Sunday, October 16, 2016

විස්කි සහ සුරුට්ටු සමග බ්ලොග් ලිවීම, අකලට මළ රණවීර සහ බැට් එකෙන් කල පොළොං හටන

අද කොච්චියා ඉන්නේ කතන්දර අතර හිර වෙලාය. සිදුවීම් සහිත කතා ගණනාවක් තිබුනාට මේ වෙලාවේ ඔලුවට එන්නේ එකම එක චරිතයක් ය. මිනිහා අද හුස්ම ගන්නේ නැත්තේය. මැරී වල පල්ලේය. හැබැයි මගේ හද පතුලේ ඉන්නේය. අකලට මළ ඒ මිනිහා රණවීරය. මගේ තාත්තාගේ වසර ගණනක රියදුරාය… මරාගෙන මැරෙන්නට පවා රෙඩි පිට උන් මිනිහාය.

රණවීර කියන්නේ සීටීබී ඩ්‍රයිවරයෙකි… මිනිහාව අපට ගෙනාවේ යුද හමුදාවෙන් පැන ආ ඉනසන්ට් ය. එනම් රණවීරට කලින් උන් ඩ්‍රයිවර් ය. උගේ නම ඉනසන්ට් උනාට ඌද පට්ට මදාවියෙකි...අපි පොඩි කාලේ වෑන් එකට නැග්ගාම ඌ අපට කිව්වේ ආමි කතන්දරය … කොටින්ට එල්ලලා ගහපුවාය..උන්ට පණ පිටින් ගිනි තියා මරපුවාය… අපේ අම්මා හා තාත්තා කිව්වේ ඒවා ඌගේ බයිලා කියාය. මහ කැලේ වහලය රහිත වාහන එලවා පුරුදු ඉනසන්ට් අපේ වෑන් එක එලවද්දීත් ගසක අත්තක් යටින් යන කල ඔලුව නැව්වේය. අත්ත ඔලුවේ වදී කියා බයටය.

වැනිලා සුරුට්ටුව සමග සින්ගල් මෝල්ට් ඔන් ද රොක්ස්

කොච්චියා මේ පෝස්ට් එක ලියන්නේ දෙකක් දා ගන්නා ගමන් ය..දෙකක් කිව්වාට මේ වෙන කොට තුන් දෙනෙක් එක බෝතලයක් නිම කොට ඊලග එක කඩන ගමන්ය.. ඒකත් ඉන්දියන් විස්කිය. ඉන්දියන් විස්කි බොන්නේ හොද බඩු ඉවර වී ඇති නිසාය..නැත්නම් අක්මාව පමණක් නොව ආමාෂය හා උගුර පවා පිච්චෙනවාය. ඇත්තේ වහුතු කැරපොතු රසක්‍ ය.. ඕමානයේ තියෙනා ඉන්දියන් ඒවායේ හැටි එහෙමමය. බැලන්ටයින් සහ ජොනී අයියාගේ කලු පාට ලේබලය මෙන්ම අතේ මිටේ ඇතිවිට සින්ගල් මෝල්ට් ග්ලෙන්ෆෙඩික් ද කොච්චියා වැඩිපුර බොන ඒවාය. ඒවාට පුරුදු වූ මගේ දිව සහ නාසය මේ මල ජරාව උගුරට යවා ගන්නේත් ආඝ්‍රහණය කරන්නේත් වෙරි වීමම මිස අන් අවශ්‍යතාවයක් මේ මොහොතේ නොමැති නිසාමය. හොඳකට ඇත්තේ මගේ ප්‍රියතම වැනිලා සුරුට්ටු කීපයක් ඉතිරිව තිබීමය.. එය අදිනා කල අර කැරපොතු රසය අමතක වන්නේය.කොහොම උනත් කොච්චියා විස්කි,සුරුට්ටු,සෙක්ස් සහ ගණිතය ගැන ළඟදීම පෝස්ට් එකක් ලියන්නේය.අමතක උනේ කෝපිය. මේවා ඇබ්බැහිකම්ය. ඔයින් කොච්චියාට භයානකම දේ ගණිතය නිසා සිතා මතා ඉන් ඈත් වී ඉන්නේය. අද කරනා කරුමාන්ත ඔක්කොම වසා දමා විස්කි බොමින් සුරුට්ටු අදිමින් ගණන් හදන්නට කොච්චියා මනාපය. නෝනා නොහිටින්නට කොච්චියාට ජීවිතය කියන්නේ පවතිනා මොහොත පමණක්මය.


