නොව දෙවරක්ම මගේ ලිවීමේ සීග්‍රතාවයේ පරිහානිය ගැන කමෙන්ට් හි පමණක් නොව පෝස්ටුවකින් පවා පහර දුන්නේ සොඳුරු සඳවතිය ය. යහපතකට තිබ්බේ ඒ පෝස්ටුවේ එකී දෝෂාරෝපණයට ලක්වූ එකම බ්ලොග් කරුවා කොච්චියා පමණක් නොවීම මුත් ඒ ලැයිස්තුවේ උඩින්ම මගේ ශ්‍රී නාමය ඇතුලත් කිරීම යම් කිසි නෝන්ඩි සහගත බවකට මා ඇද දැමූ බවද කීමට මනාය.


කීප සැරයක්ම මා හට ලියන්නේ නැත්තේ මන් දැයි ඇසූ අනෙක් තැනැත්තී එරන්දී ය. ඈට වූ පොරොන්දුවද ඉටු නොකළ කොච්චියා හට ඈ එදින තර්ජනය කළ පරිද්දෙන්ම අද වනතුරුත් කතා නොකළාය.


කොච්චියා පසුගිය දිනවල උනන්දුවෙන් ඇසූ ගීයක් වේ නම් ඒ ජොලි සීයා ගේ ලලක්කාය. ලලක්කා කියන්නේ පට්ටම ගීතයක් බව දැනෙන්නේ එය කීප වතාවක් බොක්කෙන්ම ඇසූ පසුවය. කෙටියෙන් කිව්වොත් මට නම් එය අමරසිරි ගේ ළඳුනේ ට වඩා පට්ටය. අමරසිරි ක්ලැසික් පොරක් ය.. ජොලි සීයා ක්ලැසික් නැති ය… ඒත් බජාර් එකේය. ඩීසන්ට් පොරක් වන සැබෑ ජොලි සීයා ද කොච්චියා හොඳින් දන්නේය… අමරසිරි වද එහෙන් මෙහෙන් දන්නේය. ඇත්ත කතාව නම් ජොලි සීයා කුහකයෙක් නොවූ සරල මිනිහෙක් බවය...එසේ සීයා ගැන පමණක්.කියා කොච්චියා නැවැත්තුවේ ඇයි දැයි ඔහෙලාට තේරෙන්නට ඕනාය. මා කාටවත් ගෙඩි පිටින් කුහකයා කිව්වේ නැතිය.


ඔය ලලක්කා ගැන අහද්දී මට මතක් වෙන්නේ වසර හයකට එපිටදී මට හමුවූ ස්විස් අක්කාය. ඒ කාලයේ මා නුවර ඔහේ නාස්ති වූ ආකාරය මීට පෙරද කියා ඇති නිසා වැඩි ටිප්පනි ඕනෑ නැතිය. රෑ හත වෙද්දී අන්ධකාරයේ ගිලෙනා නුවර ටවුමේ විවිධ ආලෝකයන් සොයා ගැනීම එක්තරා කලාවක් ය.


මීට පෙර වතාවක කියා ඇත්තාවූ ඒ එක් මූසල දෙසැම්බරයකට පසුව ආ ජනවාරියේ අග සතියේ කොච්චියා සිය සමීපතම මිතුරෙක් වූ මලියා සමග නුවර ගියේ රිලැක්ස් වෙන්නටය. මැරෙන්නට උනත් දෙපාරක් නොහිතා එන ජොකියෙක් වූ මලියා කාලයක් ජාතික කණිෂ්ඨ රගර් කණ්ඩායම ද නියෝජනය කල එකෙක් වූ අතර එකල රාජ කුමාරවරු සමගද ගැවසුනේ ක්‍රීඩාව නිසාමය. කොච්චියාගේ මල්ලී වු සඳුවාගේ ප්‍රාණ සම මිතුරා වූ මලියා කුපාඩි ක්‍රියා සඳහා පමණක් මා විසින් සහභාගි කර ගත්තේ රහස්‍යභාවය රැකීමේ ඇති හැකියාව මෙන්ම ඕනෑම රිස්ක් සිටුවේෂන් එකක් මැඩ පැවැත්වීමේ සහජ හැකියාවක් මිනිහා සතුවූ නිසාය.


මේ කියනා දින උදෑසනම නුවර බලා ආ මාත් මලියාත් සුපුරුදු පරිදි සැපත් වූයේ මගේ යෙහෙළිය ගේ ගෙදරටය. ඒ ගැන මෙන්ම ඈ ගැනද මීට පෙර ලාවට කියා ඇති නිසා අටුවා ටීකා අවශ්‍ය නැතිය. හැන්දෑ වන තුරු නිදා ගෙන නැගිට්ටේ ටවුමට යන්නටය. නුවර ටවුම හත වෙද්දී අඳුරේය. ඒ අඳුරේ වුවද එළිය ඇති තැන් කොච්චියා එකල දැන උන්නේය. එළිය කිව්වාම විවිධ එළි ඇත්තේය. ඒ ඒ මොහොත එළිය කරන්නට ඒ ඒ එළි අවශ්‍ය වන්නේය. ඉතිින් එදා රෑ මාත් මලියාත් නේක වූ එළි අතරින් අප සෙවූ එළිය සොයා සැරි සැරුවෝය.


වැව රවුම දිගේ ඉදිරියට යද්දී හදිසියේම අපේ ඉදිරියෙන් වූ ඩබල් කැබ් රථය සිය වේගය අඩාල කළේ ස්විස් හෝටලය පේන මානයේදී ය. වම් පැත්තේ එනම් වැව පැත්තේ පේව්මන්ට් එක දිගේ ඇවිද එන්නාවූ ඔසරියක් හැඳි වැදගත් පෙනුමැති මැදිවියේ කාන්තාවක් මෙන්ම ඈ ලං වත්ම කැබ් රියේ පාත්වූ කවුලුවෙන් යමෙක් ඇගෙන් කිසිවක් විමසනා අයුරුත් අප දුටුවෝය. කැබ් රථය නැවත ඉගිලුණේ අප ඉදිරියේ ඈ දර්ශනය වීමට සලසමින් ය. අප ඈට ලං වනවාත් සමඟම විනිවිද යන සුළු බැල්මකින් අපට සංග්‍රහ කළ ඒ අක්කා මලියා විසින් ඒ වන විටත් පහත් කර තිබූ වම් පස කවුලුවෙන් එබී බැලුවාය. ඒ වන විට වචනයක්වත් මලියා හා කොච්චියා අතර හුවමාරු නොවූවත් ජීවිතාබෝධය හා අත්දැකීම් තුලින් උගත් පාඩම් ඔස්සේ යමින් මලියා ඇසුවේ,


“ කීයද ගාන?”


ඇඹරෙමින් ඈ කීවේ ,


“තුන්දාහයි”


ඈ ඒ වෙද්දීත් කාරයේ පිටුපස වම්පැත්තේ දොර ඇරගෙනය… කොච්චියා සිය කුපාඩි කට ඇරියේ ඔය අස්සේය..


“වෙන කවුරුත් නැද්ද? ඔයා නැතුව?”


“ඇයි මහත්තයා අපේ මොනාද අඩු ? ඔය   කෙල්ලො වගේ නෙවෙයි අපි..යමුකො බලන්න”


මේ ගැහැනියගේ කට හොඳ නැති බව තේරුණද කොච්චියා ආයෙත් ඇහුවේ,


“නෑ මම මේ ඇහුවෙ තරුණ කවුරුත් නැද්ද..දහ අටේ විස්සෙ වගේ”


“සර් මේ…. දහ අටේ විස්සෙ එකක් මට වදලා තමයි දෙන්න වෙන්නෙ..වෙන වැඩක් නෙවෙයි මේක..”


කියමින් ගස්සා ගෙනම දඩෝං ගා දොර වසා දැමුවාය.
………………………………………………..


වසරකට පසු


ඒ වෙද්දී කොච්චියා නෝනා සමඟ නුවර පදිංචිව සිටියේය. පෙරද කියා ඇති පරිද්දෙන් වටපුළුවේය. භක්තිමත් කතෝලිකයෙකු වන නෝනා සෑම අඟහරුවාදා හා ඉරිදා ශාන්ත අන්තෝනි දෙව් මැදුරට යන්නේ යාචකයන්ට බෙදා දෙන්නට පාන් රාත්තල් පහක් ද සමඟය. පල්ලිය තියෙන්නේ සේනානායක  වීදියේ අග හරියට වෙන්නය. සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ද ඒ අසලමය. පාන් ගන්නේ බේක් හවුසියෙන් ය. කොච්චියා ඉතා අගය කළ දෙයක් නම් ඒ පල්ලියේ පාන් බෙදනා පිළිවෙලය. කොච්චිකඩේ මෙන්ම ලියනගෙමුල්ලේද මීගමුවේ ද අඟහරුවාදා දවස් වල සාන්ත අන්තෝනි දෙව් මැදුරු වලින් පිටත යාචකයන් රැස් වන්නේ බෙදා දෙන ආහාර ලබා ගන්නටය. කිසි පිළිවෙලක් නැතිව සිදුවෙනා මේ ක්‍රියාවලිය නුවර පල්ලිය විසින් ඉතා ක්‍රමානුකූලව සකසා තිබුණේය. බත් පාර්සල් හෝ පාන් ගෙනෙනා අයට ඒවා දැමීමට විශාල පන් කූඩයක් තිබූ අතර පූජාවෙන් ඉක්බිති ඒවා අවශ්‍ය අයවලුන් හට නිසි ලෙස බෙදා දීම සිදු වූයේය.


