Wednesday, January 4, 2017

අයින්ස්ටයින්, නොස්ට්‍රදාමුස් ගේ ප්‍රංශය, දොන් ජුවන් ගේ ලංකාව සහ කොච්චියාගේ උපන් දිනය

දන්නේම නැතුව අවුරුද්දක් ඉවර උණේය. හිතන්නවත් වෙලාවක් තිබ්බේ නැතිය. ගිය අවුරුද්දේ මේ දවස් වල ලංකාවේ හිටිය හැටි අද ඊයේ වාගේ මතකය. අවුරුද්දක් කියන්නේ මෙච්චර ඉක්මනින් යන එකක් නම් වියපත් වී මා මිය යන දවසද වැඩි ඈතක නෙවේ යැයි හිතෙන්නේය. ඒ වයසට ගිහින් මළොත් ය… if else මෙන්ම else if condition ගැනද දන්නා මට ඔය කෝකත් එකය.. මෙතන ඔය විදියට කිව්වේ කාලය යන වේගය ගැන කියන්නය.. බලාගෙන ගියාම සමහර විට කාලය යන්නේ කාලයටත් වඩා වේගයෙන් ය. කාලයේ වේගය ගැන කියද්දී කොච්චියාට අයින්ස්ටයින්ගේ සමීකරණ හතම මතක් වෙන්නේය.

සාපේක්ෂතාවාදය ගැන පිස්සුවක් කොච්චියාට හැදුණේ ඕලෙවල් කරද්දීය. බහුතරයක් දෙනා අමාරුවෙන් නිව්ටන් ගේ නියම කට පාඩම් කරනා ඒ කාලයේ මට හිතුණේ නිව්ටන් ට අතපසු වූ යමක් තිබිය යුතු බවය. ඒ හොයද්දී හම්බ උනේ අයින්ස්ටයින් වය… මිනිහා එක තැනක හිරවූ බව දැනුනු විට කොච්චියා පැන්නේ නීල්ස් බෝර්ගේ ක්වොන්ටම්වාදය වෙතටය...ඉනුත් නොසැණසුනු මා හෝකින්ස් ගැන බලාපොරොත්තු තැබුවද ආපහු යන්නට වූයේ අයින්ස්ටයින් හිරවූ තැනටය. එනම් ඩිෆයින් කළ නොහැකි වූ ඊතරය දෙසටය… ඔය ඊතරයට ඉදිරියේද අර්ථකථන මහ ගොඩක් එක් වනු ඇත්තේය...ඒත් ඒ නිරඒක්ෂ වූ හොල්මන ගණිතයෙන් හෝ භෞතික විද්‍යාවෙන් ඉවත් කළ නොහෙනු ඇත්තේය.

වැඩේ කියන්නේ මට මේ හැම රෙද්දක්ම මතක් වෙන්නේ දෙකක් දා ගන්නා විටය. අවුරුද්දේ මුල්ම දවසේ බොන එකා කාලකණ්ණියා යැයි කවුදෝ කිව්වේය… කාලය යන ඉක්මන ගැන සිතනා කල්හි ඕක කෑවා හෝ නොකෑවා කියා අමුතු වෙනසක් ඇති වෙනවා යැයි මා හිතන්නේ නැතිය. තිස් එක හෝ එක කියා නැත්තේය...බොන්නට හිතුනාම බොන්නම ඕනාය. ඒ අවු අස්සේ අටමා චැට් කළේ මගේ මෙන්ම උගේත් පාලු කපන්නය. හැමදාමත් බොන්නට ඕනා කියා ඇරියස් තියන් ඉන්නා සෙට් එකේ අටමා ඉහළින් ඇත්තේය… ඌ හිත හොඳ කොල්ලෙක්‍ ය. බොන්නට හිතන් ඉන්නා අනෙකා ප්‍රදීප් ය. යුරෝපා ඉතිහාසයේ ස්වර්ණමය යුගය ගැන කතා කරන්නට මට අද වෙන තුරු හමු වූ සුදුසුම සිංහල කතා කරන්නා ඔහුය…. ප්‍රදීප් මේ පෝස්ට් එක කියවනු ඇතැයි සිතන්නේය…