රණවීර කොච්චියා වෙනුවෙන් වලි වලට පවා ගියේය. උසස් පොලිස් කාරයන්ගේ පුතුන් පසු පස ජැක් ලිවර් ඔසවා ගෙන දිව්වේය...උන්ව ගස් බැන්දේය...කොහේවත් නොව උන්ගේම ගෙවල්වල ය.. අපේ මාපියෝ මේවා නොදත්තෝය… දන්නවා නම් රණවීරට රස්සාව මෙන්ම කොච්චියාට එදා ගෙදරද අහිමි වන්නට තිබුණේය.


එකදාස් නවසිය අසූ ගණන් වල රණවීර මිනිහෙක් මැරුවේය. මරා නිකන් සිටියේ නැත...ගමේ සිටි නෝන්ජලයෙක් වූ ජස්ටියාව සීන් එකට පැටලුවේය… ඊට පස්සේ ඌට තර්ජනය කර ඌ වරද බාර ගෙන ඌ හිරේ ගියේය.. මා පමණක් නොව මගේ එකල බොක්ක වු දිමුතු සමගද මූ ජස්ටියා බලන්නට හිරේ ගියේය. බැලූ බැල්මට රණවීරද නෝන්ජල් පහේය..ඒත් කූප්පා ගත් කල තනිකර වෙනස් මිනිහෙක්‍ ය. දෙතුන් දෙනෙක් එකවර බෑවීමට පවා දෙවරක් නොසිතන්නෙක්‍ ය.


කොච්චියා පරණ නෝනා එක්ක ලව් කලේ ඉස්කෝලේ යන කාලේ සිටය. අපි ඉස්කෝලේ ගියේ එකම ස්කූල් වෑන් එකේය. ඇඩ්වාන්ස් ලෙවල් කරමින් සිටි ඈ හා කාලය ගත කරනු වස් කොච්චියා NIBM යද්දී ගියේද ඒ වෑන් එකේමය. ඒ වෙනුවෙන් වෑන් හිමි ක්‍රිශාන්ත අයියාට වැඩිපුර ගානක් ද කොච්චියා ගෙව්වේය. ඒ විතරක් නොව මට වෑන් එකට නගින්නට මහ පාන්දර සීදුව හන්දියට එන්නටද සිදුවිය . මාව හන්දියට දාන්නට රණවීර නියමිත වෙලාවට පැයකට කලින් සේවයට වාර්තා කලේය.. ඒ බොක්කෙන්මය… ඊට උදව්වක් ලෙස කොච්චියා පොකට් මනී වලින් ඉතුරු කරගත් මුදලින් ඉදහිටලා රණවීරගේ ගෙදර ලයිට් බිල ගෙව්වේය. සමහර දාට රණේ පරක්කුය..මම මිනිහා හොයන්නට යන්නට ඕනාය. රණේ ගේ ගෙදර තිබ්බේ අත්තනගලු ඔයට යාබද වෙල්‍ යායේ කමතේය. එතනට යන්නට වාහනය නවතා බල්ලන්ට තග දමමින් අඩි පාරක යා යුතු වන්නේය..සරපයෝද අඩු නැත්තේය..අඩි පාරට මුහුණ ලා වාහනය නවතා ස්ටාට් එකේම තියා හෙඩ්ලයිට් දමා මිස ඒ අඩි පාරේ යාම භයානකය..


රණවීරට සර්පයින් මැරීම ටොයිස් ය.. මිනී මරපු එකාට සර්පයාත් කජ්ජක්ද කියා ඔහෙලාට හිතෙන්නට පුලුවන්‍ ය. ඒත් පොළඟා සමග සටන පහසු නැත. ඒ දන්නේ වැඩේ  ට්‍රයි කරපු එකෙක් විතරය.  මණ්ඩාවක් ඇත්නම් යම් හයියක්‍ ය.. ඒත් රණවීර වරක් සඳුවා ගේ බැට් එකෙන් තඩි පොළඟෙක් හා සටන් වැද මරා දැම්මේය. සඳුවා කියන්නේ කොච්චියාගේ මල්ලීය.  ඊට පැය කීපයකට පෙර සඳුවා ඔය බැට් එකෙන්ම නාලන්දයට එරෙහිව අර්ධ ශතකයක් ගැසුවේය..ඌගේ ආදරණීය බැට් එකෙන් ගසා රණවීර මරා දැමූ පොළඟා ප්‍රමාණයෙන් පිඹුරෙක් වගේ එකෙක්‍ ය. ඒ දැවැන්ත උරගයා  දෙවරක් උඩ පිනූ අතර වරෙක පුල් පහරකුත් වරෙක් ස්ක්වෙයා කට් පහරකුත් දී රණවීර ඌ අඩපණ කළේය. බරපතල හානි ලද බැට් එක දෙස සඳුවා කඳුළු පිරි දෙනෙතින් බලා සිටියේය.