ඔය කාලයේ නුවරින් කෙල්ලක් සෙට් කරගෙන සිටි මලියාද නිතර අපේ දිහාවේ ආවේය. සිකුරාදා රෑ ට මිනිහා එන්නේ බෝතලයක් ද සමඟමය. එසේ ආ සෑම විටකම මලියාද ඉරිදා අප සමඟ  පල්ලි යන්නට එන්නේය. කොච්චියා සහ නෝනා පල්ලියේ හැම දාමත් පුරුද්දක් ලෙස හිඳ ගන්නේ මැද හරියේ දකුණු පැත්තේ වූ බංකුවකය. පූජාව පටන් ගන්නා තුරු අප හිඳගෙන ඉන්නා අතරේ මලියා හදිසියේ මට ඇඟිල්ලෙන් ඇන්නේය..උගේ දෙස හැරුණාට ඌ බලා ඉන්නේ අනෙක් පැත්තය...සැණෙකින් හිස හරවා මගේ කණට කර..


“බලපන් බලපන් යකෝ අර ගෑනි”


“මොන...කොයි ගෑනිද ?”


“අර අරක බන්..ස්විස් අක්කා ස්විස් අක්කා”


කොච්චියාට දැන් තනි ඇහැට ඇඬෙන්නේය.. ඒ අක්කා මා දෙස බලා ගෙන ඉන්නේය..ඒ මදිවාට පල්ලියේ ගීතිකා කොළ බෙදන්නීය.


………………………………………………………………………………………………….


පසු ගිය මාස කීපය කොච්චියා ගත කළේ තමා ලෙස නොවේය.අනෙකෙක් ලෙස ගෙවූ ඒ කාලයේ මගේ ආත්මකථනයන් ලිවීම උචිත නොවන බැව් වරක් හෝ දෙවරක් ම මා නෙල්ලිප්‍රින්ස් සමගද පැවසුවේය. මා නොලියා සිටියේ ඒ නිසාය. මේ පෝස්ටුව ලිවීම පටන් ගත්තේ සෑහෙන්න කාලයකට පෙර මුත් ලියා අවසන් කිරීම පමා වූයේ ඒ නිසාය. මා මට වග කිව යුතුය. මා පෙරද කියා ඇතිවාක් මෙන් කොච්ච්චියා ලියන්නේ තමාට විඳින්නටය. එසේ නොහැක්කේ නම් නොලියා ඉන්නේය.


නැවත ලිවීම අරඹන්නට හැකි බැව් මා හට දැනෙන්නේය. එය ඉබේ විය යුත්තක්ම ය. කොච්චියා ජීවිතයට බල කරන්නේ නැතිය. ජීවිතයේ මහා සාරගර්භ යැයි සම්මත දේවලට පවා ඔහේ පාවෙන්නට ඉඩ හරින මා මෙහිදී ඊට වෙනස් වන්නේ නැතිය.මගේ මේ පෝස්ටුව හුදෙක් මා තවමත් බ්ලොග් ලිවීමේ කැමැත්තෙන් ඉන්නවා මෙන්ම ලියන්නට දේ ඕනෑ තරම් ඇති බවද කීම පිණිසම දැමූවක් මය. කියාගෙන ආ කතාව මග නතර කළේ එබැවින්ය. එහි ඊළඟ කොටස ඉක්මනින් ගෙනෙන්නේය.  







Monday, March 6, 2017

චෙෆාකි ගේ සාදය , නන්ස්ටොප් බයිලා සමග තම්බිගේ තේ පැන් සහ කොච්චියා ගේ විරහ ගීතය

හැලපයාගේ පසුගිය පෝස්ටුවේ සඳහන් වූ සිදුවීම් ගණනාවකම කොච්චියා සිටියේය. ඒ නිසාම ඒ ගැන වැඩිපුර කීමට දේ මටද ඇතැයි සිතුණේය. පසුගිය මාසයක පමණ වූ කාලය පෝස්ටුවක් ලිවීමට කිසිදු ඉසිඹුවක් නොතිබුණාවූ කාර්‍ය්බහුල වූ යුගයක් වූ නිසාම සඳවතිය හැමදාමත් කියන්නා වාගේ කොච්චියා ගේ බ්ලොගය මකුළුදැල් බැඳී තිබුණේය. ඉඳ හිටලා බ්ලොගක් කියැවීම හා ඊටත් කලාතුරකින් පෝස්ටුවකට කමෙන්ටුවක් දැමීමට එහා බ්ලොග් ක්‍රියාකාරිත්වයක් මා වෙතින් මේ කාලයේ සිදු වූයේ නැතිය.

පෙබරවාරියේ මුල් සතියේම ඕමානයට සැපත් වූ චෙෆාකි සිය ආගමනයට දෙදිනකට පමණ පෙර මා ඇමතුවේ ලංකාවේ සිට ය. කීපවරක් ම ආ ඒ ඇමතුමට මා ප්‍රතිචාර නොදැක්වූයේ එය මා දන්නා අංකයක් නොවූ නිසාය. දිනපතා අත්‍යවශ්‍ය ඇමතුම් බොහොමයකට ප්‍රතිචාර දක්වන මා සාමාන්‍යයෙන් නොදන්නා නොම්මර ඉතා සැහැල්ලුවෙන් නිදැල්ලේ යවන්නේ බහුතරයක් දෙනා විසින් කියා තිබෙන පරිදි කොච්චියා සතු එක් කුප්ප ගතියක් ලෙසටය. ඒ අස්සේ මට ඇමතුමක් එන්නේ හැලපයාගෙන් ය. චෙෆාකි මා අමතන්නට තැත් කළ බවත් මා දුරකථනය උස්සන්නේ නැති බවත් හැලපයා දැනුම් දුන් අතර ඊට මොහොතකට පසු ආයෙත් ලංකාවෙන් අර ඇමතුම ආවේය..

“කොච්චි, මචන් මම මේ චෙෆාකි”

සුන්දර වූ මිනිසෙක් සමග වූ කතාබහක ඇරඹුම සිදු වූයේ එසේය. සිකුරාදා රෑ සාදයට එන ලෙස ආරාධනා කිරීම ඒ ඇමතුමේ පරමාර්ථය වී තිබූ අතරම දෙවරක් නොසිතාම කොච්චියා එය පිළිගත්තේය. ආරාධනය නෝනාත් සමග පැමිණෙන ලෙසට වූවාට අසනීප තත්ත්වයන් මත එය ප්‍රායෝගික නොවන බව දත් මා පසුදිනම ඒ ගැන හැලපයා දැනුවත් කළේ ඔහු නිරතුරු චෙෆා සමග කතා කරනා නිසාය.

චෙෆාකි ඕමානයට ආ දිනයේ මිනිහා පිළිගන්නට හැලපයා සමග කොච්චියා ද ගියේය. ඒ ගුවන් යානය සාමාන්‍යයෙන් නියමිත වෙලාවට පෙර මස්කට් වෙත ළඟාවන මුත් එදා එසේ වූයේ නැතිය. පෙර අත්දැකීම් නිසාම අප නියමිත වෙලාවට කලින්ම ගුවන් තොටුපළට ගියේ චෙෆා සහ ඔහුගේ ඇඹේණිය රස්තියාදු නොකරනු පිණිසය. ඩිප්ලොමැට්ටෙක්කු වන හැලපයා සිය වරප්‍රසාද භාවිත කරමින් ගුවන්තොටුපළ ඇතුලටම ගියේ සිය පැරණි මිතුරාව හැකි ඉක්මනින්ම බලා කියා ගන්නටය. ඒ අතරේ සාමාන්‍ය බයියෙකු වූ කොච්චියා Costa එකට වැදී espresso උගුරක් තොල ගාමින් බ්ලොග් ලෝකයේ සැරි සැරුවේය.

ඈතින් සද්දන්ත පොරවල් දෙකක් එනවා දුටු කොච්චියා ඇස් ඔසවා බැලුවේය. එකෙක් හුරුපුරුදු හැලපයා බව හඳුනා ගත් අතර අනෙකා නම් අටමාගේ පොඩි කෙල්ල ගේ රැවුල් බඩා මාමා විය යුතු බව ඉවෙන් වගේ දැනුනේය. චෙෆාකි සහ කොච්චියා ගේ මුල්ම හමුව එය වූයේය.ඔහුගේ බිරිඳ චෙෆී මෙන්ම ඥාති සොයුරා සහ සොයුරියව ද ඒ මොහොතේ මා කෙටියෙන් හඳුනා ගත්තේය. චෙෆී කියා සිටියේ මුහුණ පුරා රැවුල වවා සිටි කොච්චියා දුටු පමණින් ඕමානියෙක් කියා සිතුණු බවය.  තමාටද එසේ සිතුණු බව කීවේ ඥාති සොයුරිය ය. ගැහැණු දෙදෙනා සමග චෙෆාකි ගේ ඥාති සොයුරා ඔහුගේ රියට ගොඩවූ අතරේ හැලපේ සහ චෙෆා මගේ රථයට නැගුණෝය. විනාඩි කීපයකින් චෙෆාගේ හුරුපුරුදු මස්කට් නිවහනට ආ අප හට දෙකක් දමා ගෙන යන ලෙස පෙරැත්ත කළේ චෙෆාකි හා සොයුරු අරවින්දය. එය ඊට මොහොත නොවූ අතර හැලපයා සහ කොච්චියා නිවෙස් බලා ඉගිලුණෝය.

