Monday, October 31, 2016

බකයාගේ වයිබ්‍රේටරය, ජානිගේ ෆාමසිය සහ උපන් දින සාදය

අද කියන්නේ පහුගිය සතියේ පැවති කොච්චියාගේ නෝනාගේ සරල උපන්දින සාදය ගැනය. සරල කිව්වාම හිටං ද කියා අහන්නට එපාය. 22 වෙනි දාට යෙදුනු උපන්දිනය අපි සැමරුවේ 21 රෑය. ඒ නිවාඩු ගලපාගන්නට ඇවැසි වූ නිසාය. යම් යම් හේතු මත ආරාධිතයින් ගණන හිතුවාට වඩා සීමා කරන්නටද උනේය. ආ යුතුම වූ කීප දෙනෙක් මග හැරුණු එක ගැන යම් කණගාටුවක් මගේත් නෝනාගේත් හිත්වල තිබුණත් අදාල තත්වයන් සලකා ගත් ඒ තීරණය නිවැරදි බව මේ සති අන්තය වන විට ප්‍රත්‍යක්ෂ වී ඇත්තේය.

ආරාධනය කළ සැණින්ම රහමෙර සැපයීම බාර ගත්තේ හැලපයාය. හැලපයා සහ හැලපි දෙදෙනාගේම පැමිණීම බලාපොරොත්තු වුවත් හැලපයා ගෙන් ආරංචි වූයේ හැලපිය රෑ පානේ සාදයන්ට සහභාගි වීමට මැලි කමක් දක්වන බවය. එසේම ගෑනු කාටත් වගේම සතා සර්පයා ටද පොදුවූ කාපු බීපු තැනක වැඩි වේලා නොසිටීමේ පුරුද්ද එතුමියටද උරුම බැවින් අපේ හැලපයා ඈව හිතා මතාම හලා ආවාද නොවිය නොහැකිය. කොච්චියාගේ නෝනාද එම ලක්ෂණ උපරිමයෙන් පිහිටා ඇත්තියක බැවින් එහි දුක දන්නා මා හැලපයා තනිව පැමිණීම සිතින් සාධාරණීකරණය කර ගත්තේය.

අනෙකුත් ආරාධිතයින් වූයේ දිනූශ,සඳමාල් හා ශාලින්ද මෙන්ම ගුජරාටියෙක් වූ ජානි බායි ය. ගෙදර සාමාජිකයෙක් තරමටම සමීපව ඇසුරු කරනා දිනූශව ආරාධිතයෙක් සේ හැඳින්වීමට හිතෙන්නේද නැත්තේය.සෑම සති අන්තයම අපේ නිවසේ ගත කරන ඩිස්ති මෙන්ම බ්ලොග් ලෝකයට අලුතින් කල එලි බසිමින් ඉන්නා ජහුටාද මේ සාදයට සහභාගී වූ අයවලුන්‍ ය. ජහුටා සහ කොච්චියා අතර සම්බන්ධය පසු කාලීනව කියන්නට යෙදෙන්නේය.

දිනූශ හරහා සඳමාල් හඳුනා ගත් මුත් ඔවුන් දෙදෙනාම මුල් වරට අපේ ගෙදරට ආවේ එකටමය.කොච්චියා දිනූශ හඳුනාගන්නේ ඕමානයේදී වුවද අපේ මව්වරුන් එකිනෙකා හඳුනන්නේ බොහෝ කලක සිටය. කොච්චියාගේ නංගී කුඩා කාලයේදී දිනූශගේ අක්කා විසින් අධ්‍යක්ෂණය කළ ටෙලියකද රඟපෑවාය.නමුත් මේ දිනූශයා ඒ අක්කාගේ මල්ලී බව කොච්චියා දැන ගත්තේ ඕමානයේදී හමුවී බෝතල් කීපයක්ම හිස් කළාට ද පසුවය. දිනූශට අපේ ඕමානි මිතුරෙක් වූ මන්සූර් දමූ නම "බකයා" ය. ඒ නම රෙජිස්ටර් කර ප්‍රචාරය කළේ කොච්චියාය. මේ කතාවේද බොහෝ තැන් වලදී දිනූශව බකයා ලෙස හැඳින්වෙනවාය.

කැත්තට පොල්ල මෙන් පොරක් වන මාතර උපන් සඳමාල් සමගද දිගු කාලීන මිත්‍ර සබඳතා ඇත්තේ සීමිත පිරිසකටය. ශාලින්ද අපට සෙට් වෙන්නේ සඳමාල් හරහාය.ඇල් වතුරත් නිවලා බොන ටයිප් එකේ පොරක් වන ශාලින්ද කියන්නේ සඳමාල්ට ඉතාම හොඳින් ගැලපෙන සගයාය.උන් දෙදෙනා එකිනෙකා හඳුන්වා ගන්නේ මාලෙ හා සාලෙ ලෙසය. අප මුණගැසුණු මුල් අවදියේ මතින් තොර නිර්මාංශිකයෙක් වූ ශාලින්ද අද එහි අනෙක් පැත්තය. එකල මාලෙ බිවූ අතර සාලෙ වාහනය පැදෙව්වේය. අද එහි වාඩුව ගන්නට මෙන් සාලෙ බොන්නේය...මාලෙ නොබී ඉන්නේ රථාචාර්‍යයා ලෙසින්ය.

බකයාම කියනා පරිදි ඌ හොයන්නේ විමුක්තියය. තමා තුල ඉන්නා තමන්වමය. කොච්චියා මිනිහාගේ නිර්වාණය සෙවීමේ කෝර් කන්සෙප්ට් එක සමග ගැඹුරින්ම එකඟය. නමුත් ඊට ඇති උගේ ප්‍රායෝගික ඇප්‍රෝච් එක කුජීතය.මේ කිව්වේ මට හැඟෙන පරිදිය. එනම් නිර්පේක්ෂ යථාර්ථය නොවන අතර කොච්චියාගේ මනසට ගෝචර වූ ප්‍රමාණයය.හෙතෙම ශුන්‍යත්වය සෙවීමේ මාධ්‍යය ලෙස භාවිත කරන්නේ ඇල්කොහොල්ය. මෑතකදී මිනිහා මහ පාන්දර වෙනකන් කොච්චියාගේ ගෙදර බීමෙන් පසුව යන්න එපා කියද්දී බලෙන්ම පිටව ගියේ තමාව සොයා ගනු වස්ය. විනාඩි පහක් ඇතුලත බකයා ට තමා හමුවී තිබුණේය.. එක්ස්ප්‍රස් වේ එකේදීය.කාර් එක කුඩු පට්ටම් වීමෙන් අනතුරුවය.අලාභය රුපියල් වලින් ලක්ෂ හයක් විතරය.

බිව්වොත් වලියකට පොටක් පාදා ගැනීම බකයාගේ ක්‍රමයය. කොටින්ම හේතු විරහිතවය. අහක යන පුද්ගලික ඇරියස් එකක් කවර් කිරීමට යාමෙන්ය.ඒ නිසාම මස්කට් හි රාත්‍රී සාද රැසකින් හෙතෙම කොන්වී ඇත්තේය. බොහෝ විට මිනිහා බොන්නේ දැන් දැන් තනියෙන්මය. බ්‍රහස්පතින්දා පමණක් කොච්චියාගේ ගෙදර ඇවිත් බොන්නේය. හිත හොද මිනිහෙක් වුනාට කට සවුත්තුය …ගුටි නොකා එළියට එන්නේ එහෙමත් තැනකින්ය.

කේක් කැපීම ලංකාවේ වෙලාවෙන් මධ්‍යම රාත්‍රී 12 ට එනම් ඕමානයේ 10.30 ට කරන්නට යොදා ගෙන සිටි නිසා ඊට පැයකට හමාරකට කලින්ම කට්ටිය වැඩේට බැස්සෝය. වෙලාව ඔය විදියට වෙනස් කර ගත්තේ කේක් කපන වෙලාවට සියල්ලෝ පියවි සිහියෙන් සිටිය යුතු බැව් නෝනා අවධාරණය කළ නිසාය.

ජානි බායි ආවේ කේක් කැපුවාටත් පසුවය. අපි ජානිව අමතන්නේ ඩොක්ටෝර් කියාය. අරාබීන් ඩොක්ටර් ට කියන්නේ ඩොක්ටෝර් ය. ඩොක්ටෝර් කිව්වාට මිනිහා ෆාමසිස්ට් ය. කොච්චියා ඉන්නා බිල්ඩිමේ යට තට්ටුවේ ඇති ෆාමසියේ හිමිකරු මේ ඩොක්ටෝර් ය. ගුජරාටයේ උපන් බ්‍රාහ්මණ වංශිකයෙක් වන ඩොක්ටෝර් ගේ ජීවිතයම ෆාමසියය. උදේ හතට අරිනා ෆාමසිය වහන්නේ රෑ එකට විතරය. වයස හැටකට ආසන්න ජානි ගේ බිරිද වසර දහයකට පමණ පෙර මියැදී ඇති අතර එකම දියණිය කැනේඩියානු පුරවැසි භාවය ඇත්තියක් ය. මුදල් යහමින් ඇති ඩොක්ටෝර් ගත කරන්නේ අහිගුණ්ඨික ජීවිතයක්ය. මිනිහා නිදාගන්නේද ෆාමසියේමය. උදේට කන්නේ චපාති දෙකක් මාමයිට් සමගය. දවල්ට චපාති දෙකක් සමග අලූ මසාලාය. රෑට ඇපල් ගෙඩියක් හා කෙහෙල් ගෙඩියක්‍ ය.

බිරිදට අසීමිතව ආදරය කළ ජානි බායි brain tumor එකකින් ඈ මියයන තුරුම ඈට ඇප උපස්ථාන කළේය. සුන්දර ගෘහ ජීවිතයක් ගෙවූ ඔහුට අද ගෙදරක වාසය සුව නොදෙන්නේය. එය ඔහුට ගෙනෙන්නේ බිරිද ගැන මතකයන්ය. මස්කට් ෆාමසියේ සේවය කළ ඩොක්ටෝර් තමාගේම කියා ෆාමසියක් අරින්නේද සිය ජීවිතයම එය තුල දිය කරන්නටය. හොඳ කාර් එකක් පාවිච්චි කිරීම, හොඳ ඇඳක නිදා ගැනීම, උයා ගෙන කෑම වැනි බොහෝ දෑ ගෙදරක ජීවත් නොවීම යන පදනම මතම ජානි බායි විසින් අත හැර ඇත්තේය.එක එක මිනිසුන් දුක ශුන්‍ය කර ගැනීමට යොදා ගන්නේ එකිනෙකට වෙනස් වූ විධික්‍රමය.නිර්වාණය පවා සෙවිය යුත්තේ තමාගේම ක්‍රමයටය. කවුරුත් නිවන් නොයන්නේ ඒ සොයන්නේ බුදුන් ගියා යයි සිතා උගන්වන මග ඔස්සේ නිසාය.තමාගේ ක්‍රමයට හෙවූ දාට නිවන සොයා ගන්නා උන් හිසේ කෙස් ගානට සිටිනු ඇත්තේය.මෙහෙම හිතන්නේ කොච්චියාය. ඔහේලා ඒ ගැන තම තමන්ට කැමති විදියට සිතා ගත යුත්තේය.

මුල සිටම බකයා කා හෝ සමග එල්ලීමට දත කෑවත් ඒ බව දන්නා කිසිවෙකුත් මිනිහාගේ කතා තඹයකටවත් ගණන් නොගෙන එකිනෙකා හා කතාවෙන් පසු වුණෝය. විශේෂයෙන්ම මේ දිනවල දිනූශ සමග වැඩි ගනුදෙනුවක් නැති සඳමාල් ඉතා සංයමයෙන් හැසිරුණේ කොච්චියාගේ නෝනාගේ සාදය ගෝරියකින් කෙළවර නොවනු පිණිසය. කාලීන දේශපාලනය, ආගම වැනි විවිධ මාතෘකා වලියකට ඇවැසි තුරුම්පු සේ විසි කරමින් බකයා බලාපොරොත්තු වූයේ වාචික සටනක් බව සියල්ලෝ අවබෝධ කර ගත් මොහොතක සැපත් වූයේ අසරණ ඩොක්ටෝර් ය. දිනුශට ඩොක්ටෝර් සමග ඇරියස් එකක් තිබ්බේය. ආ සැණින්ම ඇරියස් එක දිග හැරියේය.