මිට ගැලවී ගිය සඳුවාගේ බැට් එක පොලොං හටනෙන් පසු දිස් උනේ මෙසේය

දියවැඩියා රෝගයෙන් පීඩා විඳි රණවීර වාහනය නවත්වන වාරයක් පාසා මුත්‍රා කලේය. සීදුවේ සිට මීගමුවට යන අතරේ තුන් තැනක නැවැත්තුවොත් මිනිහා තුන්වතාවේම කොහේ හෝ රිංගා වැඩේ කරගන්නේය. හැබැයි එක දිගට නොනවත්වා පොලොන්නරුවට ගියත් මිනිහාට චූ කරන්නට ඕනා වන්නේද නැත්තේය..ඒ නිසා කොච්චියා එකල එය පොරගේ මානසික අවශ්‍යතාවයක් ලෙස සැලකුවේය.


මාස කීපයකට පෙර නංගී මට whatsapp එකෙන් කියා එව්වේ රණවීර මළ බවය. ඕනෑ තරම් නෑයන් හිතවතුන් ගේ මරණයන් ඇසුවත් කිසි හැගීමක් නැති මා මේ පණිවිඩය නිසා දුක් වුණේය. මට යා ගන්නට බැරි වූ නිසා තවත් හිතට අවුල්‍ ය. ඒ දුක දැනුනු මොහොතේම මිනිහා ගැන ලියන්නට හිතා ගත්තේය. කොච්චියාගේ හිතට දැන් දැන් එසේ ලේසියෙන් දුක එන්නේ නැත..ආවොත් ලිවිය යුත්තක්මය.


රණවීර තරම් අපේ අම්මාගෙන් බැනුම් ඇසූ රියදුරෙක් නැති තරම්ය. මිනිහා පාරේ යන්නේ ඉබි ගමනේය. වේගයෙන් රිය පදවන්නියක වන මගේ මව්ට රණවීරගේ වේගය දිරවන්නේම නැත. ඒ මදිවාට parking skills නම් අන්තිම සවුත්තුය. පොඩි ඉඩක රිංගවාගන්නට පණ බයය. ඒ නිසා අදාල තැනින් බැස ගත්තාට ආපහු වාහනය ලගට බොහෝ දුර ඇවිදීම අනිවාර්ය ය. ඇක්සලේටරයට වඩා රණවීරට වැදගත් වූයේ හෝන් එකය. පොර එලෙව්වේම හෝන් එකෙන් ය..වාහනයේ ගමන එකම කරච්චලයක් ය. රණවීර අපේ අම්මා ගේ හැටි දන්නේය. ඒ නිසා බැනුම් ඇහුවාට ගානක් නැත්තේය. මිනිහා කියන්නේ
“නෝනා ගේ කේන්තිය සෝඩා බෝතලේ ඇරියා වගේ”  කියාය.


ඒ රණවීර අද පරලොව ගොසින්‍ ය. පරලොව කිව්වාම ඕක සුරලොව මෙන්ම යමලොව වෙන්නටද පුලුවන්‍ ය. හැබැයි මගේ ලොවේ තාමත් ඉන්නේ ඉස්සරහා දත් දෙකක් අඩු , සිනා මුසු මුහුණින් මගේ පරණ නිල් පාට ලුමාලා ස්පෝර්ට් බයිසිකලේ පැදගෙන එන රණවීරය.