මධ්‍යතන යුගයේ යුරෝපය හා පුනරුද සමයේ යුරෝපය කියන්නේ පට්ට ආතල් මාතෘකා ය. එංගලන්තයේ අට වෙනි හෙන්රි මෙන්ම ඔහුගේ දියණියන් වන මේරි මෙන්ම  එලිසබෙත් ද කතා කළ යුතු චරිතය. ටියුඩර් රජ පරම්පරාවට සමකාලීන ප්‍රංශය ද අමතක කළ නොහැක්කේය.. නොස්ට්‍රදාමුස් හිටි එකල ප්‍රංශයද ජඩයෙක් වූ ප්‍රංශයේ දෙවෙනි හෙන්රි ද… ඔහුගේ පුත් දෙවෙනි ෆ්‍රැන්සිස් මෙන්ම ෆ්‍රැන්සිස් ගේ ඇඹේණිය වූ ස්කොට්ලන්තයේ රැජිණ වූ මේරි ගැනද කිව යුතු මෙන්ම අසා උගත යුතු දෑ අප්‍රමාණය.. ඒ සඳහා ඒ උණ ඇත්තන් කලක පටන් හෙවූ මුත් ප්‍රදීප් කියන්නේ ඒ යුගය අතැඹුලක් සේ කියවූවෙක් බව අද මා දන්නේය… මේ කිව්වේ ඔහේලා හඳුනන prajay නොහොත් ඒ මගේ උගත් මිත්‍රයා නොහොත් learned friend ගැනය.

කලක් ටියුඩර් වංශය ගැන කියැවූ කොච්චියා මේ දවස් වල කියවන්නේ ප්‍රංශයේ Volais රජ පරම්පරාව ගැනය. ඒ පරම්පරාවේ සැලකිය යුතු මොහොත වෙන්නේ හෙන්රි ව උපක්‍රමිකව මරා ඔහුගේ පුතා වු දහසය වියැති ෆ්‍රැන්සිස් රජ වීමය… එය රෝමය මෙන්ම එංගලන්තය කෙරේද ඇති කළ බලපෑමය…නැගී එන ප්‍රොතෙස්තන්ත රැල්ල හා බැස යන රෝමානු කතෝලික ආධිපත්‍යයය කෙරේ එහි බලපෑමය...කොච්චියාට කවදත් කතෝලික පල්ලිය පෙන්නන්නට බැරිය… වත්මන් අන්තවාදී මුසල්මානුවන් එදා කතෝලිකයාට වඩා තවමත් දස ගුණයක් හොඳය.

නොස්ට්‍රදාමුස් මාර පොරක් වෙන්නේ ඔය මරණයත් එක්කය...මොකෝ හෙන්රි මැරෙන හැටි මිනිහා කලින් කියා තිබ්බේය...ඒ කිව්වා වගේම joust game එකකදී ඇස හරහා හිස් කබල පසාරු වූ ප්‍රහාරයකින් හෙතෙමේ මළේය. නොස්ට්‍රදාමුස් කිව්වා වගේම හිසේ කුහර දෙකක් ඇති වුණේය. ගේම දුන්නේ පුතා කියා කවුරුත් නොදත්තෝය… මූණ වසා ගත් කල මෙන්ම රාජ උෂ්ණය ඇඟට ගැසූ කල පියා පුතා හඳුනන්නේ නැතිය..