දිනුෂ නොහොත් බකයා කටාර් හි සේවය කරන කාලයේ පටන් දැන ගත් පොඩි ගැජට් එකක් තිබ්බේය. වයිබ්‍රේටින්ග් රින්ග් එකක්‍ ය. Durex සමාගමේ නිෂ්පාදනයක් ය. අදාල ගැජට් එක ඕමානයේ ෆාමසි වලින් ලබා ගත හැකිය. වරක් බකයා ජානිගේ ෆාමසියට ගොස් විපරම් කළද බඩු ඉවර බව ජානි පැවසීම නිසා හැරී ගොස් ඇත්තේය. හැබැයි ඊට පසුදා දවාලේ ජානිගේ සහායිකාවගෙන් බකයා අදාල අයිතමය මිලදී ගෙන කොච්චියාටද ගෙනත් පෙන්නුවේය. ඩොක්ටෝර්ගේ සහායිකාව ඩොක්ටෝරා ය. නෝනා නම් දවාලේ කොච්චියා ෆාමසිය පැත්තේ යනවාට වැඩි මනාපයක් නැත්තේය. වරක් ඩොක්ටෝරා දුන් රසකැවිල්ලක් පවා කෑමෙන් මා වැළකුවාය. ඒ ගෑනු ගතියය. එයට ගරු කළ යුතු හෙයින් එය නොකෑ කොච්චියා පසුව ඩොක්ටෝරා හමුවී එහි රසය ගැන ඈට ප්‍රශංසාද කළේය.
ප්‍රශ්නයට තුඩු දුන් අයිතමය

ඒ කෙසේ වේවා දිනුෂගේ හිතේ තැන්පත් වූයේ ඩොක්ටෝර් කුප්ප කමට රින්ග් එක නොදුන් බවය..මේ අල්ලන්නේ ඒ ඇරියස් එකය. කොටින්ම කිව්වොත් අංගජාතය කම්පනය කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්ය.පරිණත මිනිසෙක් වූ ඩොක්ටෝර් බකයාගේ වාග් ප්‍රහාර සරල සිනහවකින් නිදැල්ලේ යන්ට හැරියේය. එමෙන්ම පසු දින ෆාමසියට එන ලෙසත්, සාම්පල් වලින් එකක් නොමිලේම දෙන්නටත් පොරොන්දු වූයේය. අවශ්‍යතාවය ලෙස එලියෙන් පෙනුනේ එය වුවද ඒ උත්තරය බකයාට වැඩක් නැත්තේය. ඕනෑ වූයේ ගේමක් ඇද ගැනීමය. ඒ ප්‍රයත්නයද වතුරේ ගියේය.

බකයා Durex සමාගමේ ඉහත කී නිෂ්පාදනයේ සන්නාම තානාපති වගේය. මීට පෙර වරක් ඩිස්තිට එකක් නොමිලේ ගෙනත් දුන්නේය. එසේම තවත් කාට කාටදෝ තම වියදමින්ම ඕවා අරන් දුන් බවක් කොච්චියාට මතකය.

ඔය සාදයේ තව එක් ජෝඩුවක්ද සිටියෝය. අලුත විවාපත් ඔවුන් ගැන වැඩි විස්තර ඕනෑ නැත්තේය. ඔය මාතෘකාව යන අතරේ අලුත් ජෝඩුවේ කොල්ලා මගෙන් කණට කර ඇසුවේ අදාල අයිතමයේ ගුණ දොස්‍ ය. ගුණ දොස් කීමට එය පාවිච්චි කර නොමැති නමුත්  කොච්චියා කීවේ ඕක මරු බඩුවක් කියාය. නැවතත් කණට ලංවූ කොල්ලා මගෙන් ඇසුවේ “සිරාවටම ඩොක්ටෝර් ගාව ඕක තියෙනවාද” කියාය. උත්තරේ නොදී එතැනින් මාරුවූ කොච්චියා ට තිබූ ඊළග ප්‍රශ්නය වූයේ හැලපයාට ප්‍රවාහන පහසුකම් සැපයීමය. වැඩි වෙලා ඒ ගැන කරදර වීමට නොවූයේ මාලෙ හා සාලෙ ඒ සද්කාර්‍යය සතුටින් බාර ගත් නිසාය.

දෙවෙනි බෝතලයේ මැද හරියේදී අකමැත්තෙන් වුවත් සාලෙ හා මාලෙ ට සමු දෙන්නට වූයේ උන් හට සෙනසුරාදා වැඩ දිනයක් වූ බැවින්ය. දුකසේ වුවද අසරණ හැලපයියාද ඒ සමගම සමු ගත්තේ දිනුෂ සහ ජානි සමග අප තනි කරමින්‍ ය. නෝනාත් ජහුටාත් ඩිස්තිත් පවසන අන්දමට ඉන් ටික මොහොතකට පසු කොච්චියා සුපුරුදු පරිදි හිටගෙන නිදන්නට වී ඇති අතර බකයා විවිධ වූ මාතෘකා අදිමින් මා හට බැණ වැදී ඇත්තේය. උගේ හා මගේ වාසනාවට මට ඒ කිසිවක් ඇසී නැත්තේය.

සෙනසුරාදා උදෙන්ම කොච්චියා ගියේ ජානි හමු වෙන්නටය. ගොස් සමාව ඉල්ලන්නටය. සමාවක් අනවශ්‍ය බව පැවසූ ජානි මගේ අතේ තැබුවේ දිනුෂ ට දෙන්නට කියා වයිබ්‍රේටරයය. මාත් එක්කම එතන උන්නේ ජහුටාය. කොච්චියා සහ ජහුටා එතැනදී වෙනස් තීරණයක් ගත්තෝය. එනම් එය බකයාට නොදී ඊට වඩා ඵලදායී ලෙස පාවිච්චි වීමට සැලැස්වීමය.අප කළේ කුමක්දැයි සිතා තීරණය කිරීම ඔහේලා සතුය.කෙසේ නමුත් ඒ ගත් තීරණය ගැන කොච්චියාට මෙන්ම ජහුටාටද සතුටු වීමට පුලුවන්ය.

Sunday, October 23, 2016

සමුද්‍රා මැරූ වීදිය බණ්ඩාර,කෝපි පිස්සුව සහ හාඩ්කෝර් කොච්චියාගේ නෝනාගේ උපන් දිනය

කලින් පෝස්ටුවේ කොච්චියා සිය ඇබ්බැහිවීම් ගැන ඉඟි දුන්නේය. එයින් එකක් නම් කෝපිය. කොච්චියා කෝපි බීමට මනාපය.  ඒ අදක ඊයෙක නොවේය. කොච්චියා හිච්චියා සන්දියේ සිටම මහ ගෙදර වත්ත පිටිපස්සේ තිබ්බේ කෝපි ගස් ය. පරණ කෝපි ගස් වල දෙබල වල් මත හිද කුඩා කොච්චියා අපමණ පොත් කියවා ඇත්තේය. ඉන් අමතක නොවන පොතක් නම් වීදිය බණඩාරය. කතුවරයා අමතකය. ජයෝ බණ්ඩාර මරා සමුද්‍රා අත් පත් කර ගන්නා වීදිය නොහොත් වේධය මට වීරයෙක් වූවේය. මායාදුන්නේ හා ටිකිරි බණ්ඩාර රාජසිංහ ව කම්පනය කළ වේධය … සමුද්‍රා දියේ ගිල්වා මරා දැමූ වේධය… දෙමළුන් හා පරංගි පෙති ගැසූ වේධය...ජාති වාදී ආගම් වාදී වේධය...මට වීරයෙක් උනේය… ඒ කෝපි ගසක් උඩ හිද ගෙන පොත කියවද්දීය. කොච්චියා පිස්සු වැටුනේ ඒ නිර්භීත කමටය… ළමා කාලයේත් කොච්චියා වීර ප්‍රේම කතා වලට ප්‍රේම කළේය… එදා සූරිය දේවිය කොච්චියාගේ සිහින කුමාරිය වූවාය...ඈ මායාදුන්නේ ගේ දියණියය...කිරි සුවදට පෙර ලේ සුවදට පෙම් කළ ටිකිරි බණ්ඩාර ගේ සොයුරියය...ඈ සිය රාජ්‍යයේ සතුරාට පෙම් කළාය...විවාහ වූවාය… ඔහු බේරා ගැනීමට උමගක් කැණුවාය…එදා කොච්චියා සිහින මැව්වේ එවන් ගැහැණියක්‍ ය…


කෝපි බීමට එකල කොලොම්පුරේ තිබූ හොදම තැන බැරිස්ටාවය….කොච්චියා එහි කෝපි බීම උමතුවක් කර ගත්තේය…  උණුවෙන් එස්ප්‍රෙසෝ ඩබල් ෂොට් එකක් ය… කෝපි බොන්නේ ඒ තද ඇරෝමාව විද ගන්නටය.. ලතේ(latte) වගේ ලාමක ඒවා කොච්චියාට හරි යන්නේ නැත… කොච්චියා hardcore පොරක්‍ ය… සෙක්ස් කිව්වත් කොච්චියා කැමති hardcore ය… එහෙම කිව්වාට environmental variables මත රසය වෙනස් වන අවස්ථා ද නැත්තේම නොවේය… ඉදලා හිටලා අයිස්ඩ් කැෆේ ලතේ ද කොච්චියා බොන්නේය… සෙක්ස් ද ඒ වගේය.. කොෆී ෆ්ලේවර්ඩ් හොට් චොක්‍ලට් උනත් අවස්ථාව අනුව බොන්නේය….සමහර විට ඊට උඩින් විප්ඩ් ක්‍රීම් ද තිබ්බොත් හොදය... හැබැයි බයි ඩිෆෝල්ට් කොච්චියා හාඩ්කෝර් ය.


අදටත් මා කෝපි පිස්සෙක්‍ ය.. ස්ටාර්බක්ස් හෝ කොස්ටා හෝ කොෆී බීන් කියා නැත්තේය...කෝපි එකක් එක්ක පොතක් කියවීම තෘප්තිය දෙන්නක්මය..අද ලංකාවේ ගොඩ දෙනෙක් කොෆී ෂොප්ස් වලට යන්නේ පොෂ් වෙන්නය.. ලව් කරන්නට වටාපිටාවක් සොයා ගන්නටය.ගිහිල්ලා බොන කෝපියක් නැතිය...තොල ගාන්නේ ජූස් ය..තාමත් ලංකාවේ හරි හමන් කෝපි සංස්කෘතියක් නැත්තේය.


ලෝකයේ ඉස්තර්ම්ම කෝපි රැසක් රස බලා ඇති කොච්චියා අදත් ආසා කරන්නේ ගෙදර කෝපි ගස් වලින් රතු පැහැ ගෙඩි කඩා  අවුවේ වේලා ගෙවල් තුනකට එහායින් සිටි ඇමී ආච්චී නම් ගැහැනිය විසින් කොටා දෙන ලද ඒ හෝම් මේඩ් කෝපිය… කොච්චියා ඒ සුවද අදත් සිතින් විදින්නේය. කෝපි වලට පෙම් කළ..ඒ නිසාම කෝපි වැවූ කොච්චියා ගේ ආදරණීය ආච්චීත් අසල්වැසි ඇමී ආච්චීත් දෙදෙනාම අද ඇත්තේ සුර ලොව යයි සිතීමට කොච්චියා මනාපය. ආච්චී හදා දුන් බිත්තර කෝපි රසය අදටත් මනසින් කොච්චියාගේ රස නහර ස්ටිමියුලේට් කරන්නේය.

කොච්චියා ඉස්සර සීදුවේ නෑයන්ගේ මළගෙවල් වල නයිට් ගැසීම ඉතා උනන්දුවෙන් කළේය. කැරම් අතක් ගසමින් හෝ ඕමියක් බලමින් ඉන්නා අතරේ අහල පහල ගෙවල් වලින් ගෙනෙනා කෝපි කෝප්පය ගෙන එන්නේ දිව්‍යමය සැපයකි.දැන් දැන් කොළඹ පමණක් නොව ගමේ ගොඩේ ද බොහොමයක් මල ගෙවල් වල නිදි මරන්ට කිසිවෙක් නැතිවා මෙන්ම එහා ගෙදරින් ගෙන ආ කෝපි ෆ්ලාස්ක් එක වෙනුවට ඇත්තේ කසිකබල් නෙස්කැෆේ මැෂිමක්ය.


සිරි පොද ඇද හැලෙන නුවර ටවුමේ හැන්දෑ යාමයන්හි පරණ බේක් හවුසියේ ආලින්දයේ කොච්චියා කෝපි බී ඇත්තේය.. වරක් දෙවරක් නොව කීපවරකට වඩා වැඩි වාර ගණනක්ය. කෝපි කෝප්පය තොල ගානා අතර එලිය බලනා කොච්චියාට පෙනෙන්නේ තෙත සුවදට ඇද හැලෙනා පොද වැස්සය...කුඩ ඉහලා ගෙන යන ඔසරි හැදි ළදුන්‍ ය.. එකී මෙකී හැඩ තල කොච්චියා ගේ මන දොළ පිරවූ අතර කෝපි කෝප්පය ඒ දැකුම් හැගුම් සේ අවදි කරවූයේ නැතුවාද නොවේය.. නුවර ළදුන් හැඩකාරය. කෝපි වලට වඩා සෞම්‍ය ය..එනම් hardcore නෙවේ වගේය…. ඒත් බැලූ බැල්මට පෙනෙන දේ පිළි නොගත යුත්තේය. කෝපි වුනත් බීලාම බලන්නට ඕනාය.ඇතැම් තද කලු කෝපි සැර නැති අතරම ලා පාට කෝපි තද සැර වන අවස්ථාද ඇති බව කෝපි ලෝලියෝ දන්නවෝය.


