Wednesday, September 21, 2016

කිඩ් රූපසිරිගේ ගණිතය පළවෙනි ක්‍රෂ් එක සහ හයිලන්ඩ් චොක්ලට් මිල්ක්

මමත් මලින්දත් කොලඹ ඉස්කෝලෙ ගිය නිසාත් මොරිස් මීගමුවට හිරවූ නිසාත් අපේ ටියුශන් ඔක්කොම එකට කර ගන්න බැරි බව අපි තේරුම් ගත්තා. මේ අතර අමතක කරන්න බැරි අනික් චරිතේ උනේ චේතිය.මාත් එක්කම රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගිය පට්ටම මැත්ස් මීටරයක් වෙච්ච චේ ගේ ගෙදර තිබ්බෙත් සීදුවෙ උනාට තවත් උසස් සිවිල් නිලධාරියෙක් වෙච්ච චේ ගේ අප්පච්චි ගේ නිල නිවස තිබ්බෙ සමිට් ෆ්ලැට්ස් වල. ඉස්කෝලෙ ලගම නිසා මිනිහට වගේම කට්ටි පැන්න වෙලාවට අපිටත් එතන කියාපු ජොයින්ට් එකක් උනා.

බයෝ කරපු මොරිස් සහ මැත්ස් කරපු අපි තුන්දෙනා අතරේ පොදු ටියුශන් පන්ති හොයන එක අපහසු උනා.
කොහොම උනත් පියෝ ඇප්ලයිඩ් වලට අපි තෝර ගත්තෙ කේ.ඩී රූපසිරි සර්ව. අපේ ඉස්කෝලෙ ඇසිස්ටන්ට් ප්‍රින්සිපල් වෙච්චි රූපසිරි සර් බොහොම සැහැල්ලුවෙන් ගණිතය උගන්නපු ශෝට් මෙතඩ් පාවිච්චි කරපු මගෙයි චේ ගෙයි ස්ටයිල් එකට ගැලපුණ කෙනෙක් උනා.

ඒ කාලේ අපිට ලැබුනේ අතින් ලියලා රෝනියෝ කරපු ටියුට්.. සර්ගේ ටියුට් එකේ යට නම ලියලා තියෙන්නේ,K.D Rupasiri කියලා උනාට ඔය K සහ D අතර ඩොට් එක හැම තිස්සෙම අපිට පෙනුනෙ I විදියට...අපි පටන් ගත්තා සර් නැති තැන සර්ව KID (කිඩ්) කියලා හදුන්වන්න.