කොච්චියාට දැන් පට්ට නිදිමතය. බීලා නම් ඉවරය. බීපු උන් වැටුණු වැටුණු තැනය. හරියට සිද්ධාර්ථගේ නළඟනන් සේය.බෝතලයක් බොන ගමන් බ්ලොග් පෝස්ට් එකක් ලියා හමාර කල එකම එකා කොච්චියා වන්නට පුලුවන්‍ ය. එසේ මත්ව ලියූ නිසා මේ පෝස්ටුව බ්ලොගක් නොව බොගක් වන්නටද පුලුවන්‍ ය. එහෙමයි කියා මා ලියූ දේ
හෙට එඩිට් කරන්නේද නැත්තේය. එහෙම උනොත් මගේ පෝස්ට් එකේ අමු ගතියට හානි වන්නේය.

59 comments:

  1. //අපි පොඩි කාලේ වෑන් එකට නැග්ගාම ඌ අපට කිව්වේ ආමි කතන්දරය … කොටින්ට එල්ලලා ගහපුවාය..උන්ට පණ පිටින් ගිනි තියා මරපුවාය… අපේ අම්මා හා තාත්තා කිව්වේ ඒවා ඌගේ බයිලා කියාය//

    අපේ මැට්ටෝ ඔය බයිලා ගහන්න ගිහින් තමයි මානව හිමිකම් කේස් ඇදුනේ

    ReplyDelete
  2. රණවීර යන තැනක සතුටින් වෙසේවා.....

    ReplyDelete
    Replies
    1. ඔව්...එහෙම වෙන එක තමා මගෙත් පැතුම

      Delete
  3. බෝතලයකට කලහැකි දෑ අපමණය.

    ReplyDelete
  4. අපොයි අර OMR 5 වලට වගේ ගන්න තියෙන scotch කියල ගහපු ඉන්දියන් බෝතලයක් බොන ගමන්ද මේක ලිව්වෙ :) . හම්මේ ඉතිං පහුවදාට ඇඟට දැනෙන සනීපෙ :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...උදේ නැගිට්ට ගමන්ම පැනඩෝල් දෙකක් බිව්වා හිස් බඩම

      Delete
  5. රණවීරට නිවන් සුව...!

    ReplyDelete
  6. චික් බීම ගැන නං කතා කරන්ඩ එපා .. ඊයේ එලිවෙනකං බිව්වා .තව ටිකකින් ආයේ බොන්ඩ එපැය

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි සති අන්තය ගත කරන්න ඕනෙ

      Delete
    2. අනේ ඔව්..කොහොමහරි බීහං.හරියටම හරියයි !!!

      Delete
    3. පත්තරේ උඹ මටද අටං ටද කිව්වෙ

      Delete
    4. ඉරිසිාව කොච්චියෝ

      Delete
  7. අහවල් මඟුලකට ඔය ඉන්දියන් ජරාව බිව්වද අප්පා.

    ReplyDelete
  8. අපිටනං කෝකටත් ඉතිං ගල් ම තමයි.

    කොච්චර මිනිස්සු ආස්සරේ කළත් ඔහොම හිතට වැදෙන මිනිස්සු ඉන්නෙ එක්කෙනයි දෙන්නයි.

    ReplyDelete
    Replies
    1. ගල් වලින් අත්පොත් තිබ්බ අපිත් ගල් වලට මනාපයි. අන්තිම කාලේ ගලුයි ඇපල් සෝඩායි තමයි ප්‍රියතම පානයක් උනේ.
      හිතට වදින මිනිස්සු බොහොම අඩුයි. ඒ තමා ඇත්ත.

      Delete
    2. අනුග්‍රහය

      - ගල් බලකාය -

      Delete
    3. //කොච්චර මිනිස්සු ආස්සරේ කළත් ඔහොම හිතට වැදෙන මිනිස්සු ඉන්නෙ එක්කෙනයි දෙන්නයි.//

      හරියට අපි දෙන්න වගේ නෙහ්.. හැක්

      Delete
  9. මාසේ මුල ස්කොච් ගහන කොට...මාසේ මැද වෙනකොට ඉන්ඩියන් තමයි ගහන්න වෙන්නේ කියලා අමතක වෙනවානේ :D

    ReplyDelete
    Replies
    1. මාසේ කෝටා එක මදි මේ මාසේ අවශ්‍යතාවයට. ඒ නිසා තමයි වෙනත් කෙනෙක් ගෙනාපු ඉන්දියන් විස්කි බොන්න උනේ. අතේ තියෙන ඒවා ඉතුරු කරගන්න වෙනවා ඉදිරි දවස් වලට.