වීදිය බණ්ඩාර සමග මුහුණට මුහුණ සටන් කළ හැක්කෙක් එදා ලක් දිව නොසිටියේය. රාජසිංහ මෙන්ම අසවේදු ද ඒ නම අසා දෙදරුවෝය.. හත්වෙනි බුවනෙකබා ගේ හයිය වීදිය බණ්ඩාර ය...පොන්නයා යයි නම් ලද දොන් ජුවන් ධර්මපාලගේ පියා ඔහුය...වේධය යාපනයේ වාගරාජගේ සෙබළුන් අතින් මරා නොදැමුණා නම් හා ජුවන් තම පියාව ඈත් කර නොගත්තේ නම් අද දොන් ජුවන් කියා පොන්නයෙක් ගැන අප අසන්නේ නැත්තේය...ඒ වෙනුවට අසන්නේ සීතාවක රාජසිංහට පහරට පහර ගැසූ ධර්මපාල ගැනය...වේධය එසේය… ඔහු ලේ පිපාසිතයෙක්ය...රාජ ලේ පරංගි ලේ හෝ දෙමළ ලේ ඔහුට අදාල නූයේය… ලේ නම් ලේය.. පිපාසා නම් පානය කළ යුත්තේය..මා හැදෑරූ..දැන ගත් වීදිය බණ්ඩාර එසේය.. වීදිය බණ්ඩාර ගේ අවසන් සටන ඔහුගේ වීරත්වයේ ක්ලයිමැක්ස් එකය. සිය මිතුරු බංගෙයි රාල හා එක්ව සතුරන් සියයකට වඩා තනිව පොලු ගැසූ වීදිය බණ්ඩාරව මුහුණට මුහුණ සටන් කර පැරදවිය නොහැකි බැව් අවබෝධ කර ගත් සතුරු සෙබළෙක් සියඹලා ගසක් මතට නැගී පසු පසින් ගැසූ හෙල්ල පහරකින් මහ පොළව සිප ගත්තේ එදා මෙදා තුර ලංකාවේ බිහිවූ දරුණුතම සටන් කරුවා යැයි සිතන්නට කොච්චියා කැමතිය.

කෝපි ගැන කියනා විට කොච්චියාගේ සිත් ගත් අනෙක් කෝපිය නම් තුර්කි කෝපිය. Turkish coffee කියන්නේ වෙනම සංගිස්කුරුතියක්‍ ය..Espresso එකක රළු බව, ලාංකීය අපට හුරු මඳක් සෞම්‍ය ඇරෝමාවක් ඔබ්බවා ඇති තුර්කි කෝපි කොච්චියා බොන්නේ සීනි නැතුවය.. මේ දාලා ඇත්තේ එහි පින්තූරයක් ය.



ශීෂා කියන්නේ හූකා වලටමය..දැන් දැන් ලංකාවේද හූකා කැෆේස් තියෙන්නේය..ඇපල් මින්ට් රස කැවූ දුම්කොල දුම උරමින් බොන තුර්කි කෝපි එක ඔබව දිව්‍ය ලෝකය කරා ගෙන යන්නේය.. ශීෂා ගැන වෙනම ලිවිය යුත්තේය. අර්ධ දහනයකට ලක් වන දුම්කොළ වලින් එන ඒ සැර ටද කොච්චියා මනාපය..කාලයක් හැම බ්‍රහස්පතින්දාම කොච්චියා නෝනාත් සමග ශීෂා උරන්නට ගියේය..ශීෂා ගසමින් තුර්කි කෝපි බොමින් රමී ක්‍රීඩා කළ යුගය අමතක නොවන්නේය. . එදා සහ අදත් ඕමානයේදී ශීෂා වලට කොච්චියා යන්නේ ඇඩ්‍රස් කැෆේ එකටය. එතන අපට ගෙදර වගේය. ඇඩ්‍රස් කැෆේ එක සබැඳි කතාද එමටය. ඒ හා බැඳි චරිතද ක්‍රීඩාවේ උන්මත්තක භාවය ගැනද ඉදිරියේදී ලියවෙනවාය.



කොච්චියාගේ හිත ගත් ඊලග කෝපිය නම් අරාබි කෝපි ය..අරාබි කිව්වාට මෙහේ වැවෙන කෝපියක් නැත්තේය..රට ඉදි හැරුණාම තණකොල වත් නොවැවෙනා අරාබිකරයේ කෝපි කියන්නේ උන්ගේ සංගිස්කුරුතියේ ප්‍රධාන අංගයක් ය. ඕමානයට ආ මුල් කාලයේම කොච්චියා හොඳම අරාබි කෝපි සෙවීමට වෙහෙසුණේය.දවසක් කොච්චියා හිතවත් ඕමානියෙක් ගෙන් ඇසුවේ හොදම kahwa (කෝපි) හොයා ගන්නේ කෙසේද කියාය..මිනිහා කීවේ කඩේට ගොස් කහ්වා සිලානියා ඉල්ලන්නට කියාය. බලාගෙන ගියාම මේ කියන්නේ අපේ ලංකාවේ කෝපිය. ඒ කෝපි වලට විවිධ කුළුබඩු එක් කර බ්ලෙන්ඩ් කර සාදන්නකිය මේ අරාබි කෝපි. අරාබීන් කෝපි නොහොත් කහ්වා බොන්නේ කුඩා කෝප්ප වලය..රට ඉදි හපමින් කෝපි බොමින් හවස් වරු ගත කරන අරාබි ගැහැනුත් පිරිමිත් කොච්චියාට හුරු පුරුදුය. ඔය අරාබි කෝපි බීමේ ද එක් එක් රීති තියෙන්නේය..කෝපි වක්කරන්නේ ගෙදර මූලිකයා ය. කෝප්පය ඉවර වූ සැණින් ආපහු පුරවන්නේය. දැන් ඇති නම් කෝප්පය සෙමෙන් සෙලවිය යුතුය. නැත්නම් ආයෙත් පුරවනු ඇත්තේය.


වීදිය බණ්ඩාර ගැන වූ ඒ පොත කොහේට උනා දැයි නැත්තේය. එය කියවා වසර විසි පහකට වැඩිය...තවමත් ජයෝ බණ්ඩාර හා වීදිය බණ්ඩාර අතර සටන සිතින් මවා ගත හැකි තරම් ඒ පොත ප්‍රබලය. ඒකට වෙච්ච දේ ගැන හිතමින් මේ මොහොතේ කොච්චියා ඉන්නේ ඉන්දීය අවන්හලක් ඇතුලේය. පෙර පෝස්ටුවක කිව්වා වගේ සිකුරාදා පාතරාසය ගන්නට ඇවිල්ලාය. කොච්චියාගේ ඉදිරියේ දැන් තියෙන්නේ තවත් කෝපි කෝප්පයක්‍ ය. ඒ එදා පෝස්ට් එකේ කිව්වා වගේ ෆිල්ටර් කෝපි එකක් ය. ෆිල්ටර් කෝපි රසය නිකන් විදින්නට බැරිය. දකුණු ඉන්දීය ගිතෙල් රසය දිවේ යට තියෙද්දි ෆිල්ටර් කෝපි වඩා රසය.
‍
වීදියේ බණ්ඩාර ව බැක්ග්‍රවුන්ඩ් එකේ තබාගෙන කොච්චියා ලියූ කෝපි කතාව මෙසේ නිම වෙනවාය. සෙක්ස් සහ විස්කි ගැනත් මේ විදියට ලියවෙන්නේය. සුරුට්ටු සහ හූකා ගැනත් ලියනවාය...සිගරට් ගැන කොච්චියා දන්නේ අබැටක් තරම්ය. නොදන්නා නිසා ඒ ගැන ලියන්නේත් නැත්තේය. කෝපි ගැන අන්තිම ට ආයෙත් කියන්නේ මූඩ් එක හා කාලගුණය වගේම වේලාව වගේ variables පදනම් කරගෙන තෝරා ගැනීම කල යුතු බවය.


පසු සටහන :  මේ පෝස්ටෙක ලියා නිම කළේ සිකුරාදා පාතරාසය සමග මය.සෙනසුරාදා කොච්චියාගේ නෝනා ගේ උපන්දිනය යෙදී තිබුණේය. ඈට සුබ පතා වෙනම පෝස්ටුවක් ලියන්නට කොච්චියා සිතා සිටියේය. ඉරිදා වැඩ දවසක් බැවින් අපි ඇගේ උපන් දිනය සිකුරාදා රෑ සැමරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කොච්චියා සෙනසුරාදා කිසිවක් ලියා ගත හැකි මට්ටමක නොසිටියේය. ඒ ගැන සාක්ෂි දරන්නට හැලපයා ඇත්තේය.
කොච්චියාට නෝනා ගැන කියන්නට අපමණ කතා ඇත්තේය..නමුත් මේ විතරක් කියා ඈට සුබ පතන්නේය. කොච්චියා සමග පවුල් කෑම පහසු නැත්තේය..ජීවිතය ගැන කිසිම බරක් නැතිව ඒ මොහොතේ පමණක් ජීවත් වන මිනිහෙක් සමග වාසය ගැහැණියකට පීඩනයක්ය.උද්දච්ච, වගකීම් විරහිත කොච්චියාට ආදරය කිරීමම ඉතා වටින්නේය. ඒ ගැන කීමට වචන නැත්තේය..
මගේ ආදරණීය නෝනාට සුබම සුබ උපන්දිනයක් වේවා!

Sunday, October 16, 2016

විස්කි සහ සුරුට්ටු සමග බ්ලොග් ලිවීම, අකලට මළ රණවීර සහ බැට් එකෙන් කල පොළොං හටන

අද කොච්චියා ඉන්නේ කතන්දර අතර හිර වෙලාය. සිදුවීම් සහිත කතා ගණනාවක් තිබුනාට මේ වෙලාවේ ඔලුවට එන්නේ එකම එක චරිතයක් ය. මිනිහා අද හුස්ම ගන්නේ නැත්තේය. මැරී වල පල්ලේය. හැබැයි මගේ හද පතුලේ ඉන්නේය. අකලට මළ ඒ මිනිහා රණවීරය. මගේ තාත්තාගේ වසර ගණනක රියදුරාය… මරාගෙන මැරෙන්නට පවා රෙඩි පිට උන් මිනිහාය.

රණවීර කියන්නේ සීටීබී ඩ්‍රයිවරයෙකි… මිනිහාව අපට ගෙනාවේ යුද හමුදාවෙන් පැන ආ ඉනසන්ට් ය. එනම් රණවීරට කලින් උන් ඩ්‍රයිවර් ය. උගේ නම ඉනසන්ට් උනාට ඌද පට්ට මදාවියෙකි...අපි පොඩි කාලේ වෑන් එකට නැග්ගාම ඌ අපට කිව්වේ ආමි කතන්දරය … කොටින්ට එල්ලලා ගහපුවාය..උන්ට පණ පිටින් ගිනි තියා මරපුවාය… අපේ අම්මා හා තාත්තා කිව්වේ ඒවා ඌගේ බයිලා කියාය. මහ කැලේ වහලය රහිත වාහන එලවා පුරුදු ඉනසන්ට් අපේ වෑන් එක එලවද්දීත් ගසක අත්තක් යටින් යන කල ඔලුව නැව්වේය. අත්ත ඔලුවේ වදී කියා බයටය.

වැනිලා සුරුට්ටුව සමග සින්ගල් මෝල්ට් ඔන් ද රොක්ස්

කොච්චියා මේ පෝස්ට් එක ලියන්නේ දෙකක් දා ගන්නා ගමන් ය..දෙකක් කිව්වාට මේ වෙන කොට තුන් දෙනෙක් එක බෝතලයක් නිම කොට ඊලග එක කඩන ගමන්ය.. ඒකත් ඉන්දියන් විස්කිය. ඉන්දියන් විස්කි බොන්නේ හොද බඩු ඉවර වී ඇති නිසාය..නැත්නම් අක්මාව පමණක් නොව ආමාෂය හා උගුර පවා පිච්චෙනවාය. ඇත්තේ වහුතු කැරපොතු රසක්‍ ය.. ඕමානයේ තියෙනා ඉන්දියන් ඒවායේ හැටි එහෙමමය. බැලන්ටයින් සහ ජොනී අයියාගේ කලු පාට ලේබලය මෙන්ම අතේ මිටේ ඇතිවිට සින්ගල් මෝල්ට් ග්ලෙන්ෆෙඩික් ද කොච්චියා වැඩිපුර බොන ඒවාය. ඒවාට පුරුදු වූ මගේ දිව සහ නාසය මේ මල ජරාව උගුරට යවා ගන්නේත් ආඝ්‍රහණය කරන්නේත් වෙරි වීමම මිස අන් අවශ්‍යතාවයක් මේ මොහොතේ නොමැති නිසාමය. හොඳකට ඇත්තේ මගේ ප්‍රියතම වැනිලා සුරුට්ටු කීපයක් ඉතිරිව තිබීමය.. එය අදිනා කල අර කැරපොතු රසය අමතක වන්නේය.කොහොම උනත් කොච්චියා විස්කි,සුරුට්ටු,සෙක්ස් සහ ගණිතය ගැන ළඟදීම පෝස්ට් එකක් ලියන්නේය.අමතක උනේ කෝපිය. මේවා ඇබ්බැහිකම්ය. ඔයින් කොච්චියාට භයානකම දේ ගණිතය නිසා සිතා මතා ඉන් ඈත් වී ඉන්නේය. අද කරනා කරුමාන්ත ඔක්කොම වසා දමා විස්කි බොමින් සුරුට්ටු අදිමින් ගණන් හදන්නට කොච්චියා මනාපය. නෝනා නොහිටින්නට කොච්චියාට ජීවිතය කියන්නේ පවතිනා මොහොත පමණක්මය.