ඊළඟ දිනයේ සාදයට අප යන විට අමුත්තන් කීප දෙනෙක්ම පැමිණ තිබූ අතරම ලන්තෑරුම් එළියෙන් ආලෝකමත් වූ සැබෑ මත් වීමකට ඇවැසි සියළු කළමනා නොඅඩුව ඇති බව කොච්චියා සැණෙන් තේරුම් ගත්තේ පසෙකින් වූ ගිටාර් දෙකද දැකීමෙන් පසුවය. හැලපයාද කියා තිබූ ලෙස අපේ කතා බහ බ්ලොග් ලෝකයේ ලිවීම් කියැවීම් මෙන්ම ඕපාදූප දක්වාද ගලා ගියේ පසෙක වූ ඩබල් බ්ලැක් බෝතලය සෙමෙන් සිය කාර්‍ය්‍යය අපේ ශරීරයන් තුල ඉටු කරමින් සිටියදීමය. අපේ කතාබහ ඒ තිබූ සංගීතමය වපසරිය හා නොගැලපුණු නිසාම ඒ වාදනයේ නියුතුවූ චෙෆාකි ගේ මිතුරන් අපටද ඔවුන් හා එක්වීමට ආරාධනා කළෝය.

ඔය හැමදේම අස්සේ චෙෆාකි ඉල්ලීමක් කළේය.

“කෝ උඹේ ටැටූ එක පෙන්නපන්”

එවේලේම මිනිහාගේ ඉල්ලීම ඉටුකලත් ආපසු එද්දී ඔලුවට ආවේ චෙෆා මගේ ශරීරයේ ටැටූ එකක් ඇති බව දැන ගත්තේ කෙසේද යන්නය.  මේ පෝස්ටුවට චෙෆාකි විසින් දමන්නට නියමිත කමෙන්ටුවේ ඊට පිළිතුරද බලාපොරොත්තු වන්නේය.

සැලකිය යුතු කාලයකට පසු කොච්චියා ට සිංදු කීමේ ඇරියස් එක කවර් කර ගැනීමට එය කදිම මොහොතක් වූයේය. ක්ලැරන්ස් ගෙන් අරඹා වික්ටර් , අමරදේව , කපුගේ මෙන්ම මිල්ටන් සහ ජෝති ද අපට ආවේශ වූවා මතකය.. හොඳ මට්ටමේ ගායකයන් කීප දෙනෙක්ම චෙෆා ගේ මිතුරු කැලේ වූවෝය.

//ටික වෙන්න නාලා
කොණ්ඩේ කඩා ගෙන
යනවද සුරතලියේ….
මම බෝම ආසයි
ප්‍රේමි සමගින්
දිය බැස පීනන්න
අපි පීන පීනා ඉන්නා අතරෙදි
ඔබෙ මුව සිප ගන්න….//

ඔය ආකාරයේ ආරම්භයක් දී නන්ස්ටොප් එකක් කොච්චියා පටන් ගත්තේ පැය බාගයක් වත් එක දිගට ගයන්නටය…

//තේ පැන් දින දින වැඩි වැඩියේ
බීමෙන් සිරුරට සැප වැඩිවේ
සීනිද කිරි මුසු කර නිසි සේ
සාදා ගෙන පදමට යස සේ//

නන්ස්ටොප් එක ඔය කිවූ හරියේ නැගලාම යද්දී....සියල්ලෝ කුල්මත්ව සිටියදී බඩ පැලෙන්නට ගිල දමා පැමිණි හැලපයා අසරණ මාද ඇදගෙන ගියේ මිනිහාගේ රියදුරා පැමිණ ඇති බවත් අප යා යුතු බවත් පවසමින් ය. ඒ වන විට රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ජොකියෙකු වූ චෙෆාකිගේ සොයුරු අරා ද කොච්චියා ට ගානට සෙට් වී සිටියේය. අවසානයේ ඒ මොහොතේ නිවෙස තුලට ගොස් සිටි චෙෆාකි ටද නොකියා ගෙදර දුවන්නට වූයේ හැලපයාගේ පකිස්තාන ජාතික රියදුරා නිසාය...මාව ගෙදරින් බැස්සූ පසු,

“ගුඩ් නයිට් සර්”

කිවූ ඒකාට ගුඩ් නයිට් කිවූ මා හිත යටින් කිව්වේ

“ මගේ ආතල් එක කාපු තෝ නම් කොටියා ම කාපිය”  කියාය.

ඔය තේ පැන් සිංදුවේ තවත් වර්ෂන් එකක් ඇත්තේය. කොච්චියා ජීව්තයේ වැඩියෙන් ගයා ඇත්තේ ඔය ඉහතින් කිවූ එක නෙවේය.
තම්බි කෙනෙක් සිය කඩයේ තේ හදනා ආකාරය කියැවෙනා එය දන්නා ඈයෝ බ්ලොග් අවකාශයේ නැති වෙන්නට බැරිය..

//තේ පැන් සාදයි තම්බි කඩේ
තම්බිගෙ ……. ආධාරේ//

වැඩිහිටියන් ට පමණක් වාගේ වුණාට අපි නම් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඕවා ගායනා කළේ හිච්චි කොල්ලන් සන්දියේදී මය.

අවාසනාවේ හොඳම එක කියන්නේ පසුදා හැලපයාගේ ගෙදර පාටියද මට මග හැරුණේ හදිසියේ සෙට් වූ අටමගලයක් නිසා කිසි වැදගැම්මකට නැති ගමනක් යන්නට සිදු වීමෙන් ය. මහ රෑ වෙරි වීමෙන් අනතුරුව හැලපයා මා ඇමතුවේ චෙෆාද ළඟ තබාගෙනය.. ඒ මොහොතේ ද එන ලෙස ආරාධනා කලත් බීමත්ව ආපසු ඒම ගැටලුවක් නිසා කොච්චියා ගෙදරට වී දෙකක් දා ගත්තේ කලකිරීමටත් එක්කමය. එසේ නොවුනා නම් ආප්ප කමින් බෝතලයකට සෙට් වීමේ ඒ මහඟු අවස්ථාව මටද හිමි වන්නට තිබ්බේය.

ඊළඟ කතාවද හැලපයාගේ පෝස්ටුවේම වූ දවාලේ බෝතලයකට සෙට් වීම සම්බන්ධයෙන් ය. එදා ගෙයින් එලියට බහිද්දීම මගේ මිතුරා ඩිස්ති කීවේ ,

“උඹ කොච්චර බිව්වත් ආයෙ රෑට බොන්න පුලුවන් ගානකට බීපන්”
කියාය.
මා හැර අනෙකෙකු සමඟ මත්පැන් නොබොන මිනිහාට අසාධාරණයක් නොවනු වස් උගේ අවවාදයත් හිතේ තියාගෙනම හැලප භවනට ගොඩ උනත් හැලපයා සමඟ කතාබහ ඇදී යද්දී බෝතලය නොදැනීම හිස්වෙමින් යන බව දැනුනේවත් නැතිය. හැලපිගේ රසවත් කට්ලට් හා බැදපු මාලුමිරිස් මෙන්ම ජයග්‍රාහී ක්‍රිකට් තරඟයද අපට කදිම බයිට් බවට පත්ව තිබුණේය. තරඟයෙන් අනතුරුවද කතා බහ විවිධ ඉසව් ඔස්සේ ඇදී ගිය අතර මටත් අමතකව තිබූ කලක් මගේ ජීවන ගීය වන්වූ ගීතයක් ද මතකයට ආවේය.

කිකලෙකවත් ජනප්‍රිය නොවූ ඒ ගීය එකල මගේ ආත්මයේ ගීතයව තිබුණේය. ඒ ඇසූ බොහෝ මගේ මිතුරෝ එහි පද රචනය මාගේ නොවේ යන්න පවා විශ්වාස නොකළෝය. අඩුගානේ මුදල් දී මා ඒ ගීය ලියවාගෙන ඇතැයි කියූවෝද අඩු නොවූවෝය.  මගේ වූ ඈ මගෙන් උදුරා ගත්තවුන් මේ ගීය අසා මා ඉදිරිපිට මට හොරෙන් කඳුළු සලනවා මා දැක ඇත්තේය. ඒ තරමටම ප්‍රබල ලෙස මේ ගීය ඒ සිදුවීම හා බද්ධ වූයේය.

………………………………………..
දුර ඈත දින සමනල් වියේ මා සසල කල යුවතී..
සිත් බැඳි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී
ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී
අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
අන්ධකාරේ මං මුලාවී පාවෙමින් ගෙවූ ජීවිතේ
අරුත් පුරවා දෙනෙත් පාදා ‍
ඈ ලංවුනේ නොසිතූ ලෙසේ..
උමතු වූ ආදරෙන් බැඳී ගෙවුනු දින අද සිහිනෙකි..
පෙර වැරදි මා සතු වෙන්නැති
දෙවියෙකු නොව මා මිනිසෙකි..

මිතුරු කැල හැම සතුරු වී ඈ
මගෙන් උදුරාගත් හැ‍ටී..
මුළු දිවිය සැනකින් නතර වී
අදහනු නොහැකි සේ ඇදවැ‍ටී..
ඉර හඳ තරුත් ගස්වැල් විලුත් කළඹන්න මට සිතුණි..
නිලබල ඇතත් රජකම ලදත් දැන් මට කුමට ළඳුනී..
පරම පිවිතුරු ආදරේ සසර දින පැවතී..
බිඳක්වත් නෑ අඩුවුනේ වැඩිවුනා පමණී...
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා
විඳින බැව් තනිවී..
ඔබ දන්නෙ නෑ එය දන්නවා නම්
යන්නෙ නෑ වෙන්වී...//
…………………………………..