ඔය කියනා කාලයේ ලංකාව තිබ්බේ පෘතුගීසි බලපෑමට යටත්වය… ලංකාවේ මුල්ම ක්‍රිස්තියානි රජු හිටියේ ඔය කාලයේය.. ඒ දොන් ජුවන් ධර්මපාල ය.. එංගලන්ත හා ප්‍රංශ සීතල යුද්ධ මෙන්ම පෘතුගාලය ප්‍රමුඛ රෝමානු කතෝලික අධිකාරියට එකල එල්ල වූ තර්ජනයන් සෙරන්ඩිබ් නොහොත් ලංකාවට එදා නොදැනුනේ අප ඔවුන් සතු ඉතා කුඩා කොටසක් වන්නට ඇති නිසාය..අපට අනුව ඒ රෝමානු කතෝලික පල්ලියේ ක්ලයිමැක්ස් එකය..ඇත්තට බැලුවොත් ඒ උන්ගේ මළගමය. මළගම උත්සවශ්‍රීයෙන් සැමරිය හැක්කේ මෝඩයන් හා පමණය. දැන් අපේ උතුම් මුතුන් මිත්තන්ට අගෞරවයක් කළා කියන්නට එපාය. ඒ වෙද්දීත් අපේ එවුන් ඇන්දිය හැකි ආකාරය උන් අවබෝධ කර ගෙන තිබ්බේය. අදටත් යුරෝපය විහිලු සහගත ලෙස බැහැර කරනා කුණු ගොඩවල් අප කරේ තියන් යන්නේ ඒ නිසාය.  ඩා වින්සි කෝඩ් යුරෝපයේ පෙන්නූ නමුත් සොරි ලංකාවේ වාරණය උනේය. සමලිංගිකත්වය යුරෝපය පිළිගනිද්දී අප ඊට වළ කපා ඇත්තේය… ගබ්සාව යුරෝපය පිළිගනිද්දී අප ඊට විරුද්ධව නැගෙන්නේ සංගිස්කුරුතියේ අරුමය රකින්නය.. අපට ඇති ලබ්බේ සංගිස්කුරුතියක් නැතිය...ඒකත් හයිබ්‍රිඩ් ය. මොකෝ ඔය කිවූ ඉලව් තිබ්බේ වික්ටෝරියානු සම්ප්‍රදායේ මිසක සිංහල සම්ප්‍රදායේ නොවෙන නිසාය. ධර්මාශෝක ගේ කපටි බෞද්ධ සංස්කෘතිය මහා විහාර හා අභයගිරි භික්ෂූන් ගේ දේශපාලන උවමනා වලින් දියකර සාදා ගත් මොකක්දෝ එක වික්ටෝරියානු අධිපතිවාදී කිරිස්තියානියෙන් පොලිෂ් කර සාදා ගත් ඒ අටමගලය අපේ උරුමය යැයි කෑ ගසා එය රකින්නට දත කන්නෝ අද පඳුරකට පයින් ගසා සොයා ගත හැක්කේය.
…………………………………………………...
කොච්චියා උපන්නේ ජනවාරි හතර වෙනි දාය. උපත සමරන්නට තව පැය ගණනක් ඇත්තේය. හතර කිව්වාට තුන් වෙනිදා පසුවී විනාඩි පහක් විතරය. උපන් දිනය කියන්නේ තව දුරටත් සතුට ගෙන දෙන්නක් නොවන්නේය… දුක නොදැනෙනා මට එහි ඇති දුකක්ද නැත්තේය… මා ඉන්නේ මේ වෙලාවේ මරණය කියන්නේ සැපක්ද දුකක්ද සිතමින් ය…. එයත් සාපේක්ෂය… ආයෙත් එන්නේ අයින්ස්ටයින් වෙතටම උනාට ඒ වයසක මුත්තා මෙතනට දැන් ගැලපෙන්නේ නැතිය. මට ආතල් වූ හැම අටමගලයම ඔහෙලාට එසේ නොවන්නට පුලුවන්‍ ය. ඒ නිසා ඒ මාතෘකාව පස්සට දමන්නේය.

කොච්චියාගේ උපන් දිනය හැමදාමත් ලකෙන් අඩුය.. මොකද කිව්වොත් ඒ යෙදෙන්නේ බෝතල් මාසයේ නිසාය.. මීගමුවේ අපට බෝතල් මාසය ගැන අමුතුවෙන් කිව යුතු නැතිය…. ජනවාරිය කියන්නේ මීගමුවේ එවුන් බෝතල් පත්තර කාරයින්ට බෝතල් විකුණා ගතමනාව සොයා ගන්නා කාලයක් ය. ඒ තරමටම හිඳිලාය. පාටියක් දමා එයට ආරාධනා කළත් අතින් පාඩුය… ඒකට එන්නේත් ගෙදර හන්ටර් වී ඇති නිසා පාටියෙන් කන්නට බලන් ඉන්නා ජොකියන් ය.. දැන් ඉන්නේ මෙලෝ රහක් නැති දෙසැම්බරයක් ඇති අරාබිකරයේ නිසා ඒ සම්බන්ධයෙන්  තත්වය ටිකක් වෙනස් ය.