රණවීර කොච්චියා වෙනුවෙන් වලි වලට පවා ගියේය. උසස් පොලිස් කාරයන්ගේ පුතුන් පසු පස ජැක් ලිවර් ඔසවා ගෙන දිව්වේය...උන්ව ගස් බැන්දේය...කොහේවත් නොව උන්ගේම ගෙවල්වල ය.. අපේ මාපියෝ මේවා නොදත්තෝය… දන්නවා නම් රණවීරට රස්සාව මෙන්ම කොච්චියාට එදා ගෙදරද අහිමි වන්නට තිබුණේය.


එකදාස් නවසිය අසූ ගණන් වල රණවීර මිනිහෙක් මැරුවේය. මරා නිකන් සිටියේ නැත...ගමේ සිටි නෝන්ජලයෙක් වූ ජස්ටියාව සීන් එකට පැටලුවේය… ඊට පස්සේ ඌට තර්ජනය කර ඌ වරද බාර ගෙන ඌ හිරේ ගියේය.. මා පමණක් නොව මගේ එකල බොක්ක වු දිමුතු සමගද මූ ජස්ටියා බලන්නට හිරේ ගියේය. බැලූ බැල්මට රණවීරද නෝන්ජල් පහේය..ඒත් කූප්පා ගත් කල තනිකර වෙනස් මිනිහෙක්‍ ය. දෙතුන් දෙනෙක් එකවර බෑවීමට පවා දෙවරක් නොසිතන්නෙක්‍ ය.


කොච්චියා පරණ නෝනා එක්ක ලව් කලේ ඉස්කෝලේ යන කාලේ සිටය. අපි ඉස්කෝලේ ගියේ එකම ස්කූල් වෑන් එකේය. ඇඩ්වාන්ස් ලෙවල් කරමින් සිටි ඈ හා කාලය ගත කරනු වස් කොච්චියා NIBM යද්දී ගියේද ඒ වෑන් එකේමය. ඒ වෙනුවෙන් වෑන් හිමි ක්‍රිශාන්ත අයියාට වැඩිපුර ගානක් ද කොච්චියා ගෙව්වේය. ඒ විතරක් නොව මට වෑන් එකට නගින්නට මහ පාන්දර සීදුව හන්දියට එන්නටද සිදුවිය . මාව හන්දියට දාන්නට රණවීර නියමිත වෙලාවට පැයකට කලින් සේවයට වාර්තා කලේය.. ඒ බොක්කෙන්මය… ඊට උදව්වක් ලෙස කොච්චියා පොකට් මනී වලින් ඉතුරු කරගත් මුදලින් ඉදහිටලා රණවීරගේ ගෙදර ලයිට් බිල ගෙව්වේය. සමහර දාට රණේ පරක්කුය..මම මිනිහා හොයන්නට යන්නට ඕනාය. රණේ ගේ ගෙදර තිබ්බේ අත්තනගලු ඔයට යාබද වෙල්‍ යායේ කමතේය. එතනට යන්නට වාහනය නවතා බල්ලන්ට තග දමමින් අඩි පාරක යා යුතු වන්නේය..සරපයෝද අඩු නැත්තේය..අඩි පාරට මුහුණ ලා වාහනය නවතා ස්ටාට් එකේම තියා හෙඩ්ලයිට් දමා මිස ඒ අඩි පාරේ යාම භයානකය..


රණවීරට සර්පයින් මැරීම ටොයිස් ය.. මිනී මරපු එකාට සර්පයාත් කජ්ජක්ද කියා ඔහෙලාට හිතෙන්නට පුලුවන්‍ ය. ඒත් පොළඟා සමග සටන පහසු නැත. ඒ දන්නේ වැඩේ  ට්‍රයි කරපු එකෙක් විතරය.  මණ්ඩාවක් ඇත්නම් යම් හයියක්‍ ය.. ඒත් රණවීර වරක් සඳුවා ගේ බැට් එකෙන් තඩි පොළඟෙක් හා සටන් වැද මරා දැම්මේය. සඳුවා කියන්නේ කොච්චියාගේ මල්ලීය.  ඊට පැය කීපයකට පෙර සඳුවා ඔය බැට් එකෙන්ම නාලන්දයට එරෙහිව අර්ධ ශතකයක් ගැසුවේය..ඌගේ ආදරණීය බැට් එකෙන් ගසා රණවීර මරා දැමූ පොළඟා ප්‍රමාණයෙන් පිඹුරෙක් වගේ එකෙක්‍ ය. ඒ දැවැන්ත උරගයා  දෙවරක් උඩ පිනූ අතර වරෙක පුල් පහරකුත් වරෙක් ස්ක්වෙයා කට් පහරකුත් දී රණවීර ඌ අඩපණ කළේය. බරපතල හානි ලද බැට් එක දෙස සඳුවා කඳුළු පිරි දෙනෙතින් බලා සිටියේය.

මිට ගැලවී ගිය සඳුවාගේ බැට් එක පොලොං හටනෙන් පසු දිස් උනේ මෙසේය

දියවැඩියා රෝගයෙන් පීඩා විඳි රණවීර වාහනය නවත්වන වාරයක් පාසා මුත්‍රා කලේය. සීදුවේ සිට මීගමුවට යන අතරේ තුන් තැනක නැවැත්තුවොත් මිනිහා තුන්වතාවේම කොහේ හෝ රිංගා වැඩේ කරගන්නේය. හැබැයි එක දිගට නොනවත්වා පොලොන්නරුවට ගියත් මිනිහාට චූ කරන්නට ඕනා වන්නේද නැත්තේය..ඒ නිසා කොච්චියා එකල එය පොරගේ මානසික අවශ්‍යතාවයක් ලෙස සැලකුවේය.


මාස කීපයකට පෙර නංගී මට whatsapp එකෙන් කියා එව්වේ රණවීර මළ බවය. ඕනෑ තරම් නෑයන් හිතවතුන් ගේ මරණයන් ඇසුවත් කිසි හැගීමක් නැති මා මේ පණිවිඩය නිසා දුක් වුණේය. මට යා ගන්නට බැරි වූ නිසා තවත් හිතට අවුල්‍ ය. ඒ දුක දැනුනු මොහොතේම මිනිහා ගැන ලියන්නට හිතා ගත්තේය. කොච්චියාගේ හිතට දැන් දැන් එසේ ලේසියෙන් දුක එන්නේ නැත..ආවොත් ලිවිය යුත්තක්මය.


රණවීර තරම් අපේ අම්මාගෙන් බැනුම් ඇසූ රියදුරෙක් නැති තරම්ය. මිනිහා පාරේ යන්නේ ඉබි ගමනේය. වේගයෙන් රිය පදවන්නියක වන මගේ මව්ට රණවීරගේ වේගය දිරවන්නේම නැත. ඒ මදිවාට parking skills නම් අන්තිම සවුත්තුය. පොඩි ඉඩක රිංගවාගන්නට පණ බයය. ඒ නිසා අදාල තැනින් බැස ගත්තාට ආපහු වාහනය ලගට බොහෝ දුර ඇවිදීම අනිවාර්ය ය. ඇක්සලේටරයට වඩා රණවීරට වැදගත් වූයේ හෝන් එකය. පොර එලෙව්වේම හෝන් එකෙන් ය..වාහනයේ ගමන එකම කරච්චලයක් ය. රණවීර අපේ අම්මා ගේ හැටි දන්නේය. ඒ නිසා බැනුම් ඇහුවාට ගානක් නැත්තේය. මිනිහා කියන්නේ
“නෝනා ගේ කේන්තිය සෝඩා බෝතලේ ඇරියා වගේ”  කියාය.


ඒ රණවීර අද පරලොව ගොසින්‍ ය. පරලොව කිව්වාම ඕක සුරලොව මෙන්ම යමලොව වෙන්නටද පුලුවන්‍ ය. හැබැයි මගේ ලොවේ තාමත් ඉන්නේ ඉස්සරහා දත් දෙකක් අඩු , සිනා මුසු මුහුණින් මගේ පරණ නිල් පාට ලුමාලා ස්පෝර්ට් බයිසිකලේ පැදගෙන එන රණවීරය.

කොච්චියාට දැන් පට්ට නිදිමතය. බීලා නම් ඉවරය. බීපු උන් වැටුණු වැටුණු තැනය. හරියට සිද්ධාර්ථගේ නළඟනන් සේය.බෝතලයක් බොන ගමන් බ්ලොග් පෝස්ට් එකක් ලියා හමාර කල එකම එකා කොච්චියා වන්නට පුලුවන්‍ ය. එසේ මත්ව ලියූ නිසා මේ පෝස්ටුව බ්ලොගක් නොව බොගක් වන්නටද පුලුවන්‍ ය. එහෙමයි කියා මා ලියූ දේ
හෙට එඩිට් කරන්නේද නැත්තේය. එහෙම උනොත් මගේ පෝස්ට් එකේ අමු ගතියට හානි වන්නේය.

Sunday, October 9, 2016

රහීමාවට පෙම් බැඳි සිහින දකින ඩීල්කාරයා

කොච්චියා මොන්ටිසෝරි යන පොඩි එකා කාලයේ සිටම කඩෙන් කෑම ප්‍රිය කලේය. මීගමුවේ නිව්ස්ටෙඩ් විද්‍යාලය අසල වූ මොන්ටිසෝරියට ගිය කුඩා කොච්චියාට ඉන්ටවල් එකට කන්නට නයෝමි බේකරියෙන් බැටර් ෆ්‍රයි කරන ලද ඉස්සන් දැමූ බනිසක් සමග චොකලට් කේක් කෑල්ලක් අම්මා අරන් දෙන්නීය. අදටත් නයෝමි බේකරියේ ඒ prawn bun එක ඒ රසින්ම ඇත්තේය.


රස එලෙසම පවත්වාගත් හෝටලයක් ලෙස කොච්චියා එදත් අදත් ප්‍රිය කරන තවත් තැනක් නම් රහීමා හෝටලයයි. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ අසලම වූ රහීමාව දිගු කලක් කොච්චියාගේ උදේ සහ දවල් කෑම සැපයූවාය. කොයි තරම් කාලයක සිට මා රහීමා හෝටලයෙන් කා ඇත්දැයි සිතෙන්නේ තරුණ වියද ඉක්මවමින් ඉන්නා මා හට එහි වියපත් වේටර් වරු අදටත් “බබා” කියා අමතන විටය. අවසන් වරට මා එහි ගිය කල හුරු පුරුදු වේටර් වරයා මට කතා කොට
“ බබා, එන්න මේ මේසෙට “
යැයි කී අතර එය ඇසූ අසල සිටි තර්ස්ටන් එකේ පොඩි කොල්ලෙක් උඩබිම බැලුවේ මේ දඹ නාකියාට බබා කියන්නට වේටර් අන්දකයිප්පු කාලාද කියාය…ඒ දුටු කොච්චියාට කියන්නට හිතුනේ
“අපේ සබදකම්නෑ නේ උඹ දන්නේ” කියාය.
නාවලපිටියේ මිනිහෙක් වූ ඒ වේටර් අංකල් මෙන්ම ගම්පොල සුදු පුතා නොහොත් සුද්දාද මට විශේෂයෙන් සැලකුවෝය. අංකල්ගේ දුවකගේ මගුලට වරක් කොච්චියා මුදලින් උදව්වක් කල අතර මගුලට සෑදූ වටලප්පන් භාජනයක්ම මට ගෙනාවේය.


රහීමා එකේ උදේ කෑමට එකල පරාටා,බිත්තර රොටි,ආප්ප මෙන්ම ඉදිආප්පද තිබුණේය. කොච්චියා එකල වැඩියෙන්ම කෑවේ පරාටාය. පරාටා 5 හෝ 6 අනිවාර්ය ය. එසේ නැත්නම් පරාටා 3 සමග බඩේ ඉඩ පාඩුවට ඉදිආප්පය. බොහෝ විට බිත්තර කරි සහ පරිප්පු සමගය.. ඒ මුට්ටා කරිය පට්ට රසය..මාලු හෝ මස් හොද්දට තම්බපු බිත්තරයක් අත ඇරලා නෙවේය.. බිත්තරම හොද්දක්‍ ය. කොලෙස්ටරෝල් ප්‍රෙශර් ෂුගර් ගැන හිතලාවත් නැති එකල ජීවත් වෙන්නට කෑවා නොව ජීවත්වූයේ කන්නටය. කෑමෙන් පසු බොන්නේ ස්පෙශල් ටී එකක් හෝ බිත්තර කෝපි වීදුරුවක්‍ ය. ඔය කිව්වේ පාසල් සමය හා ඉන්පසු උසස් අධ්‍යාපනයේ යෙදුන කාලයේ කොච්චියාගේ පාතරාසයය.