දුර ඈත දින
මේ ලින්කුවෙන් ඒ ගීය ඇසිය හැකිය.

අමිල පෙරේරා විසින් ගැයූ මේ ගීතයේ මගේ නොවන එක් අකුරකුදු නොමැති තරමටම එය මගේමය.. එනමුදු එදා උන් ඒ සංවේදී මිනිසා අද ඇත්තේ නැතිය. එසේ වීම යහපතක් හෝ අයහපතක් ද විය හැකිය. ඒ සංවේදනය වූ හැඟීම් ඒ ලෙසින්ම ලියන්නට නොහැක්කේ ඒ නිසාය. එදා ඒ කොච්චියා අද සිටියා නම් කඳුළු බොමින් මෙය ලියනා අතරේම ඔහෙලාගේද කඳුළු සොලවන්නට ද ඉඩ තිබ්බේය.

මේ පෝස්ටුව හැලපයාගේ පෝස්ටුවේම දිගුවක් ලෙසින් මටද දැනෙන්නේය. ඔහු ලියූ නිසා මා නොලිව්වාට කම් නැති වුවද ඒ හමුවීම් හා සාදයන් එතරම් ම රසවත් වූ නිසා මා නොලිව්වොත් හරි මදි යැයි හැඟෙන්නේය. එරියස් තියාගෙන ජීවත් වීම කොච්චියා ට හුරු නැත්තේය. ඒ නිසාම මේ පොස්ස්ටුව ලිව්වේය. ඊළඟ පෝස්ටුවේ කාලයකට පසු කණ්ඩා මුණ ගැසීම හා මිනිහා සමගද බලාපොරොත්තු වූ ලෙස ආතල් ගැනීමට නොහැකි වූ කණගාටුව ගැනද ලියන්නට ඉන්නේය.

Saturday, February 25, 2017

නිහඬ අඳුරේ මනස කැලතූ ශීෂාව

කොච්චියා කිසිදා කවක් හෝ නිසඳැසක් ලියා නැත්තේය. අද හදිසියේ සංයුක්ත ලෙස හැඟීමක් ලියන්නට හිතුණේය. ඝන අඳුරේ ශීෂාවක් උරමින් ඉන්නා අතරේ ලියූ මේ පද පේළි මෙලෝ රහක් නැති විය හැකිය. ඒත් මා ලියන්නේ මා වෙනුවෙන් මය.

මේ මොහොතේ මා අත්දකිනා ඒ නිහඬතාවය හා වපසරිය මේය.



දුම් පිරි කුටිය
පහන් නිවුණු අඳුර
ගර්ත පුරා ඇදි ශීෂාව
නිහඬ බව

එළිය කොයි නුඹ
ගිනියම් අඟුර
ඊළඟ උගුර
අඟුරෙ දීප්තිය

කැලතෙනා දිය
විතරමය හඬ
අදින විට උගුර
පපු පුරාවටම

මෙවැන්නක් ලියූ මුල්ම හා අවසාන වතාවද මේ විය හැකිය.

Friday, February 3, 2017

පොන්නයාට සාධාරණයක්, චෙෆාකි හා සඳවතියගේ රස්තියාදුකාර ආදරය, එරන්දී හමුවීම සහ නෙල්ලි ප්‍රින්ස් ගේ බ්ලොගාගමනය

මේ දවස් ටිකේ කොච්චියාගේ ඔලු ගෙඩියේ වැඩ කළේ සොඳුරු සඳවතී හා චෙෆාකිගේ  මනසේ සිත්තම් වූ ඒ රස්තියාදුකාර ආදරය ය.


ඕවා ඔය තරම් මා හට බොක්කටම වැදුනේ කොච්චියා බොක්කෙන්ම රස්තියාදුකාරයෙක් නිසාය. හැසිරීම කෙසේ වෙතත් හිත පතුලෙන් ම රස්තෙක් ය. ඔහෙලා හැමෝම ලස්සනට මාතෘකාවක් අලලා ලියද්දී කොච්චියා අච්චාරු ලියන්නේ ඒ නිසාය. මගේ හිත හැමවිටෙකම සැරිසරන්නේ ඉබාගාතේය. එය පිළිවෙලකට හසුරුවා ගන්නට ඕනෑකමක් ඇත්තේද නැතිය. එසේ හැසිරුව හොත් ඒද මා නෙවේය. මා ජීවත් වන්නේ මම වෙනුවෙන් මය...එසේ නම් මා රස්තියාදුකාරය. එසේ කියන්නේ මා නොවේය. තර්ක ශාස්ත්‍රයේ හා සරල ගණිතයේ මූලයය.

“ එකම රාශියකට සමාන රාශි එකක් අනෙකට සමානය”

කොච්චියා කිසි දාක බේසික්ස් බිඳින්නේ නැතිය.ඒවාට ගරු කරන්නේය. බේසික්ස් වල ඉන්නා එකා රස්තියාදුකාරයෙක් වෙන්නේ කෙසේ දැයි කව්රුන් හෝ අසන්නට හැකිය.. ඒ ඇත්තන්ට මා කියන්නේ බේසික්ස් නැවිය හැක්කේ ඒවායේ කෝර් එක හැදෑරූ එකෙක්ට පමණක් කියාය.. ඒ නිසා මා කියනා සෑම ප්‍රකාශයකටම වග කියන්නේය.

කොච්චියා ගැහැණුන්ට ආදරය කර ඇත්තේය. බහු වචනයෙන් කීවාට දෙදෙනෙක්ට පමණක් ය. වරෙක මා ආදරය හා සෙක්ස් කියන්නේ එකක් කියාත් පසුව දෙකක් කියාත් ආයෙත් එකක් කියාත් නැවතත් දෙකක් කියාත් සිතා යථාර්ථය නම් එය දෙකක්ම යැයි කියාත් හිතන්නේය. මේ කතා කරන්නේ පොළවේ පය ගසා කරන ආදරය මෙන්ම සිරුරේ රසායනිකයන් ප්‍රායෝගිකව ඇති කරන්නා වූ හැඟීම් ගැනත් ගැඹුරෙන් ම සිතීමෙන් පසුවය. කොච්චියා ගැහැණුන් ගැන සිතනා ආකාරය නෝනා හොඳින් දන්නේය.. ඒ ගැන ඈ පසු ගිය දාක හැලපයා ඉදිරියේද කීවාය. මා රාගය හා කාමය ගැන මෙන්ම ආලය හා ආදරය ගැනද පට්ට අවංකය. එය නිරාවරණය කිරීම හුදෙක් කුපාඩිකම හෝ වනචරකම ලෙස නොව අවංක කම හා නිරවුල් කම ලෙස සාධාරණීකරණය කරන්නට මා කැමැත්තේය.

රස්තියාදුකාර පෙම්වතුන් කියා ජාතියක් ඇත්තේ හෝ නැත්තේ නැතිය. කොණ්ඩය ජෙල් කර පමණින් හෝ ඩෙනිම ඉනට පහළින් ඇඳි පමණින් මිනිහෙක් රස්තෙක් වන්නේ නැතිය. ගංජා මලක් ඉරූ පමණින් හෝ වලියකට ගොස් ඉල්ලන් කෑ පමණින් ම ඌ රස්තෙක් වන්නේ නැතිය. ඔය ස්ටයිල් එකේ ඉන්නා බහුතරයක් එවුන් මනසින් ෆුල් සෙට්ල් ය. උන්ට ටාගට් ඇත්තේය. කොච්චියා උන් ගැන හොඳින් දන්නේය. අද වෙන තුරුත් මා තරම් රස්තියාදුකාරයෙක් මට උන් තුලින් හමුවී නැත්තේය.

සඳවතිය ගේ රස්තියාදුකාර පෙම්වතා හා කොච්චියා අහසට පොළව වගේය. කොච්චියා සමාජ භාවිතය තුල ප්‍රාමාණික උගතෙක් ය.. අකුරු අමාරුවෙන් අමුණන සමාජය මෙන්ම විශ්ව විද්‍යාල  ඇකඩමියාවද එකසේ හුරුය.. ගමේ කෝපි කඩය මෙන්ම හිලටන් හෝටලයද ගෙදර වගේය...ගංජා බීඩි මෙන්ම ලෝකයේ ඉහළම මිලැති සුරුට්ටු ද කසිප්පු මෙන්ම ප්ලැටිනම් ලේබල් ද දෙවරක් නොසිතා ගසන්නේ ය…

රස්තියාදුකාරයෙක් හදන්නට බැරිය. සඳවතිය පවුල් බර දමා රස්තාව මිනිහෙක් කරන්නට තනන්නේය. එසේ කළ හැක්කේ පොත්තේ රස්තියාදුකාරයන් වය. බොක්කේ එවුන් එසේ හැදෙන්නේ නැතිය. උන්ගේ මනස සැමදා ඉබාගාතේය. උන් ලෝකයට අනුව සාර්ථක මෙන්ම අසාර්ථක වෙන්නටද පුලුවන් ය. ඒ උන්ට සෙට් වෙන මාර්ගය මත මිසෙක උන්ගේ අවශ්‍යතාවයක් මත නම් නොවේය. සැබෑ රස්තියාදුකාරයෙක් සිය පෙම්වතිය තමා මෙන් වීම පතන්නේ නැතිය. ඌ ඕනෑම විදියක ගැහැණියකට තමන්ට ඕනෑ නම් ඒ විදියට ආදරය කරන්නේය. රස්තෙක් පවතින්නේ මොහොත තුල පමණක් ය. Instance කියන එක instance එකකට වඩා දික් කර ගන්නා එකා රස්තෙක් නොවන්නේය.

