Friday, September 16, 2016

මොරිස් සහ මලින්ද සමග පොත්තිගෙ කෙමිස්ට්‍රි පංතිය

පලවෙනි කතාව කියන්න හිතුනේ පාසල් ජීවිතයේ අන්තිම කඩඉමට මුල් ගල් තිබ්බ ඕ ලෙවල් ඉවර වෙලා ඒ ලෙවල් පංති යන්න පටන් ගත්තු යුගය ගැන. කොච්චියා සිප් සතර හැදෑරුවේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ නොහොත් කොළඹ රාජකීය විද්‍යාලයේ. ඉතා ඉහලින් ඕ ලෙවල් සමත් වෙච්ච කොච්චියා සහ මිතුරු කැල උසස් පෙලට ටියුෂන් හොයපු හැටි තමයි අද ලියන්නෙ. ටියුෂන් ආශ්‍රිත රස කතා ඉදිරියට ගොඩාක් තියේවි.

නත්තලට ඔන්න මෙන්න තියලා ඕ ලෙවල් සියලු විශයන් ඉවර වුනා. ප්‍රතිඵල මොනවද කියලා අපි හැමෝම එතකොටත් හිතා ගෙන ඉවරයි..ගණිතය ගැන උමතුවකින් හිටිය මමත් , ඉංජිනේරු සහ දොස්තර හීන වල හිටපු මගේ අනෙක් යාලුවො සෙට් එකත් මේ වන කොටත් තමුන් උසස්පෙල කරන්නෙ මැත්ස් ද බයෝ ද කියලා තීරණය කරලයි තිබ්බෙ.

ඔය කාලෙ මගේ හොදම සගයා උනේ මොරිස්.අද මොරිස් දොස්තරෙක්.ලොකු කාලෙකින් කතා කරලවත් නැති නිසා මිනිහත් දොස්තරලගෙ ලමයින්ට විශේෂ වරප්‍රසාද ඉල්ලන ගැන්සියෙද කියලා නම් දන්නෙ නැහැ. මොරිස් ගියේ මීගමුවේ සෙන්ට් මේරිස් එකට, මිනිහට ඕන උනා ඒ ලෙවල් වලට රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට එන්න. ඒත් මිනිහට ඕ ලෙවල් වලට තිබුනෙ ඩී 6ක් හෝ 7ක් විතරයි. එක සී එකක් හෝ දෙකක් තිබ්බ චිත්‍ර වලටයි කොමර්ස් වලටයි.කොච්චර උත්සහ කලත් මොරිස්ට රාජකීය හීනය සැබෑ කර ගන්න බැරි උනා. ඉතින් මිනිහව ඉහලින් බාර ගත්තේ මාරිස්ටෙලාව.

සැබෑ දක්ෂයෙක් වෙච්ච මොරිස් ඒ ලෙවල් වසර දෙකේ  මීගමුවෙ පාසල් වල සුපිරි තරුව වෙලා හිටියෙ. මොරිස්ට ට්‍රයි කරපු කෙල්ලො කොච්චර හිටියත් ආවෙ මරියා එකේ ඉගෙන ගත්තු ප්‍රියංජලා ගෙ පස්සෙන් යන එක තමයි  මිනිහගෙ වැඩේ උනේ. කරුමෙට ප්‍රියංජලා ඒ දවස් වල මුගේ දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ.
අවුරුදු කීපයකට පස්සෙ මෙඩිකල් කොලේජ් යන අතරේ කොහොම හරි මොරිස් තමන්ගේ ආදරය දිනා ගත්තත් ඒක වැඩි කල් නොගොස් නතර උනු බව තමයි දැන ගන්න ලැබුනේ.

අපේ සෙට් එකේ තවත් චරිතයක් මලින්ද . අඩි 6'2" උස මලින්ද රටේ ප්‍රසිද්ධ සිවිල් නිලධාරියෙක් සහ මගේ දෙමාපියන්ගේ හිතවත් විදුහල්පතිනියකගේත් එකම පුතා. එහෙම  කිව්වේ මලින්දට අක්කා කෙනෙක් හිටි නිසා. මුලින් සෙන්ට් මේරිස් ගිහින් පසු කාලීනව ඩී එස් එකට මාරු වුනු මලින්දත් මමත් ඉස්කෝලේ ගිය රද්දොලුගම ඉදලා ආපු මහින්ද අංකල් ගේ ස්කූල්වෑන් එක සම්බන්ධ කතන්දරත් එමටයි. ඒවා පස්සට. සිරිමාවෝ එකට ගිය මලින්දගේ අක්කා දිල්මිනි ගියෙත් අපි එක්කමයි. අපිට ටියුෂන් හොයද්දි ඇගේ ඒ ගැන අවබෝධය ගොඩක් උදව් උනා.