මේ පෝස්ට් එක පටන් ගත්තේ උපන්දිනයට දවස් කීපයක් කලින් උනාට අද උපන්දිනය දවසේ රාත්‍රිය ය . ඊයේ පෝස්ටුව දාන්නට උන්නාට බැරි උනේ වැඩ අධික වූ නිසාමය.  කෝකටත් නැති කොටම කොට පෝස්ටුවක් ලිව්වේ උපන් දිනය දවසේ කරපු ලබ්බක් තියෙන්නට ඕනා නිසාය. අම්බානෙක ඉතිහාස ටෝක් හා භෞතික විද්‍යාව පුරවා ලියන්නට හැදූ පෝස්ට් එකක් මේ විදියට අවසන් කරන්නේ ඒ නිසාය. මේකේ තියෙනා මාතෘකා ටික වෙන් වෙන්ව ලියන්නට කොච්චියා හිතන් ඉන්නේය. හිතාගෙන ඉන්නා ඔක්කොම කළා නම් අද මා පට්ට පොරක් ය.. එසේ පොරක් වී නැති නිසා මා ඕවා ලියාවි කියා හිතන්නටත් එපාය…

වැඩකට ඇති ආතල් එකක් තිබ්බෝතින් හෙටට යෙදෙනා උපන්දින සාදය ගැන ලියනවා ඇත්තේය… ඒ උනත් ඒ හෙටය..ඊට පෙර අද තාමත් අද මය…
ඒ නිසා කොච්චියා වන මම මට සුබ උපන්දිනයක් පතා ගන්නේය...

43 comments:

  1. huh.... u the man... !
    let us wish for u...
    සුබ!!!!

    ReplyDelete
  2. ඔය උඩින් කියලා තියෙන දෙන්නා මගේ සෙට්වෙන ලිස්ට් එකෙත් ඉන්නවා.

    ඊද් ම්ලායිද් සයිද්!!!!

    ReplyDelete
  3. ඉඹ ඉඹ නිතර බෝතල් ටික හිස් වේවා
    අඹ යහළුවන් සාදෙට තව සෙට් වේවා
    උඹ ළඟ දුක නොවෙයි සතුටම වැඩි වේවා
    සුභ පිරි ජන්ම දින ආයුෂ වැඩි වේවා.......

    ජයවේවා!!!

    ReplyDelete
  4. අර කියුවත් වාගේ පෝස්ට් තුන හතරකට මාත්තුරුකා තියනවා තමා මෙතන

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. මේ තියෙන්නෙ හොඳ මාතෘකාවක්. හැක්..

      //හැමදාමත් බොන්නට ඕනා කියා ඇරියස් තියන් ඉන්නා සෙට් එකේ අටමා ඉහළින් ඇත්තේය.//

      Delete
    2. අටමා කාගෙත් හිතවතා නේ බන්..

      Delete
    3. අටමා එක්ක බොන එකට වඩා අටමා බොනවා බලන් ඉන්න ඕනිම නම් සෙට් වෙයන් කොච්චි...මේ ඇත්තමයි කියන්නේ..අපි නම් කවදාවත් අටමා ඉන්න තැනක බීලා නැත..නමුත් ඌ අපි ඉන්නා තැන්වල බීලා ඇත...!

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  5. බොන වෙලාවට ඔය වගේ මාතෘකා මතක් වෙනව කියන්නෙ වෙරි හිඳෙන වැඩක්.

    කොච්චියාට සුබ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
    Replies
    1. මට ඕවා බොන තරමට මටක් වෙනවා...වෙරිත් අඩු නැතුව තියෙද්දිම..

      ස්තූතියි

      Delete
  6. කොච්චිට සුබ උපන් දිනයක්...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ... ඔහේ මේ පැත්තේ එනවා කියලා ආරංචියක් ආවා..සෙට් වෙමු

      Delete
    2. ඔව්නේ...ලුලූ, සිටිසෙන්ටර් ගායක් ඇවිත්නේ....සෙට් වෙමු සෙට් වෙමු...!