කොච්චියා සිය නෝනාට ආදරය කරන්නේ ගැඹුරු හේතුවක් නිසාය. එනම් මොහොතින් මොහොතට ආදරය කරනා එකාට එකදිගට ප්‍රති ආදරයක් අඛණ්ඩව කරනා නිසාය. ලක්ෂ්‍ය කීපයක් එකදිගට යා කළ පසු හැදෙන්නේ රේඛාවක් ය. එනම් රස්තා පවා එවන් විටෙක අඛණ්ඩ ලෙස ආදරය කරනා බව ලෝකයට පෙනෙන්නේය. ඒ රේඛාව හැදුනේ ලක්ෂ්‍ය යා කිරීමෙන් බව දන්නේ ඒ රස්තියාදුකාර පෙම්වතා පමණක් මය.

ජීවිතය කිකලෙකවත්  සරල රේඛීය ශ්‍රිතයක් නොවන්නේය… එය පරාවලයෙනුත් එහා ගිය බහුවලික ශ්‍රිතයක් සේ දකිනා මා ඉහත කී කිසිදු ලක්ෂ්‍යයක නිත්‍ය පැවැත්මක් ද නොපතන්නේය. අවබෝධය කියන්නේ වෙනස්වීම් කියන්නේ ස්වරූපය බව උගැන්මය. ඕකෙන් කියවෙන්නේ ජීවිතය ස්වභාවයෙන්ම රස්තියාදුකාර බවය. එය සෙට්ල් කර ගෙන මානවයා කරන්නේ ප්‍රකෘතිය විකෘතියක් කරගෙන ඒ විකෘතිය සම්මතය කර ගැනීමය.

ඊළඟ කතාව චෙෆාකිගේ ය. මිනිහා අද හෙටම ඕමාන් එන බව සැක හැර කීවේ හැලපයා ය. ගිය සතියේ මට චෙෆාකි ගේ වීසා පවා පෙන්නුවේය. චෙෆාකි ගේ සංයුක්ත කවි සෑහෙන ප්‍රමාණයක් මා කියවා ඇත්තේය. ඔය සංයුක්ත කවි ලියනා ගොඩක් එවුන් පට්ට කපටියෝය. බහුතරයක්  උන් ලිව්වේ මොකක්ද කියා බලා ගන්නේ කියවන එවුන් ගේ විචාරයන් ගෙන් ය. චෙෆාකි කියන්නේ අකලට කෙස් පැහුණු කෙනෙක් නෙවේය. මිනිහා තුරුම්පු හැලිය යුතු තැන මෙන්ම වෙලාවද දැනුමෙන් හා අත්දැකීමෙන් උගත් පඬියෙක් ය. මිනිහාගේ කවි ද එසේය...ආ විට පසිඳලන්නට කවි කීපයක්ම ඇත්තේය.. සිම්පල් වගේ පෙනුනාට ඔය මට්ටමේ පොරක් ඕවා ලියන්නේ ආවාට ගියාට නම් නෙවේය.

ඒ අස්සේ ගිය සතියේ මට මරු කවියෙක් සෙට් උනේය. මාසයක දෙකක කාලයක සිට දැක කතා බහ කර ඇතුවාට සැලකිය යුතු මට්ටමේ හඳුනා ගැනීමක් දක්වා දික් ගැසුණේ පහුගිය බදාදාය. කොළ හා පොත් වල කවි ලියනා ඒකා ට බොගක් දැමීමට කොච්චියා බල කළේය. ඒ එක්කම කියවන්නට කියා දුමී ගේත් සඳවතීගේත් එරන්දි ගේත් බ්ලොග් වල ලින්ක් ද දුන්නේ මිනිහාව තවත් දිරි ගැන්වෙනු පිණිසය. අද මිනිහා මට කීවේ අනිවාර්යයෙන්ම බ්ලොගක් පටන් ගන්නා බවය. ඒ වෙනුවෙන් කොච්චියා කොයිතරම් ගේමක් දුන්නා දැයි තේරුම් යන්නට උදාහරණයක් මිනිහාගේ කවියකින් ම පෙන්වා දෙන්නේය. මේ කවිය සතියකට පෙර මිනිහා මගේ නෝනාට එවා ඇත්තේය.

//
අක්කේ නුඹේ සැමියා ඇණයක් වෙන්නේ
Blog එක අරින තුරු වසනට නොම දෙන්නේ
අවසන ඔහුට පැරදී දිනුමක් දෙන්නේ
දිවියෙත් මෙහෙමමද ඔහු නුඹ ජයගන්නේ
//

පහුගිය සතියේ නෙල්ලි ප්‍රින්ස් සිය බ්ලොගය දොරට වැඩැම්මෙව්වේය. ඕමානය සිංහල බ්ලොග් ලෝකයට සෑහෙන්න සමීපය. එහි පුරෝගාමී වූවෝ නම් හැලපේ හා චෙෆාකි ය. නෙල්ලි ප්‍රින්ස් එහි අලුත්ම පුරුක ය. මා සිතුවේ මිනිහා කවියකින් වැඩ අරඹාවි කියාය...ඒත් අභියෝගාත්මක ලෙස සිය හුරු පුරුදු රටාවෙන් මිදී මුල්ම පෝස්ටුව ඉදිරිපත් කිරීම ප්‍රශංසනීය ය.  ඒ ප්‍රශංසාව කරනා අතරේම නෙල්ලි ප්‍රින්ස්ට මා කියන්නේ අපට උඹේ කවි ඕනා බවය.. නිමිති නම් ඕනෑවටත් වඩා ඇත්තේය ...ඒවා කවි කිරීම හැමෝටම නොහැකිය.

සිංහල බ්ලොග් ලෝකයේ කවියන් ගතහොත් කොච්චියා හැමදාමත් එරන්දී කියෙව්වේය. ඈගේ කාව්‍ය ප්‍රතිභාවද කිසිවෙකුට දෙවෙනි නොවන්නේය… නොපෙනෙනා මානයන් හෙළ බසේ උපරිමාලංකාරයන් සමගින් නිමිත්තක් නොමැති වීම ම නිමිත්තක් කර ගෙන ලිවීමට ඈට ඇත්තේ උපන් හපන්කමක් ය. මේ එරන්දී කවුදැයි තිතටම දැන ගත්තේ ඊයේ ය. ඇගේ කවි හා නිසඳැස් මා මුලින්ම කියෙව්වේ මීට දශක දෙකකට පමණ පෙරය.
අහම්බයකින් ඈ අලුතින් හඳුනා ගැනීමට ලැබීම භාග්‍යයක් සේ කොච්චියා දකින්නේය.

මේ පෝස්ටුව දැන් මුල සිට කියවූ මට මේ නම් තවත් අච්චාරුවක් ම නේදැයි සිතුණේය..ඒ මදිවාට මේ හුදෙක් බ්ලොග් කාරයන් කීප දෙනෙක් හා ඔවුන් ගේ ලේඛන මත පදනම්ව ලියූවක් ද වන්නේය. එය එසේ වූවා මිස සිතා මතා කළ දෙයක්ද නොවේය. මේ පෝස්ටුව ම ගෙඩි පිටින් රස්තියාදුකාරය. ඉබාගාතේ ගිය එකක් ය.


දින ගණනකට පෙර වොඩ්කා සමග ඇරඹූ මේ ලියමන අද විස්කි සමග ඉවර කරන්නේය. කාර්‍යබහුල බව මෙන්ම අලුතින් ලද පොත් කීපයක්ද කොච්චියා ගේ පමාවට හේතු වීය. අනුර හෙට්ටිගේ ලියූ පණ්ඩක පුත්‍ර වස්තුව මා සිත් ගත්තේය. නොදකින මානයක් ජනවහරේ පොන්නයෙක් ගේ ඇසින් බලා ලියූ සමාජ විවරණයක් වූ එය මානව චින්තනයේ සියුම් මානයන් සීරුවට ස්පර්ෂ කර ඇත්තේය. සාමාන්‍යයෙන් කතෲවරුන් කතා ලියන්නේ චරිතය තුලට ආවේශ වීමෙන් ය. හත්පෙති මලේ ශේන්යා ට ආරූඪ වී ශේන්යා තුල ඉන්නා පොන්නයාට අනුර සාධාරණයක් කළා යැයි කොච්චියා ට දැනෙන්නේය.

Tuesday, January 24, 2017

ඩේව් වට්මෝර් , පොලීසියෙන් කෙළවර වූ බිග්මැච් ආතල් සහ ටෙස්ට් ටියුබ් නැති විසාකාවේ විද්‍යාගාරය


අනූවේ දශකයේ පාසල් ජීවිතය ගත කළ අපේ පරම්පරාව තරම් පිස්සන් සේ ක්‍රිකට් බැලූ තවත් පරම්පරාවක් ඉන් පෙර හෝ පසු නොසිටි බව කොච්චියා අදහන යථාර්ථයක් ය. ඉතා සාමාන්‍ය කණ්ඩායමක් වූ ද වෘත්තීය ක්‍රීඩකයන් අවම වූ ද ඒ කණ්ඩායම අනූ පහේ මැද භාගයේ සිට ලෝක කුසලානයක් දිනා ඉන් පසු අවුරුදු දෙකක් යන තුරුත් හිණි පෙත්තේ රඳවන්නට මහත් වූ සේවයක් කළ සැඟවුණු චරිත දෙකක් වූයේ නම් ඒ ඩේව් වට්මෝර් හා ඇලෙක්ස් කුන්ටූරි ය. මේ කතාව ලියන්නට හිතුණේ මේ දවස් වල නොසෑහෙන්න චාටර් වී ඇති අපේ වෘත්තීය යැයි කියාගන්නා ලොන්තපෝල් ටීම් එක දකුණු අප්‍රිකාවේදී බඩ කට පුරා කන එක දැකලා එහෙම නෙවේය. පහුගිය සතියේ දුටු එක් ප්‍රවෘත්තියක් නිසාය.