සෙන්ට් මේරිස් එකේ පරණ යාලුවො වුනාට මලින්ද සහ මොරිස් ගජ මිත්‍රයො වෙන්නෙ මම උන් දෙන්නගෙ ජේදන කුලකයෙ හිටපු නිසා. සම්පූර්ණයෙන්ම වෙනස් අදහස් තිබ්බට මම නිසා මුන් දෙන්නා ඒ කාලය තුල සාමයෙන් හිටියා කියන්න පුලුවන්. මත ගැටුම් වල උච්චතම අවස්ථාව ආවෙ උසස් පෙල විභාගය ඉවර වෙලා ගිය ට්‍රිප් එකකදි.ඒකත් අමාරුවෙන් මම ගොඩ දැම්මා වගේ තමයි මතක. ඒ ට්‍රිප් එක ගැනත් පස්සෙ දැන ගන්න ලැබේවි.

සෑහෙන්න මත විමසුමකින් පස්සෙ අපි තුන් දෙනාම තීරනය කලා රසායන විද්‍යාවට පොතුපිටිය මිස් ලගට ටියුෂන් යන්න.ගම්පහ නගරය ගැන කිසිම දැනීමක් නැතුව මුල්ම දවසෙ තැන හොයා ගන්න බැරුව මොරිසුත් මමත් හැම තැනම ඇවිද්දා. මොකක් හරි හේතුවක් නිසා මලින්දට අපි එක්ක මුල් දවසේ පංතියට යන්න ලැබුනේ නැහැ.අන්තිමට ඉස්පිරිතාලෙ ලගම තිබ්බ ටයර් කඩය්ක් පිටිපස්සෙ තිබ්බ පොත්ති ගේ කෙමිස්ට්‍රි පංතිය හොයා ගත්තා. ඒ වෙනකොට පංතිය පැයක් විතර පටන් අරන්... අපි දෙන්නා වැරදිලා එතනම අයිනෙන් වැටිච්ච පාරක ගිහින් ආපහු එද්දි තමයි තැන හරියටම සෙට් උනේ. පිටිම පස්සෙ බංකුවෙත් ඉඩ තිබ්බෙ නැතුව හිටගෙන හිටපු බවක් තමයි මතක. අති ආකර්ශණීය හඞ පෞරුෂයක් තිබ්බ ගුරුවරියක් වුනු පොතුපිටිය මිස් උගන්නන දේ මතක තියාගන්න අමුතුවෙන් පාඩම් කරන්න ඕන නැති බවක් එවෙලෙම අපට තේරුණා. විද්‍යාව පොවන්න පුලුවන් ගුරුවරියක් වුනු මගේ අම්මාගෙන් සාමාන්‍ය පෙළ විද්‍යාව ඉගෙනගත්තු මටයි මොරිස් ටයි පොත්ති කදිම ආදේශකයක් වුනා. ඊලග සතියේ ඉදන් මලින්දත් අපිට එකතු වුනා.

6 comments:

  1. ඔන්න පළවෙනි කමෙන්ට් ඒක මගෙන්. ගෙනිහින් රෝලෙත් එල්ලන්නං. හැබැයි දිගටම ලියන්න ඕනෑ.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි. අනිවාර්යෙන්ම ලියනවා.

    ReplyDelete
  3. මේ පොතුපිටිය මිස් රාජකීය විද්‍යාලයේ ඉගැනුවාද කොච්චි....

    ReplyDelete
  4. අපේ කාලේ නම් ටියුෂන් කළ කාන්තාවන් හිටියේ ම නෑ.

    පාසලේ රසායන විද්‍යාව ඉගැන්වුයේ පිළිවෙලින් කිරිමුතුගොඩ (පිරිමි) සහ ඊළඟට සේරම ගැහැණු දෝන කතිරිනා (නම අමතකය), වෛද්‍යනාථ සහ ඇන්ටිමනී (ලියනගේ). ඒ අය ටියුෂන් කළේ නෑ.

    මං ටියුෂන් ගියේ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න ලඟට, වැල්ලවත්තේ සහ නුගේගොඩ!

    ReplyDelete
    Replies
    1. කාලය තුල ගොඩක් දේවල් වෙනස් වෙනවා..ටියුෂන් සහ එහි විකාශනය ගැන කොච්චියා පුලුල් හැදෑරීමක් කරලා තියෙනවා. 2010/2009 වෙනකන්. ඒ ඉදන් අද වෙනකන් අතිශය වෙනස්වීම් වලට ක්ෂෙත්‍රය ලක් වෙලා..ආයෙත් ඒ ගැන හදාරලා බලන්න තරම්ම.

      Delete