රහීමා එකේ උදේ කෑමට එන්නවුන් අතර බොහෝ ප්‍රභූන්ද වූවෝය.. ඒ අතරේ මැති ඇමතිවරුන්ද දැවැන්ත ව්‍යාපාරිකයන් හා කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද අඩු නැතිව සිටියෝය. වරෙක දඹර අමිල හිමියෝ කොච්චියා සමග එක මේසයේ වැළදුවා මතකය. මා දන්නා පරිදි රනිල් වික්‍රමසිංහ ගේ ගෙදරට එදා සිට අද දක්වා පරාටා ගන්නේ රහීමා හෝටලෙන්ය.


පසු කාලීනව නැවත රහීමා එන්න උනේ කොච්චියාට දේශපාලන උණ වැළදුන කාලයේය. නීතිය ඉගෙනගැනීමට සිතූ කොච්චියාට එදා තිබූ ඉක්මන්ම ක්‍රමය වූයේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත්ව නීති විද්‍යාලයට ඇතුල් වීමයි. නීති ප්‍රවේශය සදහා වූ දේශන පැවැත්වූයේ රාජකීය විද්‍යාලයේ නව රගහලේ වූ අතර සෙනසුරාදා හා ඉරිදාය. එකල දවල් කෑම සදහා කොච්චියා ගියේ පුරුදු රහීමාවටය. දවල් කෑමට රහීමා එකේ චිකන් බිරියානිය සුපිරිය. සුවද මතක් කළත් මේ දැන් බඩගිනි එනවාය. ඊට සම මට්ටමේ තිබ්බේ මරදානේ බුහාරි හා ඔඩෙල් එක එහා පැත්තේ ඇති රහුමානියා හෝටලයත්‍ ය.


නීති ප්‍රවේශයට උගන්නා කාලයේ කොච්චියා ගේ ගුරුවරු වූයේ සාලිය පීරිස් , කේ ඩබ්ලිව් ජනරංජන , අජිත් පී පෙරේරා හා නන්ද මුරුත්තෙට්ටුවේගම වැන්නවුන්‍ ය. අජිත් පෙරේරාද ප්‍රසිද්ධ දේශපාලනයට එන්නට පෙර බොගක් දැම්මේය. දැන් නම් ඒ බ්ලොගේ පෙනෙන්නට නැත්තේය. බණ්ඩාරගම හා සබැදි ආකර්ෂණීය ලිපි තිබ්බා මතකය. මීට අමතරව එකල ශිරාල් ලක්තිලක ඇරඹූ දේශපාලන විද්‍යා අධ්‍යාපන ආයතනයක ද කොච්චියා ලියාපදිංචි උනේය.එකල මා ඔහු සමග බොහෝ දින රාත්‍රියේ දේශපාලනය කතා කල අතර වැඩක් කල හැකි දක්ෂයෙකු වන ඔහු අද ඉන්නා ස්ථාවරය ගැන මට ඇත්තේ අතිශය කම්පාවක්‍ ය.

එකල Platform for Freedom ලෙසින් රට පුරා ගෙනගිය වැඩසටහන් මාලාවටම කොච්චියා සහභාගී වුනේය. එහිදී බ්‍රිටෝ ප්‍රනාන්දු, ආචාර්‍ය නිමල්කා ප්‍රනාන්දු හා පාකියසෝති සරවනමුත්තු වැනි සමාජ ක්‍රියාකාරීන් රැසක් මුණ ගැසුනු අතර දේශපාලනයට ඇති ඇම්ම උපරිමයටම වැඩි වුනේය.


අද පාර්ලිමේන්තුවේ කොච්චියාගේ මචං ලෙවල් එකේ මිතුරන් රැසක් මෙන්ම එවැන්නන් රැසකගේ පියවරුන්ද ඇත්තේය. ඒ ඇත්තන් ගැසූ කරණම් හා ඒ පිටිපස්සේ ඇති ගේම් මෙන්ම ඒ ගේම් පිටිපස්සේ සිටි මහ මොළ කරුවෝ ගැනද කොච්චියා දන්නේය. ඒවා හරියට ටයිම් කරලා ගැහුවොත් වැඩේ ගොඩය.පොඩ්ඩ එහා මෙහා වුනොත් කෙළවෙන්නේය.ලාංකීය දේශපාලනයේ බැක්ස්ටේජ් ඩීල් කරුවෙකුගේ භූමිකාවට පණ පොවන්නට මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වීමේ සිහිනයද මිය නොගොස් එසේම ඇත්තේය. පරහකට ඇත්තේ ඒ නරාවලට මා පනිනවාට නෝනාගේ කැමැත්ත නොලැබීමය.ජීවිතයේ ඇතැම් සිහිනවල උපරිම රසය සිහින ලෙසින්ම මිස හැබෑ ලොවේ නැති බව දන්නා කොච්චියා ඒ ගැන දුක් නොවන්නේය.


රහීමා එකේ එකල බූන්දි ද තිබුණේය. කහ පාට බූන්දි කමින් පාසල නිමවී ස්කූල් වෑන් එක එනතෙක් සිටි යුගයක් කොච්චියාට තිබූ අතර මලා සිකම් ලෙසින් නාමකරණය වූ ප්‍රසාද් ශ්‍රීමාල් නම් වූ මිතුරෙක් ද එකල සිටියේය. මලා සිකම් හා මා ඉස්කෝලේ ඇරුණු සැණින් යන්නේ කිරි බොන්නය. එකල කොත්මලේ කිරි අලෙවි හලක් ඒ පැත්තේ විය. එය තිබ්බේ බගතලේ පාරේ මුලටම වෙන්නය.දැන් නම් එය තිබූ තැනක් හොයන්නත් නැතිය. අතේ සල්ලි තිබ්බෝතින් එකා පැකට් දෙක බැගින් බිව්වෝය.


මලා සිකම් සමග කොච්චියා වෑන් එක එනතුරු ඉන්නේ අද Midnightdivas ඉස්සරහට වෙන්නය. එදත් තිබ්බානම් කියා හිතෙන්නේය..

midnightdivas ගැන නොදන්නා කෙනෙක් ඇත්නම් උන්ගේ වෙබ් අඩවියට ගොස් බලා ගැනීම මනාය. නෝනලාට තෑගි ගන්න කැමති මහත්තුරුන් ට යන්න කියාපු තැනය….මොකද ඒ දෙන තෑග්ග අපතේ නම් නොයන්නේය..තෑග්ගේ ආතල් එක මහත්තයාටමය.

රහීමා හෝටලයේ තේ කෝප්පයද මට හොඳින් මතකය. එකල ඔවුන් සතුව දම් පාට සහ කහ පාට කෝප්ප තිබුණේය.කිරි තේ එක මෙන්ම ඉඟුරු ප්ලේන්ටියද රසයෙන් විශිෂ්ටය. පසුගිය දෙසැම්බරයේ එහි ගිය විටද රසය එසේමය...දුකක් දැනුනේ අර කෝප්ප සෙට් එක ඉවත් කර තිබූ නිසාය. අළුත් කෝප්පය කොච්චියාට හිතට වැදුනේ නැතිය.


කොච්චියාගේ නෝනාද රහීමාවෙන් කන්නට ප්‍රියය. එයා විතරක් නොව කලින් එක්කෙනාද එසේමය....ඒ දෙන්නාට අමතරව කොච්චියා තවත් එක එක නෝනලාටද රහීමාවේ රස විඳින්නට සලස්වා දී ඇත්තේය. කොච්චියාට රහීමා හෝටලය ජීවිතේ විශේෂ ස්ථානයක්ය.ඒ ගැන ලිව්වේත් ඒ නිසාය. මා වෙනස් වී ඇත්තේය...මා හා ආ ගිය අය වෙනස් වී ඇත්තේය..නමුත් මා කෙසේ කවදා කා හා ගියත් ඔවුන් ගේ කෑම වල එදා රසයම මට අදත් දැනෙන්නේය...


"වැව් ඉවුරේ දිය රළ පෙර සේම දිලෙනවා

නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා"

රහීමා හෝටලය කොච්චියාට දැනෙන්නේ ඔය විදියටය.







Wednesday, October 5, 2016

කණ්ඩාගේ කොලම , ඇටයා සමග නයිට් ක්ලබ් යාම සහ ඉරාන ජාතික ගණිකාව

පහුගිය සති දෙකේ හනි හනිකට ලිපි හතරක් පහක් දා ගත්තා. එක හුස්මට ලියන්න කතා තිබ්බට කෝක මුලින් ලියන්නද කියලා හිතමින් තමයි ඊයෙ පෙරේදා උන්නෙ. සෙනසුරාදා රාත්‍රියෙ බෝතලයක් එක්කම අපේ ගෙවල් පැත්තේ ආපු හැලපයියා එක්ක කරපු කතාබහෙන් පස්සෙ තව මාතෘකා කීපයක්මත් ඔලුවට වැටුණා. ඒ අතරෙ සේන තෝරදෙණිය ලියාපු “බණ්ඩර මැරූ උන්” ගැනත් ඊට පාදක වෙච්ච ඇතැම් ප්‍රදේශ වල කොච්චියා කරක් ගහපු හැටිත් ගැන තමයි මූලික උනේ. කොහොම උනත් ඒක මම කියවපු අතිශය අසාර්ථක පොතක් කියලා නොකියම බැහැ. පොත පුරාවටම තිබ්බෙ සේනගේ පණ්ඩිතකම් විතරයි.


ඔහොම ඉන්න අතරෙ හදිසියෙ මූණුපොතේ සැරිසරද්දි දැක්කා පෝස්ටුවක්, පේජ් එකකට ආපු ඉන්විටේෂන් එකක් විදියට…. “කණ්ඩාගේ කොලම” , බලන් යද්දි මේක ලියන්නෙ කොච්චියාගේ පරණ යාලුවෙක් වෙච්ච රංගන කණඩම්බි. මිනිහා දැනට ඉන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ.දෙපාරක් නොහිතාම පේජ් එකටත් ලයික් එකක් දාගෙනම ගොඩ උනා බ්ලොගේට.


ඔය තියෙන්නෙ අපූරුවට. ඕන් ඇලෙව්වා ගිහින් මගේ බ්ලොග් රෝලෙත්.. කොහොමත් කණ්ඩා කතන්දරකාරයා..ඔන්න ඒ පාර "කොච්චියා හම්බ උනා" කියලා පෝස්ට් එකකුත් දාලා. මට මතක හැටියට අපි අන්තිමට මුහුණට මුහුණ හම්බ උනේ අවුරුදු 10ට විතර කලින්. ඒ රුවන් ගේ වෙඩිමට සතියකට විතර කලින්. එදා දවල් බියර් ගහන්න කියලා බම්බලපිටිය මැලේ රෙස්ටෝරන්ට් එකේ ලෑලි උඩ තට්ටුවට නැගපු අපි සෙට් එකේ අමල් නොහොත් ඇටයා, සමුද්‍ර, ජනත් සහ මමත්, කණ්ඩා සහ රුවනුත් හිටියා මතකයි. ඒ කාලෙ අපේ සමකාලීනයො හැමෝටම වගේ හුරුපුරුදු තැනක් තමයි මැලේ රෙස්ටෝරන්ට් එක. ඔතනින් නාසිගුරං එකක් කාලා බියර් එකක් නොබීපු එකෙක් අපේ එවුන් අතර නම් හිටියෙම නැහැ.


කණ්ඩා ගේ බ්ලොගේ ගැනයි අපි දෙන්නගෙ මැද හිටපු ජනා ගැනයි ලියන්න හිතාගෙන ඉද්දි මේන් අද හවස මූ දාපු පෝස්ට් එක  නිසා මගේ වැඩෙත් ඉක්මන් උනා.කොහොම උනත් ජනත් ගැන නම් එක පෝස්ට් එකකින් කියලා ඉවර කරන්න බැහැ. ඒ තරමටම අපි දෙන්නා කරපු අවලං වැඩ තියෙනවා.සමහර ඒවා බ්ලොගේ කොහොම ලියන්නද මන්දා..


කොච්චියා NIBM එකේ උපාධිය හදාරන  අතරවාරයේ තමයි STG  කියන ඉන්දියානු තොරතුරු තාක්ෂණ විද්‍යායතනය ගැන දැන ගන්නෙ. ඒ වෙනකොට ඔවුන් සතුව තමයි රටේ හොදම Java සහ Oracle පාඨමාලා තිබුනෙ. අයන් මුකර්ජී සහ රාම් තමයි අපේ දේශකයො වුනේ. ජනත් මට මුණගැහෙන්නෙ ජාවා කරද්දි. එතනදි හමු වුනු අනෙක් සගයා තමයි සමුද්‍ර . හරියටම කටුගේ ඉස්සරහට වෙන්න ඒ කාලේ ග්ලාස් හවුස් එකට එහා පැත්තෙ තමයි තිබ්බෙ STG එක. දේශන නැති දාට පවා ඔතන අපි සෙට් වෙන තැන බවට පත් වුනා.ඔතන අපි එක්ක හිටපු සෙට් එකේ ශෝබනා කියලා ඉන්දියන් කෙල්ලෙකුත් හිටියා. ඒ වගේම NIIT එකේ දේශකයෙක් වෙච්ච කයිලාශ් කියලා තවත් අලි ඔලු කාර ඉන්දියන් කාරයෙකුත් අන්තිම කාලේ අපිට සෙට් වුනා.