සති දෙකකට විතර ඉහතදී දෙස් විදෙස් ක්‍රීඩා මාධ්‍ය රැසකම මාතෘකාවක් වී තිබුණේ ලංකාවේ පාසල් ක්‍රිකට් කණ්ඩායමක් මුල්ම වතාවට අන්තර්ජාතික ක්‍රිකට් පුහුණුකරුවෙක් ගේ සේවය ලබා ගන්නා බවට පැතිරී ගිය රාවයය. එනම් මෙවර RoyTho , එනම් රාජකීය සාන්ත තෝමස් මහ තරගය වෙනුවෙන් වට්මෝර් ගේ සේවය ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය තීරණය කිරීමය. ඊට මේ වන විටත් වට්මෝර් සිය එකඟතාවය පළ කර ඇතිවා මෙන්ම මේ සිදුවීම ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය තැබූ එක් ඓතිහාසික පියවරක්ද වනවා ඇත්තේය … මේ පුවත බීබීසී ය පවා වාර්තා කර තිබුණේය.

රජ්ජුරුවන්ගේ ඉස්කෝලයට ගිය දා පටන් කොච්චියා වඩාත්ම ප්‍රිය කළ කාල සීමාව නම් බිග් මැච් සීසන් එකය. ඔය කාලයේ අප ස්කූල් වෑන් වල ජනේලයෙන් එලියට ඉස්කෝලේ කොඩිය දමාගෙන යන්නේ මහත් කික් එකකින් ය. සහෝදරත්වයෙන් යුතුව ඔය වෑන් වල රාජකීය සාන්ත තෝමස් සාන්ත පීතර සාන්ත ජෝසප් හා ආනන්ද නාලන්ද කොඩි ද එක් එක් ජනේලයෙන් එලියට එන්නේය.

සති අන්තය පුරාවටම අක්මාවට වද දෙන කොච්චියා සතියේ දවස් වල අනුගමනය කරන්නේ ඊට වෙනස් පිළිවෙතක් ය. ඒ නිසාම විස්කි වඩියක් සමග ලිවිය යුතුම වූ මේ පොස්ස්ටුව කොච්චියා අද ලියන්නේ Japanese Sencha එකක් බොන ගමන් ය. කවදත් ජපන් තේ සංස්කෘතිය ප්‍රිය කළ කොච්චියා sencha tea මෙන්ම matcha tea බීමටද එකසේ ප්‍රියය. මේ සියල්ලම ග්‍රීන් ටී ප්‍රභේදයන් ය. සුව නින්දකට මෙන්ම උදෑසන ජවයෙන් යුක්තව නැගිට ගැනීමටද ජපන් තේ මහඟු උත්තේජකයක් ය. වෙහෙසකර සති අන්ත කීපයක්ම පසු කළ නිසාම මේ පෝස්ටුව සතියේ දිනෙක ලියන්නට හිතුවේ එළඹෙන සති අන්තය ගැන ද මහත් විශ්වාසයක් තියා ගන්නට බැරි නිසාය.

බිග්මැච් එකේ දවස් තුනම අත නෑර ගිය කොච්චියා අන්තිමට බිග්මැච් එකට ගියේ දෙදහස් දහයේය. අවුරුදු හයක් එක දිගට බිග්මැච් යන්න බැරිවීම ගැන ඇත්තේ මහත් දුකක් ය. මේ.අවුරුද්දේ ද නොයනා බව ටක්කෙටම කියත හැකිය. ලෝකයේ කොහේ හිටියත් අලුත් අවුරුද්දට හෝ නත්තලටවත් ලංකාවට නොයනා බහුතරයක් අපේ එවුන් බිග්මැච් එකට ලංකාවට එන්නේ ඒ ෆීලින්ග් එක ලෝකේ වෙන කොහේවත් නැති නිසාය. ඒක දැනගන්නට නම් ඒ සිස්ටම් එක ඇතුළේ හිඳ එය විඳ ගත යුත්තේය .. ලෝකයේ සියලු වර්ග වල අරක්කු මෙන්ම සියලු ආකාරයේ ධූමයෙන්ද අඩුවක් නොහෙන ඔය දවස් තුනේ SSC එකේ ටෙන්ට් වල සියළු ආකාරයේ  සුරූපිනියන් ද අඩුවක් නැත්තේය. ඉස්කෝලේ යන කාලයේ බෝයිස් ටෙන්ට් එකේ ඉන්නා අප කෙසේ හෝ දත කන්නේ ලන්ච් එකෙන් පසු වෙනත් ටෙන්ට් එකකට පැන ගන්නටය.. ඒ ඒවායෙ ඇති ආතල් බෝයිස් ටෙන්ට් එකේ නැති නිසාය.

කවුරුන් උනත් පාසල් ජීවිතයේ උපරිම බිග්මැච් ආතල් එක ගන්නේ ඒලෙවල් යුගයේය. ඒ කිව්වේ අනූව දශකයේ අග භාගයේය. ඒ කාලයේ අපි වටේ පිටේ කාන්තා පාසල් වලට ඇතුළු වීම මෙන්ම හැට් කලෙක්ෂන් දැමීමටද අමතක නොකළෝය. ඕවා කරන්නේ සයිකල් පැරේඩ් එක දවසේය. එනම් මැච් එකට කලින් දා ය. අපි කාට කාටත් එකල ලේඩීස් බිශොප්ස් විසාකා සෙන්ට් බ්‍රිජට් මියුසියස් හෝලි ෆැමිලි මෙන්ම මෙතඩිස්ට් එකේද කෙල්ලෙක් හෝ කෙල්ලන් සිටියෝය. තමන්ගේ ඉස්කෝලයට පනින්නට ඕනා තැන මෙන්ම වෙලාව ගැනද ඔත්තුව දුන්නේ ඔය කිවූ කෙල්ලන් ය. වැඩි ඈතක නොවුණාට අපේ සෙට් එක නම් සිරිමාවෝ එක පැත්තේ නොගියේ ඒක අධි ආරක්ෂිත කලාපයක තිබූ නිසාය.  කොච්චියාට එකල ලේඩීස් කොලේජ් එකේ නිත්‍ය පෙම්වතියක් මෙන්ම මියුසියස් එකේ තවත් ක්‍රෂ් එකක්ද තිබ්බේය. ඒ නිත්‍ය පෙම්වතිය පසුව මගේ නෝනා වී මේ වන විට පරණ නෝනා වී ඇත්තේය .

ආර්….ඕ...වයි..ඒ...එල්..
වට්ස් ද ස්කෝර්
රෝයල්…
වන්ස් මෝර්
රෝයල්..
වන්ස් අගේන්,
රෝයල්


අපේ සෙට් එක නම් ඔය කිවූ කාන්තා පාසලකට වැදී උන්ගේ පන්ති කාමර තුලට ගොස් අපටම චියර් කර ගෙන සාමකාමී ලෙස නැවත ආවෝය. අපේ පැමිණීම එදිනට කෙල්ලන් පමණක් නොව ඒවායේ ඉන්නා තරුණ ගුරුවරියන්ද ආසාවෙන් අපේක්ෂා කළෝය. ඇතැම් අවස්ථාවල සෙන්ට් තෝමස් එකේ සෙට් ද ඕවා ඇතුලේ මුහුණට හමු උනත් දෙපාර්ශවයෙන්ම හූවකට එහා දෙයක් නම් හුවමාරු නොවුණේය. .. ඒ ඔවුන් හා අප අතරේ වූ සහෝදරත්වයය.  කෙල්ලන් එසේ බලා උන්නේ අද ඊයේ නොවන බවත් හැටේ දශකයේද එසේ වූ බවත් කීවේ ඒ කාලයේ මෙතඩිස්ට් එකේ උගත් කෙල්ලක් වූ මගේ අම්මා ය.



ඒලෙවල් අන්තිම අවුරුද්දේ මගේ මියුසියස් කෙල්ලගේ ඔත්තුවකට අපේ සෙට් එකක් රොස්මිඩ් පෙදෙසේ තාප්පයට කිට්ටු කළේ එකල ප්‍රබල ඇමැත්තෙකුගේ මිට්සුබිෂි  පැජරෝ රථයකිනි.. ඒ ඇමති පුත්‍රයා සහ අපේ කීප දෙනෙක් රථයේ බොනට් එකටත් ඉන් වහලයටත් නැග තාප්පයෙන් පැන්නේ කෙල්ලන් රැසකගේ සොඳුරු රූප සිතේ මවා ගෙනමය. අහෝ ඛෙදයක් ය...ඉරක් ය තිතක් ය දුකක් ය.. පාසල් ගොඩනැගිල්ලක පැත්තෙන් ආවේ පොලිස් තොප්පි කීපයක් ය. ඒ වන විටත් අපේ එවුන් බහුතරයක් තාප්පයෙන් ඇතුලේ ය. උස් තැන් වලට බියක් ඇති කොච්චියාගේ එක කකුලක් තාප්පය මත වූ අතර අනෙක තාමත් ජීප් එකේ වහලය මතය. අසුරු සැණින් වහලයෙන් බොනට් එකට පිනූ කොච්චියා රොස්මිඩ් පෙදෙස හරහා හුස්මක් කටක් නැතිව දිව ගොස් ආපසු හැරුණේ ටවුන් හෝල් එක හරියටම ආවාටත් පසුවය. පිටුපස හැරී බැලූ කල්හි අර ඇමති පුත්‍රයා සහ තවත් එකෙක් පමණක් දුව ගෙන එනවා පෙනුණේය. අර අසරණ ඩ්‍රයිවර් සහ වාහනය තාමත් තාප්පය අයිනේය. කෝල් එකක් දෙන්නට ජංගම දුරකථන නොවූ එදවස අපි පාරේ කඩල විකුණමින් සිටි වයසක පොරක් යවා ඩ්‍රයිවර් ට පණිවිඩය යැව්වේ ඒ පැත්තට යාම ටැප් තියෙද්දී ඇදගෙන නෑමක් බව සහ සුද්දෙන් දන්නා නිසාය. අනෙක් එවුන් මේ වන විටත් පොලිස් අත් අඩංගුවේය..