      Delete
  7. තොට සුභ උපන්දිනයක් වේවා. මේ යන විදිහට වැඩිකල් යන්න කලින් තෝ මැෂින් එකක් වෙනවා කමාන්ඩ්වලට විතරක් වැඩකරන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ...
      ඒ කොහොමෙයි ඔහේ ටක්කෙටම කියන්නේ

      Delete
  8. මේ පෝස්ටුවනම් මට මෙලෝ රහක් නැතිය.අයින්ස්ටයින් නොස්ට්‍රදාමුස් තියා දොන් ජුවන් ගැනවත් ගැනවත් මම ඒ හැටි දන්නේ නැතිය.මම බලන් උන්නේ අර ජනවාරියේ ලියනවා කිව්ව රොමෑන්ටික් කතන්දරය බලන්නටය. කොහොම උනත් කොච්චිට විස්කි වලින් අඩුවක් නැති හැපි හැපි උපන්දිනයක් වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැතුමට..

      ඔයාට මේක රහක් නැති එක ගැන මට ඇත්තෙන්ම කරන්නට දෙයක් නැතිය. ජනවාරි තාම පටන් ගත්තා විතරය..ඒ නිසා ඔයාගේ රොමෑන්ටික් පෝස්ට් එක මම හෙට අනිද්දා ලියන්නේය. සාමාන්‍යයෙන් ලියන්නේ බ්‍රහස්පතින්දා රෑ බොද්දීය. ඒත් අද පාටිය ටිකක් සරු නිසා ලියවෙන එකක් නැති හැඩය.. ඒත් ඉක්මනින්ම ඔයාට ආසා හිතෙන විදියේ පෝස්ටුවක් වැටෙන්නේය.

      Delete
  9. HBD (late) Mr.Kochin Chillies.
    Sorry I can't type much on phone (and not in the best mood to comment much - you know why ...:-D)
    Btw, have u read about the spider king of France?

    ReplyDelete
    Replies
    1. Ha ha... i know why..
      Spider king was before this Era, Louis XI ... he was the first French King to tie the matrimonial knot with Scots...then it was Francis II

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. සුබ ජන්ම දින සංවත්සරයක් වේවා...!

    ReplyDelete
  12. Happy Birthday එකක් වේවා.

    ReplyDelete
  13. හැපි බිලෙටඩ් උපන්දිනයක් කොච්චියො. උඹෙ අච්චාරු වලට මන් මහත් කැමතිය. ඔය මාතෘකා එකින් එක පස්සෙ දැම්මොත් අපිත් දැනගන්නට ආසය.

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ... ඒවා දාන්නම් ඉස්සරහට

      Delete
  14. සුභ උපන්දිනයක්

    ReplyDelete
  15. සුභ උපන්දිනයක් කොච්චියෝ!

    ReplyDelete
  16. On behalf of Ano guys,

    සුභ උපන්දිනයක් කොච්චියෝ !

    ReplyDelete
    Replies
    1. සියලු ඇනෝවරුන්ට මගේ ස්තූතිය...

      Delete
  17. සුභ උපන්දිනයක් කොච්චියා... එකෙන්ම කියන්න ඕනා අච්චාරුවක් උනත් එළ ...

    ReplyDelete
  18. /* හෙටට යෙදෙනා උපන්දින සාදය ගැන ලියනවා ඇත්තේය… ඒ උනත් ඒ හෙටය..ඊට පෙර අද තාමත් අද මය…*/

    තාම බීලා දොයි ද?

    ReplyDelete
    Replies
    1. උපන්දිනය යෙදී තිබුණේ හතර වෙනිදාටය. අද 11 ය.

      Delete
  19. හුග කලෙක ඉදලා උබව දන්නවා උනත් මේ පැත්තට ගොඩ වැදුනේ අද...
    කවදා හරි සෙට් වෙමු අඩියක් ගහන්න

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් අපි දෙපාරක් නොහිතා එහෙයි කියන යෝජනා...

      Delete
    2. ඒවා ඉතින් අපි දෙපාරක් නොහිතා එහෙයි කියන යෝජනා...

      Delete
  20. ලිපිය රහයි දැන් ෙනවැ දැක්ෙක දීර්ඝායු ෙව්වා ඔබට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උපේක්ෂා...මම මේ ඔයාගෙ පොත කියවන්න යන්නෙ

      Delete