      Delete
    2. අපොයි ඔව්...මටත් ඒ කාලේ පොඩි පර්මිට් කට්ටක් තිබුනේ එයාර්පෝට් වැඩ කරන කාලේ. ඒක මාසේ මැද ඉවරයි. ඊට පස්සේ බ්ලැක් මාකට් ඉන්ඩියන් තමයි විසඳුම.

      Delete
  10. බෝතලේ ඉන්දියන් වුනාට පෝස්ටුව රහයි.

    ReplyDelete
  11. බකාඩි ඕක්හාර්ට් නීට් සිප් කරන ගමන් සුරුට්ටුවක් අදින්න. පයිප්පයක් නම් ඊටත් හොඳයි

    ReplyDelete
    Replies
    1. බකාඩි ඕක් එකේ තියෙන ඇරෝමා එකයි සුපිරිසිදු දුංකොළ දහනයෙන් එන සුවදයි එක් උනාම තියෙන රිලැක්ස් ෆීලින්ග් එක කොච්චියා හොදට දන්නවා. ඔහේ හොද ටේස්ට් එකක් තියෙන මිනිහෙක් බව පේනවා

      Delete
    2. හෑ. එහෙමත් තියාගෙන මේක කියවනවනේ !! :-DDD

      සාමාන්‍ය ගාණකට ලංකාවෙ bouquet එකක් තියන බීමක් තමයි මෙන්ඩිස් ට්‍රිපල් ඩිස්ටිල්ඩ් අරක්කු, ටිකක් බ්‍රැන්ඩිවගේ

      Delete
    3. මල්ලි ඉන්දියන් බඩු දිගටම ගහන්න අමාරු නං නහය වහං .. ඕල්ඩ් මන්ක් එකක් නීට් ගහන්නකෝ ... පලවෙනි ෂොට් දෙකට වමනේ ගියේ නැතිනං .. හතර පහ යනකොට නාග සලං !!!

      පොඩි කොස්සකට තියෙන්නේ පහුවෙනිදට සිහි ආවට පස්සේ නෝනා මහත්තැන්ට කියල දෙහි ගෙඩි දෙකක් අතුල්ලලා, ඔලුව කැක්කුම යනකං තැඹිලි බොන්න වෙන එක විතරයි !! කලින්ද වෙච්චි කිසිම දෙයක් මතකත් නෑ ... ශිරෝසිස් වලට උනත් හය මාසයක වඩියක් වැඩිදත් මන්ද ?

      හැබැයි මේ වැඩේට වැනිලා සුරුට්ටු වෙනුවට බීඩි හරි පැට්ටෝ දෙතුන් දෙනෙක් තමා හරි යන්නේ !!!

      යකෝ මෙන්ඩට මෙහෙමත් කුඩම්මාගේ සැලකිලි දක්වන්න තෝව උල තියන්නට එපායැ !!!

      Delete
    4. ඕල්ඩ් මන්ක් ගැන කිව්ව දේ පිලිගන්නවා. ඇත්තටම මචං මම මෙන්ඩිස් පාවිච්චි කරලා තියෙන්නෙ හරිම අඩුවෙන්.

      Delete
    5. මෙහේ කට්ටියගෙනම් නැගලම යම බීම බාර්ඩිනට්. සර් එඩ්වර්ඩ් එකත් වැරද්දක් නෑ ඉතින්. ඕල්ඩ් මන්ක්, මුරු හෙඩ් බිවුවා කියන්නෙනම් ඉතින් පහුවදා නිවාඩු දාන්න වෙන කේස් එකක් තමයි.

      අර මෙන්ඩිස් ගොයියට කියපු පඩත්තල කතාවට මගේ බලවත් මෙවුවා එක.

      පලවෙනි පාරට මේ පැත්තට ආවේ.ලියවිල්ල රහයි. ජයවේවා

      Delete
    6. මෙන්ඩිස් ලෝලීන් හැම තැනම. බොහොම ස්තූතියි කමෙන්ටුවට. ලියවිල්ල රසවින්දා නම් එය මගේ සතුටයි.

      Delete
    7. මෙන්ඩිස් මල ජරාව

      Delete
  12. අපි බොන්නේ නැති උනාට පෝස්ට් එක නියමෙට වින්දා..