යාන්තම් ඉස්කෝලේ පැත්තට ගිය විට ප්‍රයිමරි එකේ ගේට්ටුව හරියේ හිටියේ කොච්චියාගේ පන්තියේ සෙට් එකය.. මතකේ තියෙන්නේ බොගා ආප්පයා සහ බබා එතන හිටි බවය. මෙත්සි මෙන්ම ඩීඒ ද හිටියා වගේ ලාවට මතකය. බොගා අද ඉන්නේ කැන්ගරු දේසේය..ආප්පයා කැනඩාවේත් මෙත්සි ඇමරිකාවේ කාලයක් ඉඳ දැන් කැන්ගරු දේසේ ඉන්නේය. බබා ලංකාවේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක ඉහළ නිලයක් හොබවන අතර ඩීඒ අද ප්‍රසිද්ධ වෘත්තීය සමිති නායකයෙක් වන අතරම බැංකු කරුවෙක් ය. බබෙක් මෙන් වූ බෙබෙක් වූ බබා ඇඳ හිටියේ මෙතඩිස්ට් එකේ නිල ඇඳුමක් වූ අතර ආප්පයා ද කෙල්ලෙක් මෙන් සැරසී උන් අතර හැට් කලෙක්ෂන් යාමට තීරණය කළේ බම්බලපිටිය පැත්තටය.



විසාකාව පැත්තේ කරක් ගැසූ අප මුලින්ම කලෙක්ෂන් දැම්මේ එකල වජිර පාරට යාබදව තිබූ IDM එකේ හිටි අක්කලා ගෙන් ය.  ඔය විසාකාව පැත්තේ කිව්වාම සිහියට එන්නේම වෙනකක් ය. විසාකාව පැත්තේ විද්‍යාගාර ඇති බවත් ඒවා ඇතුලේ පරීක්ෂණ නල නැති බවත් ඒවා ඇත්තේ වෙනතක බවත් හැඟවෙන්නාවූ ඒ පද්‍යමය පබැඳුම නොදන්නා අයෙක් නැති තරම් ය. ඒ පබැඳුමේ නිධාන කතාව නම් අති ශෝචනීය එකක් ‍ය. ඒවා ගැන අපේ පරම්පරාවේ කොළඹ ඉස්කෝලේ ගිය ඕනෑම එකෙක් එකියක් නොදන්නවා වෙන්නට බැරිය.දැන් මේක කියවන්නාවූ විසාකාවේ අක්කලා නංගිලා හෝ ඇන්ටිලා අමනාප වෙන්නටද පුලුවන් ය. ඒත් ඒ ගැන නොකීවොත් ද අඩුවක් වගේ හිතට දැනෙන්නේය.

IDM එකෙන් පස්සේ හෝලි ෆැමිලි එකේත් ඉන් පසු බිශොප්ස් එකේ ගේට්ටුව අයිනේත් සිද්ධ වූ කාරණා එමටය.එදා හෝලි ෆැමිලි එකේ වීදුරු කටු ගසා තිබූ පිටුපස තාප්පයෙන් පැනීමට ගොස් සිදුවූ තුවාල කැළලක් අදටත් කොච්චියාගේ අත්ලේ ඇත්තේය.මේ සියල්ලම දීර්ඝ ලෙස කියන්නට සිදුවෙන නිසාම එය ඊළඟ කොටසට ගෙන යන්නේය. බිග්මැච් එක ලං වන විට ඒ විස්තර රැගත් පෝස්ටුව ලියන්නට ඉන්නේය. ඒ වෙද්දී කොල්ලුපිටිය පොලීසියේ කූඩුවේ සිටි උන් මුදා ගැනීමට කළ මෙහෙයුමත් උන් සමහරක් ඒ වෙද්දීත් ඕඅයිසී ගෙන් කන්න බොන්න මෙන්ම ටැක්සි වලටත් සල්ලි ඉල්ලා ගෙන නික්ම ගොස් තිබූ ආකාරයත් ඒ පෝස්ටුවේ ලියවෙනවා ඇත්තේය.

Wednesday, January 4, 2017

අයින්ස්ටයින්, නොස්ට්‍රදාමුස් ගේ ප්‍රංශය, දොන් ජුවන් ගේ ලංකාව සහ කොච්චියාගේ උපන් දිනය

දන්නේම නැතුව අවුරුද්දක් ඉවර උණේය. හිතන්නවත් වෙලාවක් තිබ්බේ නැතිය. ගිය අවුරුද්දේ මේ දවස් වල ලංකාවේ හිටිය හැටි අද ඊයේ වාගේ මතකය. අවුරුද්දක් කියන්නේ මෙච්චර ඉක්මනින් යන එකක් නම් වියපත් වී මා මිය යන දවසද වැඩි ඈතක නෙවේ යැයි හිතෙන්නේය. ඒ වයසට ගිහින් මළොත් ය… if else මෙන්ම else if condition ගැනද දන්නා මට ඔය කෝකත් එකය.. මෙතන ඔය විදියට කිව්වේ කාලය යන වේගය ගැන කියන්නය.. බලාගෙන ගියාම සමහර විට කාලය යන්නේ කාලයටත් වඩා වේගයෙන් ය. කාලයේ වේගය ගැන කියද්දී කොච්චියාට අයින්ස්ටයින්ගේ සමීකරණ හතම මතක් වෙන්නේය.

සාපේක්ෂතාවාදය ගැන පිස්සුවක් කොච්චියාට හැදුණේ ඕලෙවල් කරද්දීය. බහුතරයක් දෙනා අමාරුවෙන් නිව්ටන් ගේ නියම කට පාඩම් කරනා ඒ කාලයේ මට හිතුණේ නිව්ටන් ට අතපසු වූ යමක් තිබිය යුතු බවය. ඒ හොයද්දී හම්බ උනේ අයින්ස්ටයින් වය… මිනිහා එක තැනක හිරවූ බව දැනුනු විට කොච්චියා පැන්නේ නීල්ස් බෝර්ගේ ක්වොන්ටම්වාදය වෙතටය...ඉනුත් නොසැණසුනු මා හෝකින්ස් ගැන බලාපොරොත්තු තැබුවද ආපහු යන්නට වූයේ අයින්ස්ටයින් හිරවූ තැනටය. එනම් ඩිෆයින් කළ නොහැකි වූ ඊතරය දෙසටය… ඔය ඊතරයට ඉදිරියේද අර්ථකථන මහ ගොඩක් එක් වනු ඇත්තේය...ඒත් ඒ නිරඒක්ෂ වූ හොල්මන ගණිතයෙන් හෝ භෞතික විද්‍යාවෙන් ඉවත් කළ නොහෙනු ඇත්තේය.

වැඩේ කියන්නේ මට මේ හැම රෙද්දක්ම මතක් වෙන්නේ දෙකක් දා ගන්නා විටය. අවුරුද්දේ මුල්ම දවසේ බොන එකා කාලකණ්ණියා යැයි කවුදෝ කිව්වේය… කාලය යන ඉක්මන ගැන සිතනා කල්හි ඕක කෑවා හෝ නොකෑවා කියා අමුතු වෙනසක් ඇති වෙනවා යැයි මා හිතන්නේ නැතිය. තිස් එක හෝ එක කියා නැත්තේය...බොන්නට හිතුනාම බොන්නම ඕනාය. ඒ අවු අස්සේ අටමා චැට් කළේ මගේ මෙන්ම උගේත් පාලු කපන්නය. හැමදාමත් බොන්නට ඕනා කියා ඇරියස් තියන් ඉන්නා සෙට් එකේ අටමා ඉහළින් ඇත්තේය… ඌ හිත හොඳ කොල්ලෙක්‍ ය. බොන්නට හිතන් ඉන්නා අනෙකා ප්‍රදීප් ය. යුරෝපා ඉතිහාසයේ ස්වර්ණමය යුගය ගැන කතා කරන්නට මට අද වෙන තුරු හමු වූ සුදුසුම සිංහල කතා කරන්නා ඔහුය…. ප්‍රදීප් මේ පෝස්ට් එක කියවනු ඇතැයි සිතන්නේය…

මධ්‍යතන යුගයේ යුරෝපය හා පුනරුද සමයේ යුරෝපය කියන්නේ පට්ට ආතල් මාතෘකා ය. එංගලන්තයේ අට වෙනි හෙන්රි මෙන්ම ඔහුගේ දියණියන් වන මේරි මෙන්ම  එලිසබෙත් ද කතා කළ යුතු චරිතය. ටියුඩර් රජ පරම්පරාවට සමකාලීන ප්‍රංශය ද අමතක කළ නොහැක්කේය.. නොස්ට්‍රදාමුස් හිටි එකල ප්‍රංශයද ජඩයෙක් වූ ප්‍රංශයේ දෙවෙනි හෙන්රි ද… ඔහුගේ පුත් දෙවෙනි ෆ්‍රැන්සිස් මෙන්ම ෆ්‍රැන්සිස් ගේ ඇඹේණිය වූ ස්කොට්ලන්තයේ රැජිණ වූ මේරි ගැනද කිව යුතු මෙන්ම අසා උගත යුතු දෑ අප්‍රමාණය.. ඒ සඳහා ඒ උණ ඇත්තන් කලක පටන් හෙවූ මුත් ප්‍රදීප් කියන්නේ ඒ යුගය අතැඹුලක් සේ කියවූවෙක් බව අද මා දන්නේය… මේ කිව්වේ ඔහේලා හඳුනන prajay නොහොත් ඒ මගේ උගත් මිත්‍රයා නොහොත් learned friend ගැනය.