මේ තියෙන්නෙ අද සීදුව පල්ලිය හන්දිය.ඔය ජනිත එක වෙනුවට එදා තිබ්බෙ පරණ තැපැල් කන්තෝරුව.ඒක ඇතුලේ තමයි මම අව්වෙන් බේරෙන්න හිටගෙන හිටියෙ.
රූපසිරි සර්ගේ ක්ලාස් තිබ්බේ බම්බලපිටිය ශක්ති එකේ.. ඉස්කෝලේ AL පටන් ගන්න කලින් ඉදන් ටියුශන් පටන් අරන් තිබ්බ නිසා මලින්දයි මමයි සීදුවෙ ඉදලා බස් එකේ එනවා...මට සිද්ද උනා පල්ලිය හන්දියට වෙලා ඉන්න මලින්ද තැම්පල ඉදලා මුතුවාඩිය බස් එකේ එනකන්...පුදුම කරුමයක් කියන්නේ ජීවිතය පුරාවට කියන වෙලාවට වැඩ කරන්න පුරුදු වෙච්ච මට සෙට් උනේ කිසි දවසක වෙලාවට වැඩක් නොකරන මලින්ද. සමහර දාට මිනිහා එනකන් මම පැයක් විතර බලන් ඉන්නවා. මුතුවාඩිය සිට මීගමුවට යන බස් එක විතරයි මලින්ද ගේ පාරෙ යන්නෙ.. ඒකත් දවසට දෙපාරයි. ඉතින් දවල් 12.00 ට සීදුව පල්ලිය හන්දියට එන්න නියමිත බස් එක මිස් වුනොත් ත්‍රී රෝද රථ සුලබ නොවූ එදා මලින්දට වෙන්නෙ පොඩි මාමා ට කෝල් එකක් දීලා ගෙන්න ගන්න. ජංගම දුරකතන නොතිබ්බ එදා මාමා ගෙදරින් එලියේ හිටියොත් පැයක් උනත් බලන් ඉන්නවා හැර විකල්පයක් නැහැ.කොහොමින් හරි මලින්ද එන කන් ඉදලා එතනින් 188 බස් එකක ජාඇල බස් ස්ටෑන්ඩ් එකට යන්නෙ 12.45 ට තියෙන ජාඇල මොරටුව අර්ධ සුඛෝපභෝගී බස් එක අල්ලන්න.  බස් එකට නගින්න කලින් බස් ස්ටෑන්ඩ් එකේ කූල් ස්පොට් එකෙන් හයිලන්ඩ් කිරි දෙකක් බොන්න අමතක කරන්නෙම නැහැ.ඒ හයිලන්ඩ් චොකලට් මිල්ක් එකට ගහන්න බීමක් අදටත් මම බීලා නැහැ. අන්තිමට ලංකාවට ගිය වෙලෙත් කීපයකටම වග කිව්වා.
හයිලන්ඩ් කිරි බෝතලය
වල් පල් කියවන අතරෙම ටියුට් වල තිබ්බ ගණන් එහෙමත් හදමින් තමයි අපි බස් එකේ යන්නෙ. දොරෙන් ඇතුලු වෙච්ච ගමන්ම වම් පැත්තෙ සීට් එකේ තමයි අපි ඉද ගන්නෙ, බහින්න ලේසියටත් එක්ක.ශක්ති එක ළගින් බහින්න පුලුවන් කම තිබ්බට මාන්නප්පෙරුම ට්‍රේඩර්ස් ගාවින් බැහැ ගන්නෙ හෝලි ෆැමිලි කොන්වන්ට් එක වගේම සෙන්ට් පෝල්ස් එකත් දෙකම පහු කරගෙන පයින් යන්න කියාපු වෙලාව ඒක නිසා. ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන්න වාහන එන කම් ඉන්න ලස්සන කෙල්ලො අතරින් ඇවිදන් ගිහින් ගන්න ආතල් එක ඇත්තටම පට්ටයි. අපිට හිතෙන්නෙම උන් අපි දිහා බලන් ඉන්නවා කියලා, හැබැයි එහෙම නෙවේ ම කියන්නත් බැහැ.

වෙලාවට කලින්ම ශක්ති එක ගාවට යද්දි එතන ස්නැක් බාර් එකට වෙලා ඒ වෙනකොටත් ඉන්න අපේ ක්ලාස් එකේ කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරේ සෙන්ට් තෝමස් ගිය අනුක් සහ රැප් රාජපක්ෂත් ඕලෙවල් වෙනකන් සෙන්ට් පීටර්ස් ගිය පස්සෙ අපේ ඉස්කෝලෙට ආපු ගීතාල් නොහොත් ආප්පයාත් අශෝකෙට ගිය රනිලුත් තමයි විශේෂයෙන් මතක.අනුක් එක්ක මගේ සම්බන්ධය ඉන් ඉදිරියට, ඒ කියන්නෙ මගේ NIBM යුගය කරාත් දිව යනවා.රැපා ට ඔය නම වැටුනේ මිනිහගේ නමේ මුල් අකුරු R.A.P නිසා.
මේ තියෙන්නෙ අද ශක්ති එක. ඔතන ඔය පේන් ස්නැක් බාර් එක තමයි අපි ඉදන් ඉන්න තැන
ගීතාල් සබැදි තව කතා තියේවි ඉස්සරහට මොකද ඉස්කෝලේ කතා කියද්දි මිනිහා අනිවාර්ය චරිතයක් වේවි.
රනිල් ව මට මතක මිනිහා ට්‍රයි කරපු ශර්මිලා ට මමත් ට්‍රයි කියලා හිතා ගෙන මගෙන් ගේමක් ඉල්ලන්න ආපු නිසා. කොහොම හරි අමාරුවෙන් මලින්දයි මමයි රනිල්ට පහදලා දුන්නා මගේ හිතේ මිනිහගේ සිහින කුමාරි ගැන කිසිම අදහසක් නැති බව.රූපසිරි සර්ගෙ පංතියේ හිටපු කෙල්ලො ගැනත් කියන්න දේවල් බොහොමයි.