    ReplyDelete
  13. කොච්චියා මරු ලියන්නෙක් ය.
    උගේ බ්ලොගට මෙච්චර කාලයක් ගොඩ නොවීම ගැන උඩුවා සමාව ඉල්ලනවාය.
    අපි ගොඩ වුණත් නැතත් කොච්චියාට ඒක අදාල නැති බව කොච්චි කියවපු උඩුවාට තේරුණාය.
    හොඳ මිනිස්සු කියන්නේ හොයන්න අමාරු ජාතියක් බව හැබෑය. කොටින්ම කිව්වොත් එහෙමවුන් නැතිය.
    හෙනම ලොකු ප්‍රතිරූප වල කලු පැත්ත උඩුවා හොඳට දැක ඇත්තේය.මිනිස්සු විතරක්ම මේ පොළොවෙ පයගසා සිටින්නේය.
    රණවීර එහෙම මිනිහෙක් වෙන්නට ඕනෑය.

    ReplyDelete
    Replies
    1. කොච්චියාගේ බ්ලොගේට ගොඩ වැදුනාට උඩුවාට මගේ ආචාරය...
      රණවීර හොද මිනිහෙක්‍ ය. අවුලකට තිබ්බේ සමහර වෙලාවට පත බොරුවක් දෙකක් ඇද බෑමය. හැබැයි ඉන් කාටවත් වරදක් නැත්තේය. හරියට හීං බබා සීයා වගේය.

      Delete
  14. හුකා.!! මේවනෙ බන් බ්ලොග්. යාන් හෑල්ලට හපන් අම්බලන්ගොඩය. ඌට හපන් උබ. පයිට් ලව් සීන් එක්ක ආයෙ දෙකක් බන් උබේ ලිවිල්ල නම් මරු. 👊🏽. කටාර් වල නම් තිබ්බේ ෆෙමස් ග්‍රවුස් එක්ක ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක් තිබ්බ බෑග් පයිපර් කියල. ඒත් වැඩි හරිය සිරි ලංකන් කසිය. ඉතුරු ටිකත් විගහට ලියහන්. හොඳේ. ජය වේවා..!! 😂😂👊🏽

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ. කොච්චියා තව ලියාවි කතන්දර.මෙහේ කසියා නම් නැහැ මොකද අනෙක්වා තදබල වාරණ නැතුව පර්මිට් පිට ගන්න ඇහැකි නිසා

      Delete
  15. කාගේ අවාසනාවද මන්දා හැලපයාගේ පිහිටියෙන් තමා කොච්චයා මට හව් උනේ.. ජය

    ReplyDelete
  16. විස්කි, සිගරට් ගැන නම් මම දන්නේ නැහැ. බ්ලොග් එකනම් සුපිරියට ලියනවා. තව ලියන්න.
    සුභ පැතුම්

    ReplyDelete
  17. හැලපයියා කිව් කොච්චියා කවුදැයි බලන විට කොච්චිමිරිස් හමු විය..
    නමටම හරියන සැර ලිවිල්ලය..
    මරු ය..
    දිගටම එනවා ය..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගේට ගොඩ වූවාට ස්තූතියි . නොලියා සිටි මට ලියන්නට බල කලේ හැලපයාය

      Delete
    2. නුදුරු අනාගතයේ කොච්චියා විස්කි සහ සුරුට්ටු ගැන ලියනවාය. කෝපි ද අමතක නොවන්නේය.

      Delete
  18. කලින් දැක්කට වෙලාව මද කම නිසා අදයි මේ පැත්තට ගොඩ වුනේ...අම්බලන්ගොඩයාට සමාන ලිවීමේ රටාවක් දැනුනා මේ ලියමනෙත්...බොහොම රහයි...

    අපේ තාත්තගේත් උන්නා ව්‍යාපාරික කටයුතු වලදී රැගෙන ගිය ඔය වගේ රියදුරු මිතුරෙක්...පසු කාලීනව ඔහු බස් රථ රියදුරෙක් උනා...ඔහුගේ රිය පදවන වේගය කොයි තරම් සාර්ථකද කියනවා නම්, ඔහු පදවන බස් රථයට කොළඹ යන්න ගොඩ වුනොත් නියමිත් වේලාවට යාම සිහිනයක්ම පමණයි...

    පිටරටක ඉද්දි ඒ වගේ මරණයක් ගැන අහනවට වඩා වේදනාවක් නැහැ...

    ReplyDelete