කලක් ටියුඩර් වංශය ගැන කියැවූ කොච්චියා මේ දවස් වල කියවන්නේ ප්‍රංශයේ Volais රජ පරම්පරාව ගැනය. ඒ පරම්පරාවේ සැලකිය යුතු මොහොත වෙන්නේ හෙන්රි ව උපක්‍රමිකව මරා ඔහුගේ පුතා වු දහසය වියැති ෆ්‍රැන්සිස් රජ වීමය… එය රෝමය මෙන්ම එංගලන්තය කෙරේද ඇති කළ බලපෑමය…නැගී එන ප්‍රොතෙස්තන්ත රැල්ල හා බැස යන රෝමානු කතෝලික ආධිපත්‍යයය කෙරේ එහි බලපෑමය...කොච්චියාට කවදත් කතෝලික පල්ලිය පෙන්නන්නට බැරිය… වත්මන් අන්තවාදී මුසල්මානුවන් එදා කතෝලිකයාට වඩා තවමත් දස ගුණයක් හොඳය.

නොස්ට්‍රදාමුස් මාර පොරක් වෙන්නේ ඔය මරණයත් එක්කය...මොකෝ හෙන්රි මැරෙන හැටි මිනිහා කලින් කියා තිබ්බේය...ඒ කිව්වා වගේම joust game එකකදී ඇස හරහා හිස් කබල පසාරු වූ ප්‍රහාරයකින් හෙතෙමේ මළේය. නොස්ට්‍රදාමුස් කිව්වා වගේම හිසේ කුහර දෙකක් ඇති වුණේය. ගේම දුන්නේ පුතා කියා කවුරුත් නොදත්තෝය… මූණ වසා ගත් කල මෙන්ම රාජ උෂ්ණය ඇඟට ගැසූ කල පියා පුතා හඳුනන්නේ නැතිය..

ඔය කියනා කාලයේ ලංකාව තිබ්බේ පෘතුගීසි බලපෑමට යටත්වය… ලංකාවේ මුල්ම ක්‍රිස්තියානි රජු හිටියේ ඔය කාලයේය.. ඒ දොන් ජුවන් ධර්මපාල ය.. එංගලන්ත හා ප්‍රංශ සීතල යුද්ධ මෙන්ම පෘතුගාලය ප්‍රමුඛ රෝමානු කතෝලික අධිකාරියට එකල එල්ල වූ තර්ජනයන් සෙරන්ඩිබ් නොහොත් ලංකාවට එදා නොදැනුනේ අප ඔවුන් සතු ඉතා කුඩා කොටසක් වන්නට ඇති නිසාය..අපට අනුව ඒ රෝමානු කතෝලික පල්ලියේ ක්ලයිමැක්ස් එකය..ඇත්තට බැලුවොත් ඒ උන්ගේ මළගමය. මළගම උත්සවශ්‍රීයෙන් සැමරිය හැක්කේ මෝඩයන් හා පමණය. දැන් අපේ උතුම් මුතුන් මිත්තන්ට අගෞරවයක් කළා කියන්නට එපාය. ඒ වෙද්දීත් අපේ එවුන් ඇන්දිය හැකි ආකාරය උන් අවබෝධ කර ගෙන තිබ්බේය. අදටත් යුරෝපය විහිලු සහගත ලෙස බැහැර කරනා කුණු ගොඩවල් අප කරේ තියන් යන්නේ ඒ නිසාය.  ඩා වින්සි කෝඩ් යුරෝපයේ පෙන්නූ නමුත් සොරි ලංකාවේ වාරණය උනේය. සමලිංගිකත්වය යුරෝපය පිළිගනිද්දී අප ඊට වළ කපා ඇත්තේය… ගබ්සාව යුරෝපය පිළිගනිද්දී අප ඊට විරුද්ධව නැගෙන්නේ සංගිස්කුරුතියේ අරුමය රකින්නය.. අපට ඇති ලබ්බේ සංගිස්කුරුතියක් නැතිය...ඒකත් හයිබ්‍රිඩ් ය. මොකෝ ඔය කිවූ ඉලව් තිබ්බේ වික්ටෝරියානු සම්ප්‍රදායේ මිසක සිංහල සම්ප්‍රදායේ නොවෙන නිසාය. ධර්මාශෝක ගේ කපටි බෞද්ධ සංස්කෘතිය මහා විහාර හා අභයගිරි භික්ෂූන් ගේ දේශපාලන උවමනා වලින් දියකර සාදා ගත් මොකක්දෝ එක වික්ටෝරියානු අධිපතිවාදී කිරිස්තියානියෙන් පොලිෂ් කර සාදා ගත් ඒ අටමගලය අපේ උරුමය යැයි කෑ ගසා එය රකින්නට දත කන්නෝ අද පඳුරකට පයින් ගසා සොයා ගත හැක්කේය.
…………………………………………………...
කොච්චියා උපන්නේ ජනවාරි හතර වෙනි දාය. උපත සමරන්නට තව පැය ගණනක් ඇත්තේය. හතර කිව්වාට තුන් වෙනිදා පසුවී විනාඩි පහක් විතරය. උපන් දිනය කියන්නේ තව දුරටත් සතුට ගෙන දෙන්නක් නොවන්නේය… දුක නොදැනෙනා මට එහි ඇති දුකක්ද නැත්තේය… මා ඉන්නේ මේ වෙලාවේ මරණය කියන්නේ සැපක්ද දුකක්ද සිතමින් ය…. එයත් සාපේක්ෂය… ආයෙත් එන්නේ අයින්ස්ටයින් වෙතටම උනාට ඒ වයසක මුත්තා මෙතනට දැන් ගැලපෙන්නේ නැතිය. මට ආතල් වූ හැම අටමගලයම ඔහෙලාට එසේ නොවන්නට පුලුවන්‍ ය. ඒ නිසා ඒ මාතෘකාව පස්සට දමන්නේය.

කොච්චියාගේ උපන් දිනය හැමදාමත් ලකෙන් අඩුය.. මොකද කිව්වොත් ඒ යෙදෙන්නේ බෝතල් මාසයේ නිසාය.. මීගමුවේ අපට බෝතල් මාසය ගැන අමුතුවෙන් කිව යුතු නැතිය…. ජනවාරිය කියන්නේ මීගමුවේ එවුන් බෝතල් පත්තර කාරයින්ට බෝතල් විකුණා ගතමනාව සොයා ගන්නා කාලයක් ය. ඒ තරමටම හිඳිලාය. පාටියක් දමා එයට ආරාධනා කළත් අතින් පාඩුය… ඒකට එන්නේත් ගෙදර හන්ටර් වී ඇති නිසා පාටියෙන් කන්නට බලන් ඉන්නා ජොකියන් ය.. දැන් ඉන්නේ මෙලෝ රහක් නැති දෙසැම්බරයක් ඇති අරාබිකරයේ නිසා ඒ සම්බන්ධයෙන්  තත්වය ටිකක් වෙනස් ය.

මේ පෝස්ට් එක පටන් ගත්තේ උපන්දිනයට දවස් කීපයක් කලින් උනාට අද උපන්දිනය දවසේ රාත්‍රිය ය . ඊයේ පෝස්ටුව දාන්නට උන්නාට බැරි උනේ වැඩ අධික වූ නිසාමය.  කෝකටත් නැති කොටම කොට පෝස්ටුවක් ලිව්වේ උපන් දිනය දවසේ කරපු ලබ්බක් තියෙන්නට ඕනා නිසාය. අම්බානෙක ඉතිහාස ටෝක් හා භෞතික විද්‍යාව පුරවා ලියන්නට හැදූ පෝස්ට් එකක් මේ විදියට අවසන් කරන්නේ ඒ නිසාය. මේකේ තියෙනා මාතෘකා ටික වෙන් වෙන්ව ලියන්නට කොච්චියා හිතන් ඉන්නේය. හිතාගෙන ඉන්නා ඔක්කොම කළා නම් අද මා පට්ට පොරක් ය.. එසේ පොරක් වී නැති නිසා මා ඕවා ලියාවි කියා හිතන්නටත් එපාය…

වැඩකට ඇති ආතල් එකක් තිබ්බෝතින් හෙටට යෙදෙනා උපන්දින සාදය ගැන ලියනවා ඇත්තේය… ඒ උනත් ඒ හෙටය..ඊට පෙර අද තාමත් අද මය…
ඒ නිසා කොච්චියා වන මම මට සුබ උපන්දිනයක් පතා ගන්නේය...