 ඒ ලෙවල් පටන් ගත්තට පස්සෙ කොච්චියාට මුලින්ම ක්‍රෂ් එකක් ඇති වුනෙත් ඔය පංතියෙදි තමයි. සිරිමාවෝ එකට ගිය ඇය ආවෙ තාත්තා ගේ නිසාන් සනියෙන් නිසා මලින්දත් මමත් ඇයව හැදින්වුවෙ සනී ගර්ල් කියලා.
සනී ගර්ල් ගෙ සනිය


 දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇය විවාහකයි. මීට වසර පහකට විතර කලින් මූනු පොතේ අපි මිතුරන් වුනා. එතකොට තමයි මම ඇයට කිව්වේ එදා මට ඇය ගැන තිබ්බ හැගීම.කොහොම උනත් එයා කණගාටු වුනා මම ඇයි ඒක ප්‍රකාශ නොකලේ කියලා.

රූපසිරි සර්ගෙ පංතිය ගැනත් එක පෝස්ට් එකක් ලියලා මදි.මොකද ගෑනු ළමයි ගැන වගේම සර් ගැනත් කොල්ලො ගැනත් කියන්න තව කතා ගොඩයි. ඒවා ගැන කොච්චියා අනාගතේදි ලියාවි.ඔය පංතිය ඉවර වෙලා ගෙදර එන එකෙත් අමුතුම ජොලියක් තිබ්බා. ඒ ගැන පස්සෙ කියන්නම්. ඒකෙදි මලින්දගෙ තාත්තා ගැනත් ඔහුගේ නිල රියදුරා වෙච්ච නිමල් ගැනත් කියන්න දේ බොහොමයි. කෝච්චි කතාත් නැතුවම නෙවෙයි.

4 comments:

  1. කොච්චිමිරිස් රහ බැලුවේ අදයි ඔන්න. කොච්චිමිරිස් වුණත් රස බර අතීතයක්නේ මේ.
    කොච්චියා ලියන්න ඉන්න අතීතය කියවන්න මග බලාගෙනයි ඉන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. /* දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇය විවාහකයි. මීට වසර පහකට විතර කලින් මූනු පොතේ අපි මිතුරන් වුනා. එතකොට තමයි මම ඇයට කිව්වේ එදා මට ඇය ගැන තිබ්බ හැගීම.කොහොම උනත් එයා කණගාටු වුනා මම ඇයි ඒක ප්‍රකාශ නොකලේ කියලා. */

    කියා ගන්න බැරුවා සිතු දේ තොල් අතරේ රැඳුණා, මනාප දෝ මන්දා මා සිත ආල මතින් පිරුණා!

    කියා ගන්න බැරිවුණු කතා කොච්චර තියේ ද අපේ ජීවිතවල?

    ReplyDelete
    Replies
    1. කියාගත්තෙ නැති කතා ඔක්කොම කිව්වා නම් ජීවිතේ කොයි තරම් වෙනස්ද... ජීවිතේ කියන්නෙ රසික මහත්තයෝ a collection of moments...ඒ වගේම every moment has its own choices. ඉතින් ඔය choices තමයි අපේ ජීවිත හසුරුවන්නෙ.

      Delete