දැඩි උනන්දුවෙක් වූ සමුද්‍ර සහ පට්ට ප්‍රෝග්‍රැමර් කෙනෙක් වූ ජනාත් සම්පූර්ණයෙන්ම එකෙනෙකට වෙනස් චරිත තුනක් උනාට අපිව එකතු කළේ ජාවා උණ කිව්වොත් හරි. අපි එකතු වෙලා පොඩියට සොෆ්ට්වෙයාර් ලියලා විකුණන ව්‍යාපාරයකුත් ජනාගේ කාමරේ පටන් ගත්තෙ ඔය අතරෙමයි. ඒකෙ නම උනේ Star Microsystems. ඔය නම පිටිපස්සෙ තිබ්බෙත් ජාවා උණ.. Sun Microsystems තමයි ඒ කාලේ අපේ සිහිනය. කොහොම නමුත් ඔය ආයතනය කෙටි කලකදි බිද වැටුනා.  අපේ මුල්ම ප්‍රොජෙක්ට් එක කිරිබත්ගොඩ Ray Ban ආයතනයට accounting/inventory/payroll අඩංගු පද්ධතියක් නිර්මාණය කිරීම.  ඊට පස්සෙ ඉන්ධන පිරවුම්හල් කීපයකටම පද්ධති නිර්මාණය කලා. අපි අතර මිතුරු කමේ ප්‍රශ්නයක් නොවුනත් ව්‍යාපාරයක් විදියට අපේ හවුල ඇතුලේ අවුල් පටන් ගත්තා. ඒකෙන් මේකෙන් උනේ මම ආයෙමත් පූර්ණ කාලීනව අධ්‍යාපනය ට යොමු වූ අතර ජනා රැකියාවක් සොයා ගැනීම. සමුද්‍ර ගේ රැකියාවේ වැටුප් ප්‍රශ්නයක් නිසා වැඩි කල් නොගොස් ජනා තමා සිටි ආයතනයටම සමුද්‍ර වත් ගත්තු බව තමයි මතක. ඔන්න ඔතනදි තමයි ජනත් සහ කණ්ඩා සෙට් වෙන්නෙ...ඇටයා සහ රුවන් වැඩ කලෙත් එතන. කාලයක් Virtusa එකේ වැඩ කරපු ඇටයා දැන් ඉන්නෙ ඇමරිකාවේ. සමුද්‍රයාත් මේ දවස් වල ඔටු දේසෙක වාසේ කියලා ආරංචියි.


ඇටයා අවසන් වරට හමු උනේ රාත්‍රී සමාජශාලාවක.සිකුරාදා උදේක මට කෝල් එකක් එනවා ජනත් ගෙන්, ඒ රෑට H2O යමුද අහන්න. ඒ විතරක් නෙවෙයි ඇටයාට කෙල්ලෙක් සෙට් වෙලා ලු...අද රෑට ඈ එක්ක තව කෙල්ලො දෙන්නෙකුත් එනවලු. H2O තමයි ඒ කාලෙ අපි කැමතිම ක්ලබ් එක. ඩයලොග් හෙඩ් ඔෆිස් එකේ එහා වත්තෙ තමයි .H2O එක තිබ්බෙ.තාම තියෙනවද එතනමද තියෙන්නෙ කියලවත් දැන් නම් දන්නෙ නැහැ. උඩින්ම වැඩේට ග්‍රීන් සිග්නල් දුන්නු කොච්චියා පුරුදු පරිදි ජනාව මුණගැහෙනවා පරණ පාක් වීව් ඉන් එකේ. රෑට කන ගමන් ඉතාලියානු Cinzano වයින් බෝතලයකුත් හිස් කරලා හෙමිහිට H2O පැත්තට යද්දි මේන් ඇටයා ඉන්නවා ගිනිකිකිළියො තුන් දෙනෙක් එක්ක. උගේ කියලා කියපු එක ඌට තියලා දැන් ජනා සහ මම ඉතුරු දෙන්නා දිනා ගැනීමේ මහා මෙහෙයුම දියත් කලා. ඒ වෙනුවෙන් වියදම් උනු corona extra බියර් ගණන මෙතැකැයි කියන්න බැහැ … තැබෑරුම් දෙකක් මෙන් බියර් බිවූ කෙල්ලන් දෙන්නා බොනවා මිසක් නටන හැඩක් නම් නැහැ. කීප සැරයක්ම ඇටයා තම කෙල්ල සමග ඩාන්සින් ෆ්ලෝ එකට ගියත් අපට ඒ වාසනාව උදා උනේම නැහැ. වෙනදාට එතැනින්ම කෙල්ලන් සෙට් කර ගත්තත් අද එවැන්නකට පෙළඹීමෙන් අතේ ඉන්නා කිරිල්ලියන් නැති වේ යැයි බියෙන් අපි උන් සමගම ගැවසුනා. අපේ සියලු පැතුම් සුණු විසුණු කරමින් රාත්‍රී 1 ට පමණ ඇටයා නොහොත් අමල් අප හට චාලීස් ඒන්ජල්ස් සිහි කරවමින් කෙල්ලන් තිදෙනාම සමග කොහේ හෝ ඉගිලුනා.


කලකිරීමේ උපරිමයට පත්වූ ජනා තනිවම නැටුම් බිමට පිවිසි අතර මම පසෙක සිටි ඉරාන ජාතික ගණිකාවක් හා කතාවට වැටුනා. පාපන්දු උමතුවෙන් පෙලුණු ඇය ඊට පෙර දිනයේ ලෝක කුසලාන මූලික තරගයකදී මෙක්සිකෝව අතින් ඉරානය පරාජය වීම ගැන කම්පාවෙන් සිටියා.ලෝක දේශපාලනය ගැන හසල දැනුමකින් කතා කළ ඇය දැඩි අයතුල්ලා කුමේනි විරෝධියෙක් ද වුවා. ඔවුන්ගේ 1979 ව්‍යවස්ථාව ගැනත් 1989 ඇතිවූ සංශෝධන ගැනත් මා හට දීර්ඝ දේශනයක් දුන් ඇය ගනුදෙනුකරුවෙකුගෙන් ලද දුරකතන ඇමතුමකින් පසුව මගෙන් සමුගත්තා.


පාන්දර තුනට පමණ පිටත්වූ ජනත් සහ මම පොලිස් ඇස් වලට වහං වෙමින් ජාඇල ජනත්ගේ නිවසට ලඟා උනේ තවත් අඩියක් දෙකක් ගසන අදහසින්. බීමතින් රියපැදවීම කිසිසේත් නොකරන මම කුමක් හෝ හේතුවකට එදා මෝටර් රථය පදවාගෙන ඇවිත් තිබුණා.අඩියෙන් අඩිය චෙක් පොයින්ට් තිබූ එකල බීමතින් රිය පැදවීම ටැප් තියෙද්දී ඇදගෙන නෑමක්ම වුනා.එම නිසාම මෙවන් දවස් වල අපි සාමාන්‍යයෙන් 688 කුලී රථ සේවාවේ පිහිට පැතුවා.

බයිට් කිසිවක් නොවූ අතර ගෙදර ඉතුරුව තිබූ ඕල්ඩ් රිසර්ව් කාලකට ටිකක් වැඩි ප්‍රමාණය හිස් කළේ උම්බලකඩ කෑල්ලක් පමණක් සපමින්.තවත් වාසියක් වූයේ ජනාගේ දෙමාපියන් ගෙදර නොසිටීමයි. ඔවුන් ඒ දිනවල සිය දියණිය දැකගන්නට කැනඩාවට ගොස් සිටියා.අපේ තාත්තා මෙන්ම රහමෙර කටේ නොතියූ ගුරුවරයෙක් වූ ජනත් ගේ තාත්තා ද එදවස සිය පුතුන්ගේ බේබදුකම් ගැන හාංකවිසියක් දැන සිටියේ නැහැ.

Thursday, September 29, 2016

කුරුණෑගල නංගිලා , තාත්තාගේ නෑයෝ සහ තාත්තීට තාත්තා කීම

අද කියන්නට යන්නේ නෑ කතන්දරයක්ය. කොච්චියාට නෑයන් ගැන ඇත්තේ මැදහත් සිතක්ය. අද කියන්නට යන්නේ පිය පාර්ශ්වයේ නෑයන් ගැනය. ඉන් බහුතරයකට මාව දිරවන්නේම නැතිවා මෙන්ම මටද එසේමය.දිරවීම සහ නොදිරවීම කියන්නේ කැමැත්ත හෝ අකමැත්තම නොවන්නේය.

කොච්චියා කාටවත් වඳින්නේ නැත..ඉදලා හිටලා ගුරුවරයෙක් ට වැඳ ඇති නමුත් ඉස්කෝලේදී අපට බුද්ධ ධර්මය ඉගැන්වූ ස්වාමීන්වහන්සේ ට නම් වැන්දේම නැත. උන්වහන්සේ ට අප කීවේ කිහිල්ලේ මයිලානන්ද කියාය. දැන් මගේ චාරය ගැන කිසිවෙකු කෝප විය යුතු නොවන්නේ මේ මගේ කතා නිසාය. මා ලියන්නේ කුපාඩි මා ගැන මිසක චරිතවත් අනෙකෙකු ගැන නොවන නිසාය. අකමැත්තෙන් හෝ මා වැන්දේ තාත්තාගේ නෑයන්ටය..ඒද ඔව්නට ඇති ආදර ගෞරවයක් නිසා නොව තාත්තාට ඇති ආදරය නිසාවටමය. 

"පොඩි මල්ලි ළමයි හදලා තියෙන හැටි හරි සවුත්තුයි" යැයි,

නැන්දලා හිතනවාට එදා මම අකමැති වූ නිසාය. අද මම එය තකන්නේ නැත්තේ වැඩිහිටි මගේ චරිතයෙන් ඔවුහු මගේ තාත්තාව විනිශ්චය නොකරන නිසාය. අද ඔවුන් හිතන්නේ..

"අනේ අර රත්තරන් පොඩි මල්ලිගෙ ලොකු එකාට ගිය කල" කියාය. 

මට එහි වගේ වගක් නැත්තේ තාත්තාට දෝෂාරෝපනයක් එල්ල නොවන නිසාය.. මේ කිව්වේ ලොකු නැන්දා ගැනය , තාත්තාට වැඩිමල් අනෙක් නැන්දා නොහොත් ඉඳුරුවේ නැන්දාට ඔය කිසිවක් අදාල නැතිය..තමන්ගේ දරුවන්ගේ ජීවිත වලට පවා කිසිදු බලපෑමක් නොකළ ඇය අදටත් දරුවන්ට බරක් නොවී තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන ඉන්නවාය.ඉඳුරුවේ නැන්දාගේ ස්වාමි පුරුෂයා අශෝක මාමාය. උන්දෑ කලකට ඉහතදී මහණ දම් පුරනු වස් ආරණ්‍යගත වුනේය. නිවෙස ඉදිරිපිට ග්‍රොසරියක් පවත්වාගෙන යන නැන්දාට නම් ඉන් සිදු වූයේ වාසියක්මය. ඒ මොකද කියනවා නම් නැන්දා නොමැති වෙලාවට කඩේ වැඩ බැලූ මාමා එහි සිට දාන පාරමිතාව පිරූ නිසාය. අශෝක උපාසක තැන ගමටම පිනට බඩු දී තිබුණේය.

අශෝක හාමුදුරුවෝ ආච්චිගේ මලගමට වැඩ බණක් දෙසූහ. බණ අමාරුවෙන් නතර කර ගත්තේ හිතා මතාම එකා දෙන්නා බැගින් නැගිට යාමෙන්ය. මතකේ හැටියට මුලින්ම නැගිට්ටේ උන්නාන්සේගේ වැඩිමල් දියණිය වූ දම්මි අක්කාය. කිසිවෙකුගෙන් බණකට ආරාධනා නොලබන අශෝක හාමුදුරුවෝ ස්වේච්ඡාවෙන් එන්නට පුලුවන් තැනකදී උපරිම ඵල නෙලා ගන්නට තැත් කල අයුරු එබණ ඇසූ කොච්චියා අවබෝධ කර ගත්තේය.

ලොකු නැන්දා ට මගේ සංගිස්කුරුතිය කිසිදා ඇල්ලුවේ නැත.. මගේ විවාහයට සතියකට පෙර සිය මුණුබුරකු සමග ඈ අපේ ගෙදර ආවාය..ඒ අප විසින් ඒ දරුවා පේජ් බෝයි කෙනෙක් ලෙස තෝරාගත් නිසාය..කොල්ලාගේ සූට් එක ෆිටෝන් කරන්නනටය. මගේ කම්පියුටරයට එබුනු ඈ ඇතැම් පින්තූර දැක කීවේ

 "මේකේ තව මොනවා බඳින්නද" කියාය..

ඈ ඒ දැක්කේ අප දෙදෙනා සාදයකදී වැලඳගෙන සිටි පින්තූරයක් බලාය.. මේ කිව්වේ කොච්චියාගේ පළමු විවාහය හා ඒ පරණ නෝනා ගැනය.නැන්දා එසේ කියද්දී මට පුකෙනුත් හිනා ගියේය...පුක යැයි කීවේ එය කුනුහබ්බයක් නොවන බව බ්ලොග් ලෝකේ ඇතැම් පොරවල් පුන පුනා ඔප්පු කර ඇති නිසාය..එසේ නොවුනත් මට හිතුනොත් එසේ ලියනවාය..

ලොකු නැන්දා විතරක් නොව පොඩි නැන්දාද  උඩ දමාගෙන ඉන්නේ කුරුණෑගල නැන්දා සහ ඇගේ දරුවන්‍ ය.කුරුණෑගල  නැන්දා, මාමා සහ දරුවන් ඉන්නේ ඇමරිකාවේය. නැන්දාගේ ලොකුදුව වන ඒ නංගී මා හා ඉතා කිට්ටුවෙන් සිටියාය. වරක් නැන්දා නොමැතිව මාමා සමග නිවාඩුවකට ලංකාවට ආ නංගී ඇයව නයිට් ක්ලබ් එකකට ගෙනයන ලෙස මගෙන් ඉල්ලුවාය..සෙල්ලක්කාර තාරුණ්‍යය  හොදින් විඳ පුරුදු ඈ ලංකාවේ නයිට් ක්ලබ් එකක් දැක ගැනීමේ කුහුලෙන් යුතු වූවාය.එකල හැම සිකුරාදාම පාහේ නයිට් ක්ලබ් යන මා එක පයින් ඇයට "හා" කිව්වේය. රෑ තිස්සේ මා සමග දුරකතනයේ එල්ලී සිටිනා ඇය හා මා ගැන අවිවාහක ගැහැනියක් වන මාමා ගේ නැගණිය වෙනස් කතාවක් ගොතා මා වැනි කුපාඩියෙක් ඇගේ ආශ්‍රයේ සිටීම නුසුදුසු බැව් නැන්දාට කිව්වාය. එය අසා නිකන් නොසිටි නැන්දා සිය සැමියාගේ සොයුරිය සමීකරණයෙන් ඉවත් කර එය ලොකු අම්මා පිටින් යැව්වාය. 

ලොකු අම්මා කියන්නේ මගේ තාත්තා ගේ අයියාගේ නෝනාය....මා ඉතා ආදරය කල තැනත්තියක් වූ ඇගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ මා වහාම ඇගෙන් එය විමසුවේ වයසේ ආවේගයට නමුදු එය නංගීට බැනුම් ඇසීමට සිදුවීමක් දක්වා දුර දිග ගියේය. ලොකු අම්මා එසේ කියා ඇති බවත් ඒ බව මට නොකියන ලෙසත් නංගීට දැනුම් දී තිබුණුමුත් ඈ එපා කියද්දී මා ලොකු අම්මා ගෙන් ගේම ඉල්ලන්නට වීය. ලොකු අම්මා පමණක් නොව ඇගේ දුව වූ චමිත්‍රි අක්කාද ඔවුන් ඊට සම්බන්ධ නැති බව ඔප්පු කර පෙන්නුවෝය. චමිත්‍රි කියන්නේ මගේ බොක්කෙත් බොක්කක්ය. අපි දෙදෙනා එකල රට වටේ රස්තියාදු ගැසුවෝය..ඈ ගැන කියන්නට කතා ඕනෑවටත් වඩා ඇත්තේය.

කෙසේ නමුත් එතැන් පටන් මගේත් කුරුණෑගල ලොකු නංගිගේත් හිතවත්කම නැත්තටම නැති වුණේය. මගේ මුහුණවත් ඈ ඉන් මතු නොබැලුවාය. එක්කෝ ඇය මට අතිශයින් ආදරය කර මා ඈ එපා කී දේ කල නිසා මා හා උරණ වූවාය, එසේත් නොවේනම් ඇගේ නැන්දා විසින් කියූ පරිදිම මා ජඩයෙක් සේ සලකා මා හලා දැම්මාය. ලොකු නංගී පමණක් නොව කුඩා කාලයේ ආදරයෙන් සුරතල් කළ පොඩි නංගී පවා මා සමග ඉන් පසු වදනක් හෝ නොදෙඩුවාය.

ලොකු නැන්දා හා ඉහත නංගිලා ගැන මතකෙට ආවේ මුහුණු පොතේ පින්තූර වගයක් දැකලාය. නංගිලා දෙන්නාම බැන්දේ සුද්දන්ය . ඇමරිකන් කාරයන්‍ ය. උන්ගේ මූනු පොත් අපි දැක ඇතුවාට ලොකු නැන්දා දකින්නට නැතුව ඇතිය..දැක්කත් මොකෝ කොල්ලෝ ඇමරිකන්ය. මම ඉඹලා තිබ්බේ ලංකාවේ එකක්‍ ය.. 

තාත්තාගේ නෑයන් ගැන කියද්දී තව චරිත මහ ගොඩක් ඇත්තේය. නීල් බාප්පා එනම් තාත්තාගේ මල්ලී ඉන්නේ අලුත්ගමය. අසාධාරණය පෙන්නන්නට බැරි බාප්පා සීයා සමග පවා ගේම ඉල්ලා ඇත්තේය. තාත්තාගේ තාත්තා වූ ඉඳුරුවේ සීයා කියන්නේ නාහෙට අහන්නේ නැති ගණන්කාරයෙක්‍ ය. මුදලාලි කෙනෙක් වූ සීයා වරක් අපේ තාත්තාට නිකරුණේ තැලූ ඉස්කෝලේ මහත්තයෙකුට කඩේ තිබූ රාත්තල් පහේ පඩියකින් නෙලුවා කියා කිව්වේත් ලොකු නැන්දාය. එහෙව් සීයාගෙන් ගේම ඉල්ලන්නට කිසිදු දරුවෙක් නොගිය අතර සීයාට නොදෙවෙනි චරිතයක් වූ බාප්පා වැඩ කළේ කලාප අධ්‍යාපන කාර්‍යාලයේ වූ අතර දූෂිත නිලධාරීන්ට පරාල ඇණයක් ම වීය. 

මහවැලියේ වැඩ කල ලොකු අප්පච්චී මෙන්ම ඉඳුරුවේ නැන්දාගේ ලොකු පුතා වූ සුදු අයියා ද කොච්චියාගේ ජීවිතයේ විශේෂිත චරිතය. ආනන්දයට ගිය සුදු අයියා කොළඹ නැවතී හිටියේ බෝඩිමකය. සති අන්තයේ මිනිහා අපේ ගෙදර එන අතර එකල සිකුරාදා හවස කොච්චියා සිටියේ මග බලාගෙනය. නුගේගොඩ ටියුෂන් ඉවර වී එන සුදු අයියා හැම දාමත් කියන්නේ රෝයල් එකේ උන්ට ගහපු හැටිය. අයියා වීරයෙක් උනත් ගුටි කෑවේ අපේ ඉස්කෝලේ අයියලා වීම ලැජ්ජාවකි. අද සුදු අයියා ඉන්නේත් ඇමරිකාවේය. ජීවිතයේ ආයෙ කවදා ඔහු හමුවේදැයි දන්නේද නැත. ඔහුගේ දරුවෝ මා හා මූනුපොතේ චැට් කරන්නෝය.. ඔවුහු අයියාගේ කනපිටය. තවම 18 පිරී නැති උන් අන්තවාදියෝය . සිංහල බෞද්ධයෝය. මහින්ද රාජෝත්තමයාණන්ගේ ඩයස්පෝරාවේය.  

ලොකු අප්පච්චී කියන්නේ 71 කැරැල්ලේ බැහැලාම උන්නෙකි. කැලේ හැංගී බේරුණු චේගුවේරා කාරයෙකි. අද ජෙප්පන්ව ගේට්ටුවෙන් මෙහාට වද්දා නොගන්නා ලිබරල් වාදියෙකි.මහවැලියේ උන් කාලයේ හිටං සමග පවා මචං කියූවෙකි.විනෝදකාමී රසවතෙකු වන ලොකු අප්පච්චී මමත් නෝනාත් නුවර ජීවත් වූ සමයේ පියෙකුටත් වඩා අපට බොක්කක්ම වුවේය.ඔහුගෙන් එකල උගත් ෆ්ලෝටර් ක්‍රීඩාව ඕමානයට ගෙනා අප එය මිතුරන් අතරේ පවා බෝ කර ඇත්තේය.. මොලය අධිකව වෙහෙසවන ෆ්ලෝටර් කියන්නේ රමී පන්නයේ කාඩ් සෙල්ලමක්ය.ඒ ගැන පෝස්ට් කීපයක්ම ලියන්නට ඉන්නා නිසා වැඩි විස්තර දැනට ඕනෑ නැත.

පොඩි නැන්දා ගැන මේ මොහොතේ ශුන්‍ය වූ හැගීමක් ඇතත් බොහෝ සුන්දර මතකයන් ඇති බැවින් ඈ ගැනද කතන්දර ඉදිරියේදී ලියවෙනවාය. ඈ අවිවාහකය. මගේ ළමා කාලයේ සෑම පාසල් නිවාඩු කාලයකම ගුරුවරියක වූ ඈ අප බලන්නට පැමිණියාය.ඒ එන්නේ මා කන්නට ආසා ෆෘට් කේක් එකකුත් අරගෙනය. ඇගේ ඇඳුම් බෑගය කුඩා නම් අපට දුකය. ඒ ඇය ටික දිනකින් යන බැව් දන්නා නිසාය.

අපේ තාත්තා විතරක් සිය සොයුරු සොයුරියන් සැමටම එක සේ සලකන්නේය. ඔහුගේ ඒ උතුම් ගුණයට මා සැමදා ගරු කරන්නේය. එහෙත් ඔවුන් එකිනෙකාට එසේ සලකගන්නේ නැති අතරම අපේ තාත්තා ඔවුන්ගේ නිවෙස් වලට දුක සැප බැලීමට ගොස් ඇති වාර ගණනින් පහෙන් එකක් වත් ඔය කිසිවෙක් අපේ ගෙදර ඇවිල්ලාද නැත.ආච්චී මළ කල බොහෝ හැඬූ ඔවුහු අතර අචලව සිටියේ අපේ තාත්තාය. තාත්තාත් මමත් මගේ බිරිඳත් සීදුවේ සිට අම්බලන්ගොඩට ගොස් ආච්චීව දොස්තර ලගට ගෙන ගොස් පසුව රෝහල් ගත කරන තුරුත් ඒ කිසිවෙකුගේ වාහන හෙල්ලුනේ නැත්තේය.

ආච්චී මියෙන තුරු සෑම මසකම පෝය දින තාත්තා ඈ බලන්නට ගියේය. වරෙක් ආච්චී නුවර ද අම්බලන්ගොඩ ද ඉඳුරුවේද විටෙක කුරුණෑගලද සිටියාය. අපේ තාත්තා සිය රියදුරාත් සමග හෝ මා හෝ මල්ලී සමග හෝ සෑම මසකම පෝයදා ඒ ගමන ගියේය. එසේ ඔහු නොගිය එකම පෝයක් මට මතකය. ඒ දෙසැම්බරයකි.එදා අපේ පල්ලියේ කැරොල් ගායනා මෙහෙයය. අපේ අම්මා පල්ලියේ ඕගන් වාදනය කල අතර මල්ලි සහ නංගි දෙදෙනාම කැරොල් ගායනාවලට සහභාගි වූවෝය. එය නරඹනු වස් තාත්තා සිය ගමන පසු දිනට කල් දැම්මේ ය. ඒ 2004 දෙසැම්බර 26 වෙනිදාය..සුනාමිය එන විට තාත්තා ඉන්නට සිටියේ ගාලු පාරේය.වාසනාවකට කැරොල් මෙහෙය නිසා ඔහු සිටියේ සීදුවේ අපේ ගෙදර සාලයේ ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් තරගය බලමින්ය.නීල් බාප්පලා මෙන්ම ලොකු නැන්දලාද සුනාමියෙන් බැට කෑවෝය.බාප්පාගේ දුවලා තිදෙනා සුනාමියෙන් පසු මසක් පමණ උන්නේ අපේ ගෙදරය. කෙලින් වැඩ කරන කෙල්ලන් වූ ඔවුන් ගැන්ද පසුව ලියවෙනවා ඇත.

සුනාමියෙන් පසු අතුරුදන්වූ නෑයන් හෙවීම ඇතුලු කතා කීපයක්ම ඉදිරියේදී ගෙනෙනවාය.මේ කතාවේ ලියන්නට නොයෙදුනු තවත් කතා කල යුතුම චරිත තියෙනවාය. කොච්චියා ඒ ගැනත් පසුවට ලියන්නට ඉන්නවාය.
එහෙමකට ආරම්භයක් හෝ අවසානයක් නොමැති අද කතාව මෙසේ ඉවර වෙනවාය.

සටහන :
දන්නා කාලයේ සිට තාත්තාට මා ඇමතුවේ තාත්තී කියාය. එහෙම ලියන එක හරි නැති නිසා පොඩි කාලයේ තාත්තා ගැන රචනාවක් ලිව්වාට පසු තාත්තී ගැන තාත්තා ලෙසින් වාචිකව හෝ ලිඛිතව මේ ප්‍රකාශයක් කළාමය.ඒ නිසා මේ දැනුත් මොකක්දෝ නුහුරු හැගීමක් දැනෙනවාය.

Monday, September 26, 2016

ඕමානයේ සිකුරාදා - උප්පුමා සමග ෆිල්ටර් කෝපි

කොච්චියා වර්තමානයේ ජීවත් වෙන්නෙ ඕමානයේ. අවිවාදයෙන්ම ගල්ෆ් කලාපයේ තියෙන සුන්දරම සහ මිත්‍රශීලී කම අතින් ඉතා ඉහලම රටේ. ඕමානය ඇතුලු සියලු ගල්ෆ් රටවල් සති අන්තය ලෙස සලකන්නේ සිකුරාදා සහ සෙනසුරාදා හෝ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා. මමත් නෝනාත් ඕමාන් ආ මුල් මාස හයක වගේ කාලයේ අපේ සති අන්තය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ලෙසට තිබුනත් පසුව එය සිකුරාදා සහ සෙනසුරාදා බවට නිවේදනය කරනු ලැබුවා. සියලු මුස්ලිම් බැතිමතුන් සිකුරාදා (ජුමා) පල්ලි යාම අනිවාර්යයෙන් කරන්නක්. සංස්කෘතීන් දෙස බලා රසවින්දනය ලැබීමට හුරුවූ මට සිකුරාදා දවල් රොතු බුරුතු පිටින් පල්ලි යන බංගාලි ඉන්දීය හා පාකිස්තාන ජාතිකයනුත් ඕමාන ජාතිකයිනුත් දැකීම ප්‍රිය උපදවන්නක්. සෑම අවන්හලකම පවා එදිනට විශේෂ බිරියානි බතක් ඉදෙනවා. සිකුරාදාව තමයි ඔවුන්ගේ විශේෂ දවස.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ  ඕමානයේ බහුතරයක් නිවෙස් වල රාත්‍රී සාද  පැවැත්වෙනවා. මතට ප්‍රිය කේරළ ජාතිකයන් වගේම ලාංකිකයන් එහි මුල් තැන් ගන්නවා.ලාංකික ප්‍රාමාණ සමීක්ෂකයන් රැසක් සිටින මස්කට් හි විවිධ තැන් වල පැවැත්වෙන සාදයන් ඉතා රසවත්. අපේ නිවසේත් බ්‍රහස්පතින්දා රෑ සාදයක් අනිවාර්ය අංගයක්. බොහෝ මිතුරන් කාලයක සිටම අපේ ගෙදර සාද වලට කැමැත්තක් දක්වන්නේ ඉන්දියානු ආරේ කෑම වලින් හෙම්බත් වෙච්ච කටට අපේ රසට මගේ නෝනා පිසින කරවල බැදුමක් හා පොල් සම්බෝලයක් සමග බත් කටක් කෑමට ලැබෙන නිසා මයි.


සිකුරාදා උදෑසන කියන්නේ සතියේ පාලුම වරුව කිව්වොත් නිවැරැදියි . රෑ සාද වලට සහභාගී වූවන් මහ දවල් වන තුරු නිදා ගැනීම අනිවාර්ය අංගයක්. මොකද සිකුරාදා හවසටත් කොහෙන් හරි හොයාගෙන අඩියක් ගහන එක අපේ අය වරද්දන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන ශක්තිය නැවත ලැබෙන්නෙ ඔය නින්දෙන්. බොහෝ ක්‍රිස්තියානි බැතිමතුන් උදෙන් පල්ලි යන අතර හින්දු භක්තිකයන් සිකුරාදා උදේ කෝවිල් යාමට යොදා ගන්නවා. මුස්ලිම්වරුන් දවල් පල්ලි යාමට ඇති නිසා නිවෙස් වලින් පිට යන්නේම නැති තරම්. ඉහත කුලක වලට අයත් නොවූවත් බහුතරයක් දෙනා සිකුරාදා උදෑසන හොද නින්දක් වෙනුවෙන් භාවිත කරනවා.


කොච්චියාගේ එදා ඉදන් පුරුද්දක් තමයි පාන්දර පහට නිදා ගත්තත් හත හමාර වෙනකොට අවදි වෙන එක. ඕක මට අදටත් වලංගුයි. මම උදෙන් නැගිටිද්දි මගේ නෝනාත් සති අන්තය අපි එක්ක අපේ ගෙදර ගත කරන අතිජාත මිත්‍රයා ඩිස්තිත් බොහෝ විට රාත්‍රි සාදයෙන් පස්සෙ අපේ ගෙදරම රැය පහන් කරන දිනුශත් ඇහැරෙන්න හිතලා වත් නැහැ. ඒ වෙද්දි ඇහැරලා ඉන්නෙ අපේ ගෘහ සේවිකාව විතරයි. නානකාමරයට වැදිලා මුහුණ කට සෝදා ගෙන කොට කලිසමකින් සැරසෙන මට සිකුරාදා උදේ කරගන්න වැඩ ගොඩයි. කාමරෙන් එලියට එනකොටම ,

"සර් තේ එකක් හදන්නද?" 

කියලා අහන්නෙ අපේ ගෘහ සේවිකාව විතාන. කවදාවත් ඇගේ තේ එකක් නොබිව්වට යාන්ත්‍රිකව වගේ උන්දෑ හැමදාමත් ඕක අහනවා.
විතාන කියන්නෙ මැදි වියේ ගැමි ගැහැනියක්, දවස පුරාවටම සිනා මුසු මුහුණින් ගෙදර වැඩ ටික කරන විතාන මගේ නෝනාට ලොකු පහසුවක්.

සිකුරාදා උදෙන්ම එලියට බැහැලා වාහනෙත් පණගන්වාගෙන මම මුලින්ම යන්නෙ පාතරාසය ගන්න. කවදත් මගේ තේරීම දකුණු ඉන්දීය ආහාර. එයිනුත් උප්පුමා විශේෂයි.ළමා කාලයේදී මට උප්පුමා මුලින්ම හදලා දුන්නේ පොඩි මහම්මා විසින්...මහම්මා කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේ ඇගේ ද්‍රවිඩ මිතුරියකගේ රෙසිපියට තමයි පාන්දරක මම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ඉද්දි හදලා ගෙනත් දුන්නෙ.. එදා සීනි එක්ක මිශ්‍ර කරගෙන කෑවත් අද මම සීනි එක්ක කන්න කැමති නැහැ.දැන් නම් ඉතින් කන්න හොඳත් නැහැ.කොහොම උනත් මගේ නෝනා හදන උප්පුමා එකට ගහන්න පුලුවන් කිසිම අවන්හලක් මට හම්බ වෙලා නැහැ මස්කට් වල නම්.. වගකීමෙන් කියන්නෙ මොකෝ මම නොකාපු දකුණු ඉන්දීය අවන්හලක් මස්කට් වල තියෙන්න විදියක් නැති නිසා.පසු ගිය සතියේ මම ගියේ අසෙයිබා වල තියෙන වසන්ත භවාන් එකට..උප්පුමා වෙනුවට එදා තිබ්බෙ කිචඩි. යටින් තියෙන්නෙ පින්තූරෙ.
මේ තියෙන්නෙ කිචඩි. රුලං පිටි නොහොත් රවා වලින් හදන්නෙ.
කෑමෙන් පස්සෙ මගේ ප්‍රියතම පානය තමයි ෆිල්ටර් කෝපි. තමිල්නාඩු අවන්හල් වලට ආවේණික ෆිල්ටර් කෝපි කෝප්පයක් බිව්වම දැනෙන හැගීම මට නම් මාරයි. ඔන්න දැම්මා ෆිල්ටර් කෝපි පින්තූරෙත්.
ෆිල්ටර් කෝපි කෝප්පය
මම ආසම ෆිල්ටර් කෝපි තියෙන්නෙ අපේ ගෙවල් ලගම තියෙන ඉන්දියන් ඩිලයිට් එකේ..ෆිල්ටර් කෝපි හදන එක වෙනම කලාවක් වගේම ඒක සම්මත ක්‍රමේට බොන එකත් එක්තරා කලාවක්.
ඉන්දියන් ඩිලයිට් එකෙන් කෝපි බොන්න කැමති අනෙක් හේතුව තමයි ඔවුන් ගේ කෝපි එකට මට කැලරි රහිත සීනි ආදේශක එකතු කර ගන්න පුලුවන් වීම. අනෙක් තැන් වල සීනි මිශ්‍ර කරලම තමයි ලැබෙන්නෙ.ඩිලයිට් එකේ තියෙන නිදහස් පරිසරයටත් මම කැමතියි, ඒ උනාට එතන ටිකක් පොශ් වගේ නිසා සුපුරුදු දකුණු ඉන්දීය සංස්කෘතික ලක්ෂණ එතන අඩුයි වගේ.



ආයෙත් උප්පුමා ගැන ......උප්පුමා වල මූලික ප්‍රභේද දෙකක් තියෙනවා..එකක් තමිල්නාඩු ක්‍රමයට සහ අනෙක කේරල ක්‍රමයට නොහොත් මලයාලි ක්‍රමයට. කේරලේ මිනිස්සු උප්පුමා හදද්දී ගිතෙල් දාන්නෙම නැහැ...විශේෂයෙන් අබ එකතු කරනවා..ඔවුන්ගේ උප්පුමා එක වියලියි..පපඩමක් මිශ්‍ර කරගෙන සමහරු සීනි හෝ කෙසෙල් ගෙඩියක් සමග තමයි කන්නෙ. මම නම් කෙසෙල් ගෙඩිය කන්නෙ නැහැ .. පපඩම එක්ක කේරල උප්පුමා එක තමයි මගේ කැමැත්ත. තමිල්නාඩු ක්‍රමේට ගිතෙල් එකතු කරලා හදද්දී උප්පුමා එක තෙතයි..ඔවුන්ගේ ක්‍රමයට සීනි එක්ක කන්න බැහැ කොහෙත්ම...නමුත් ඒකෙත් අමුතු රහක් තියෙනවා.



කේරල ක්‍රමයට උප්පුමා
බඩ කට පුරෝ ගත්තට පස්සෙ මම යන්නෙ බාබර් කෙනෙක් ලගට. ඒ රැවුල කපන්න. කොච්චියා සතියට එක දවසයි රැවුල කපන්නෙ.. සතියක් රැවුල වැවුනම ස්ටයිල් එක සතිපතා වෙනස් කරන්න පුලුවන් අවශ්‍ය නම්.. දැන් නම් කාලෙක ඉදන් මම ෆ්‍රෙන්ච් කට් එක තමයි තියන් ඉන්නෙ නෝනාගේ කැමැත්ත අනුව.රැවුල් කැපීමේ දක්ෂයො තමයි තුර්කි ජාතිකයො. ඒ උනාට බ්‍රහස්පතින්දා රෑ ශීෂා කැෆේ වල ගත කරන ඔවුන්ව සිකුරාදා උදේට අල්ල ගන්න එක ලේසි නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට සිදු වෙන්නෙ පකිස්තාන හෝ ඉන්දියානු බාබර් සාප්පුවක සේවය ලබා ගන්න.

වාහනේ හෝදගන්න පෝලිම් වල ඉන්න එකත් මට නම් මහ එපා කරපු වැඩක්. දවසක් ඇර දවසක් ඇවිත් බංගාලි ජාතිකයෙක් වාහනේ හේදුවට මිනිහා කරන්නේ අමු බොරුවක්. ඔය වාහන හෝදන බංගාලි ඔක්කොම බොරු කාරයො නිසා මිනිහගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඒ නිසා සති අන්තයේ car wash එකකට ගිහින් වාහනේ හෝදගන්න එක තමයි කරන්නෙ.

උදේ 7.30 ට ගෙදරින් එලියට ගියාම 9.30 වෙනකොට ඔය වැඩ සේරම කරගෙන ඉවර වෙනවා. ඒත් තාම නෝනා නිදි, මොකෝ එයා නැගිට්ටා නම් කෝල් එකක් අනිවාර්යයි. එලියට එද්දිම පොතකුත් දාගෙනම එන්නෙ ඒ නිසාමයි.ලංකාවෙ වගේ නෙවෙයිනේ, මෙහේ ෆ්ලැට් එකක් ඇතුලේ ඉන්නකොට පුදුම කම්මැලිකමක් තියෙන්නෙ. ගෙදර ලගම තියෙන පාක් එකට ගිහින් ලග කඩෙන් වතුර බෝතලයකුත් ගෙන්න ගෙන පැයක් විතර පොත කියවද්දි තමයි නෝනාගෙන් කෝල් එක එන්නෙ.